රංගනයට ආපු අවුරුදු 19යේ සුරුපිනිය

පහුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වුණු නවක නිරූපණ ශිල්පිනිය තමයි හෂිණි. නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසත් ටෙලි නිර්මාණ කිහිපයකටම දායක වී තිබේ. අනුරාගය මතුවන අන්දමේ ඡායාරූපවලට පෙනීසිටීමට ඇය වඩාත් ප්‍රිය කරයි. හෂිණි ඉදිරියේදී සිනමා නිර්මාණයක් සඳහාත් දායක වීමට නියමිතයි. ඉතින් හෂිණිව කතාබහකට එකතු කරගන්න අපි හිතුවේ මේ විදිහටයි.

කොහොමද හෂිනි.. ඔබ ක්ෂේත්‍රයට එන්නේ කොයි කාලෙද.. ඔබව හඳුන්වා දුන්නොත්?

මේ දවස් වල මොඩ්ලින් වැඩයි රංගන කටයුතුයි කරගෙන ඉන්නවා. මම දෙදහස් දහ අටේ. මොඩ්ලර් කෙනෙක් විදිහට තමයි එන්නේ. මගේ නම හෂිනි ගුරුගේ. මගේ ගම පොළොන්නරුවේ. නමුත් දැන් පදිංචි වෙලා ඉන්නේ පෑළියගොඩ. මම නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරනවා.
නිරූපණයට එකතු වෙන්නේ කොහොමද?

මම ෆොටෝෂූට් වලට ගොඩක් ආසයි. ඉතින් ෆොටෝෂූට් ෆලෝව් කරලා ෆොටෝෂූට් හරහා ක්ෂේත්‍රයට ආවා. ඊටපස්සේ මට රංගනයට එකතු වෙන්න අවස්ථාවන් ලැබුණා. එතකොට මම රංගනය පිළිබඳව ඉගෙනගත්තා. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් අරගෙන.

ඒ ගමන අහම්බයක්ද?

ඔව්.මම හීනෙකින්වත් හිතුවෙ නැහැ මොඩ්ලින් හෝ වෙනත් කලා කටයුත්තක යෙදෙන්න.නමුත් වෙනත් අය කරනවා දැකලා ආසාවක් ඇති වුණා.

දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කියමු?

හිරු නාලිකාවේ ටෙලි ෆිල්ම්වලට සම්බන්ධ වුණා. ඊට අමතරව නෝ පාරකින්, සල්මල් ආරාමය කියන ටෙලි නාට්‍ය දෙකටත් රංගනයෙන් දායක වෙලා තිබෙනවා.

පහුගිය දවස්වල ෆොටෝෂූට් ගණනාවක් හරහා ඔබට විශාල ජනප්‍රියත්වයක් ලැබුණා නේද?

ඔව්. මම කරන වැඩ හරි වෙනස්. සමහර අය ගොඩක් කැමතියි. ඒත් තවත් අය අකමැතියි. හැමෝම කරන දේ නැතුව වෙනස් දේවල් කරන්න ආසයි. ගොඩක් අය හොඳ කියනවා. බැනුම් අහපු අවස්ථාත් තියෙනවා. ඒවාත් අහගෙන ඉන්නවා. මට යාළුවෝ නැහැ. ඒ නිසා කවුරුත් මට එක එක ඒවා කියන්නේ නැහැ. හොරෙන් කියන දේවල් ගැන නම් මම හිතන්නේ නැහැ.

ඔබ අනුරාගී ඡායාරූපවලට පෙනී සිටින්නට කැමැත්තක් දන්වනවා?

එතනදි මම බලන්නේ ඇඟ නිරාවරණය වීම නෙවෙයි,ඒ ඡායාරූප කොතරම් කලාත්මකද කියලා. මට ඔය වගේ ෆොටෝ ෂූට් රැසකට ආරාධනා ලැබෙනවා. නමුත් මම බාර ගන්නේ ඒවා කලාත්මකනම් සහ වෙනස් අන්දමේ ඒවානම් පමණයි.

අනුරාගී නිර්මාණවලට දායක වෙන්න බයක් දැනෙන්නේ නැද්ද?

කලින් නම් බයක් තිබුණා. ක්ෂේත්‍රය ගැන දන්නේ නැහැනේ ඉතින්. මම ජාත්‍යන්තර ෆොටෝෂූට් බලලා දේ දේවල් අධ්‍යනය කරලා දැනුමක් එකතු කරගත්තා. ඒ හරහා ඒ පැත්තට ඔළුව හදාගත්තා.

ඇග නිරාවරණය වන දර්ශන රැගත් චිත්‍රපටයකට ඔබට කතා කළොත්?

මට ගැළපෙනවානම් යනවා. ඔය දැන් බලන්න හුස්ම ෆිල්ම් එක. ඒකේ එවැනි දර්ශන තිබුණට කොච්චර හොඳ චිත්‍රපටයක්ද.

ඔබට හුස්ම චිත්‍රපටයට කතා කළානම්?

මම යනවා.

ලංකාවේ මිනිස්සු ඇයි මේ නිර්මාණවලට බනින්නේ?

අපේ මිනිස්සු විවෘත නැහැ. ගොඩක්ම ඉන්නේ හැංගිලා වැරදි කරන මිනිස්සු. පටු අදහසකින්, පටු මානසිකත්වයෙන් තමයි සමාජය දිහා බලන්නේ. ඉතින් ඒ අය බනිනවා. ඕක දැක්කා කියලා ඇත්තටම මොකක්ද වෙන්නේ.

ගෙදරින් බලපෑමක් ඇවිත් නැද්ද?

නැහැ. අම්මයි, තාත්තයි දෙන්නටම තේරුමක් තියෙනවා මගේ වැඩ ගැන. ඒ නිසා කිසිම දෙයක් කියන්නේ නැහැ.
හෂිනි වැඩිපුර කැමති රංගනයටද, නිරූපණයටද?

දෙකටම එක වගේම ආසයි. මම කොළඹ කෙනෙක් නෙවේ.ගම පොළොන්නරුවේ.කලා කටයුතුවලට පහසු වෙන්නෙ පෑලියගොඩ පදිංචි වෙලා ඉන්නවා. මම පාසල් ගියේ පොළොන්නරුව කැකුළවෙල මහ විදුහල. මගේ උපන්දිනය 2001/01/13 සරලව හැඳීන්නුවොත් මම සරලම සරල කෙනෙක්.

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තව නිර්මාණ ලැබුණොත් ඒවාටත් සම්බන්ධ වෙනවා.

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ අම්මාව, තාත්තාව මතක් කරන්න ඕනේ. එතකොට මගේ පෙම්වතා මට විශාල සහයෝගයක් ලබාදෙනවා. එතකොට මගේ ඩ්‍රාමා ක්ලාස් එකේ හැමෝවම මතක් කරනවා. ඒ වගේම මගේ වැඩවලට උදව් කරන හැමෝමවත් මතක් කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *