පළමු විවාහ සංවත්සරය

සිනමාව සහ ටෙලි නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් රුවංගි රත්නායක රුවින් වගේම විලාසිතාවන්ගෙන් ප්‍රේක්ෂකාගාරය තුළ නිරතුරුවම පුවත් මවන්නියක්. පුවත් මවපු, කතාබහට ලක්වුණු ඉහළ ජනප්‍රියත්වයක් ලබපු රුවංගි පසුගිය කාලවකවානුව තුළම ක්ෂේත්‍රයේ දකින්නට ලැබුණේ නැහැ. මේ රුවැත්තිය පසුගියදා කාටත් රහසින් හදිසියේම විවාහ ගිවිසගෙන තිබුණා. ඒ ව්‍යාපාරිකයෙකු වූ නිර්මල සමඟයි. ඉතින් රුවන්ගි ඇගේ සැමියා ගැන මේ විදිහට තමයි අපිත් එක්ක කිවුවේ..

රුවංගි කොහොමද ජීවිතේ?

ජීවිතේ ඉතාම සතුටින් ගතවෙනවා. ඉස්සර වගේ කලා කටයුතු එක්ක කාර්යබහුල නැති නිසා හරිම සැහැල්ලුවක් දැනෙනවා.

කොහෙද මෙච්චර කල් රුවංගි අතුරුදන් වෙලා හිටියේ?

විවාහවීමත් එක්ක මම අවුරුද්දක් විතර කලා කටයුතුවලට දායක වුණේම නැහැ. කලාවෙන් ඈත් වෙලා පවුලට මුල් තැන දුන්නා. ඇත්තම කියනව නම් රංගනයෙන් ඈත් වෙන්න පෞද්ගලික හේතු කාරණාත් තිබුණා.

රුවංගිගේ හිත ගත්ත දැන් ජීවිතයේ කොටස්කාරයෙක් වුණු ඒ කෙනා කවුද කියලත් කියමු නේද?

එයාගේ නම නිර්මල ගමගේ. එයාගේ ගම ඇඹිලිපිටිය. එයා දැන් පදිංචි වෙලා ඉන්නේ පිටකෝට්ටේ. එයා ඉගෙනගෙන තියෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. වෘත්තියෙන් එයා මැණික් ව්‍යාපාරිකයෙක්.

ඉතින් රුවංගි හොරෙන්ම විවාහ ගිවිසගත්තා. තාම උත්සවයක් ගන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඇත්තටම කාටවත් නොකියා පවුලේ අය විතරක් එකතු කරගෙන විවාහ ගිවිසගත්තේ මාස 6කින් විතර වෙඩින් එකක් ගන්න බලාපොරොත්තුවෙන්. ලොකුවට හැමෝටම කියලා වෙඩින් එකක් ගන්න අදහස මගේ හිතේ තිබුණ නිසා විවාහ ගිවිස ගැනීම ගංගාරාම පන්සලේ චාම්ව සිදුකළා. විවාහ වෙලා මාස 6කින් උත්සවය ගන්න හිටියත් රටේ ඇතිවුණු මේ වසංගත තත්ත්වය එක්ක අපිට වෙඩින් එක අරගන්න බැරි වුණා. තාමත් එවැනි දේකට සුදුසු තත්ත්වයක් නැති නිසා වෙඩින් එකක් ගැනීමේ අදහස අපි අත්හැරියා. මේ නොවැම්බර් මාසෙට අපි විවාහය ලියාපදිංචි කරලා අවුරුද්දක්. දැන් වෙඩින් එකක් අරන් වැඩක් නැති නිසා අපි දෙන්නා තීරණය කළා ක්ෂේත්‍රයේ හිතවතුන් සියලුම දෙනා එකතු කරගෙන අපේ පළමු විවාහ සංවත්සරය සමරන්න.

රුවංගිගෙයි නිර්මලගෙයි ආදර කතාවට දැන් කොච්චර කල්ද?

අපේ ආදර කතාවට අවුරුදු හතරක් විතර වෙනවා.ක්ෂේත්‍රයෙන් පිට කෙනෙකුට රුවංගිගේ හිත ගියේ කොහොමද? ආදර කතාවත් කියමු?

ක්ෂේත්‍රයේ කෙනෙක්ම නම් විවාහ කරගන්න මට කවදාවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්. නිර්මල ගමගේ. නිර්මලව මට මුලින්ම මුණ ගැහෙන්නේ උත්සව අවස්ථාවක දී. අපි හොඳ යාළුවෝ විදිහට ටික කාලයක් ඇසුරු කරද්දී දන්නෙම නැතුව ඒක ආදර සම්බන්ධතාවකට පෙරලුණා. අවුරුදු හතරක් අපි ආදරය කරලා තමයි විවාහ වුණේ. දෙමාපියොත් මම කැමැති සහකරුවෙක් තෝරගන්න මට අවසර දීලා තිබුණා. ඒත් අපේ ආදර කතාව ඇතුළේ සමහර අවස්ථාවල මගේ දෙමාපියන්ගෙන් විරෝධතා ආවා. ඒත් අපි කොහොමහරි දෙමාපියන්ගේ ආශිර්වාදය ගත්තා.

නිර්මලගේ ආදර යෝජනාවට රුවංගි එක පයින් කැමැති වුණාද?

අපි දෙන්නා යාළුවෝ වගේ ආශ්‍රය කරන කාලෙදී අහම්බෙන් මුණහැහිලා, එයා මට කිව්වා මොනවා හරි කන්න එළියට යමු කියලා. මුලින්ම එයා ආදර යෝජනාව කළා. මම ඉතින් එයාට අකැමැතියි කියලා පෙන්නුවෙත් නෑ. කැමැතියි කියලා කිව්වෙත් නෑ. සතියක් විතර ගිහින් තමයි මම මගේ අදහසත් එයාට කිව්වේ.

රුවංගිට ඕන තරම් තරුණයෝ මුණගැහිලා ඇතිනේ. ඒ අතරින් නිර්මලව ජීවිතයට තෝරාගන්න ඔහු විශේෂ වුණේ කොහොමද?

මම කොහොමත් ක්‍ෂේත්‍රයෙන් පිට කෙනෙක් විවාහ කරගන්න කැමැත්තෙන් හිටියේ. නිර්මල මට ආදරය කරන විදිහ දැක්කම තමයි මටත් ඔහුට ආදරය කරන්න හිතුණේ. ඒ වගේම නිර්මල මං වෙනුවෙන් කාලය වෙන් කරන විධියත් ඔහුට කැමැත්තක් ඇතිවෙන්න හේතුවක් වුණා.

නිර්මලත් කාර්යබහුල ඇතිනේ. ඔහු පෙම්වතා කාලෙදි වගේම තාමත් ඔබ වෙනුවෙන් කාලය වෙන් කරනවාද?

ඔව්. එයා තාමත් ඒ විධියටම මට මුල් තැන දෙනවා. මම විවාහ වෙන කෙනා මං වෙනුවෙන් අවධානය දෙනවාට මම කැමැති වුණා. නිර්මල මට දෙන අවධානය එක්ක මටත් ඔහු වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි නැහැ. හොඳ බිරියක් වුණොත් තමයි කවදා හරි හොඳ මවක් වෙන්න පුළුවන්. පවුලට මුල් තැන දෙන්න මම කැමැතියි.

විවාහ ජීවිතයේ වගකීම් ඉෂ්ට කරගන්න රුවංගිට පහසු වෙයිද?

මම හිතනවා මට ඒ වගකීම් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා. ඕනම ගැහැනු ළමයෙක්ට විවාහ වුණාම වෙනම පවුලක් එක්ක ජීවත් වෙන්න වෙනවා. මම ඒ ජීවිතයේ වගකීම් සතුටින් භාරගන්නවා.

රුවංගි පසුගිය කාලේ රංගනයෙන් ඈත් වෙලානේ හිටියේ. ඒ නිර්මලගේ තහංචි නිසාද?

නැහැ. මට ලැබුණු ආරාධනා මම ප්‍රතික්ෂේප කළේ ඒවායේ ගැටලු සහගත දේවල් තිබ්බ නිසා. ඒ නිර්මාණවල ගෙවීම් ප්‍රශ්නයක් තිබුණා. හැබැයි මම නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. ඒවා විකාශය වෙන්න තියෙනවා. කැමැති හොඳ නිර්මාණයක් ලැබුණොත් මම රඟපානවා. නිර්මල මට කියන්නේ පවුල් ජීවිතයට හානියක් නොවන හොඳ දේවල් කරන්න කියලා.

සීමාවන් එක්ක කලා ජීවිතේ ජනප්‍රියත්වය රඳවගන්න පුළුවන් වේවි කියලා හිතනවාද?

මම අවුරුද්දක් වැඩ කළේ නැහැ. ජනප්‍රියත්වය අඩු වෙනව නම් දැන් මාව මිනිස්සුන්ට අමතක වෙලා තියෙන්නේ ඕනෑ. මටත් හිතුණා මුල් කාලෙදි ජනප්‍රියත්වය දැන් අඩුවෙලා යාවි කියලා. ඒත් රූපවාහිනියේ පේන්න හිටියේ නැතත් ඇයි පේන්න නැත්තේ කියලා හරි ප්‍රේක්ෂකයෝ මගෙන් අහනවා. ඒකත් මට සතුටක්. ඒ නිසා සීමාවන් තුළ ඉඳගෙන වැඩ කිරීම ජනප්‍රියත්වයට බාධාක් වේවි කියලා මම හිතන්නේ නැහැ.
රුවන්ගි රත්නායකගේ සහ ඇයගේ සැමියාගේ ලස්සන ජායාරූප 40ක් පහතින් නරඹන්න

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *