මම තනිකඩව ජීවත්වෙන එක සමරන කෙනෙක්. – නිරෝෂා පෙරේරා

නිරෝෂා පෙරේරා අපිට ඉන්න දක්ෂ නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක්. ඒ වගේම වෙනස් විදියට හිතන තවමත් තනිකඩව ඉන්න කෙනෙක්. ඇය නිතරම වෙනස් විදිහකට හිතන්න උත්සාහ දරන චරිතයක්. ඒ වගේම දිගු නිහැඬියාව හරියට අගයනවා. ඇය නිහඬව සිටින විට ඇය වටා සිටින පිරිස ඇය මොනවාද කරන්නේ කියලා සොයා බලනවා. එහි ප‍්‍රතිඵලයක් හැටියට ඇය දිගු නිහැඬියාව බිඳිමින් රිදී තිරයට ගොඩවෙනවා. ඇය ඔයාලා කවුරුත් දන්න නිරෝෂා පෙරේරා. අද අපේ කතානායිකාව ඇයයි.

තනිකඩව ගෙවන ජීවිතය ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?

තනිකඩව ජීවත් වෙනවා විනා මම සමාජයෙන් ඈත්වෙලා හුදෙකලාව ජීවත් වෙනවා නෙවෙයිනෙ සෑහීමකට පත් නොවෙන්න. තනිකඩව ජීවත් වීමම මගේ ජීවිතේ ගොඩාක් සෑහීමකට පත්වෙන්න හේතුවක් වෙලා තියෙනවා කාරණා කිහිපයක් නිසා. මගේ ජීවිතේ සම්බන්ධව කියන කරන හැමදේකම වගකීම මගේ. මම තනිකඩ නිසාම මට ගොඩාක් දේවල් ගැන හිතන්න, ගොඩාක් දේවල් කරන්න මට කාලය ලැබිලා තියෙනවා. සෑහීමකට පත්වෙන්න පුළුවන් ලොකුම දේ තමයි මට ලැබිලා තියෙන මානසික නිදහස. ගොඩාක් අයට මොන දේ තිබුණත් නැතිම දේ ඒකනෙ. ඒ වගේම මට සමාජයේ උදව් අවශ්‍ය අය හඳුනාගෙන ඒ අයට පිහිටක් වෙන්න මට අවකාශ ලැබෙනවා මේ නිසා. මම කරන හැමදේකම අයිතිය තියෙන්නෙ මට විතරයි. මම කොහොමටත් බැඳීම්වලට කැමති කෙනෙක් නෙවෙයි.

මේ දවස් වල නිරෝෂාගේ වැඩි සද්ද බද්දයක් නැහැනේද?

එකට ඔව් කියන්නත් බැහැ. නෑ කියන්නත් බෑ රටේ තිබුණ තත්ත්වයත් එක්ක පහුවුණ වැඩත් තිබුණා. පසුගිය කාලයේ නාලිකා කිහිපයකින් මට මාධ්‍ය වැඩසටහන් කිහිපයකට කතා කළා. හැබැයි මොකක් හරි එක අඩුපාඩුවක් ඒ දේවල්වලින් දැක්කා. ඒක නිසා ඒ දේවල් භාරගත්තේ නැහැ. නමුත් ඉදිරියේදී වැඩ කිහිපයක් කරන්න භාරගත්තා. හැබැයි හැමදේකම පෙර නිෂ්පාදනයක් කියලත් දෙයක් තියෙනවානේ. මම දෙයක් කරන කොට හොඳට සැලසුම් කරනවා. අනික මම වැඩකට කල්ගන්නවා කියන කතාවේ ප‍්‍රශ්නයක් නැහැ. අපි හිතන්න ඕනෑ කොන්ටිටි එක නෙමෙයි. කොලිටි එකයි.

ඇයි මේ හරියට කොලිටි එක බලන්නේ ?

අපි කරන දේවල්වල ගණන නෙමෙයි වැදගත්. කරන දේ වටිනාකම එහෙමත් නැතිනම් කොච්චර හොඳට කරනවාද කියන එකයි වැදගත්. කොච්චර අලූත් දෙයක්ද?. මම පුරුදු වෙලා තියෙන්නේ හැම තිස්සේම අලූත් දෙයක් කරන්න. එහෙමත් නැතිනම් වෙනස් දෙයක් කරන්න. මම වෙනස් දෙයක් කළාට පස්සේ ඒක අනෙක් අය කොපි කරන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕනෑ. ඇත්තටම මම වැඩක් භාර ගනිද්දි දුරදිග බලනවා. මොකද මට අකමැත්තෙන් දෙයක් කරන්න බැහැ. භාගෙට කරන්නත් බැහැ. කරන්නන් වාලේ කරන්නත් බැහැ.

කොච්චර කාලයකට පස්සේද චිත‍්‍රපටයක් භාරගත්තේ ?

ඇත්තටම අවුරුදු ගණනාවකට පස්සේ තමයි වැඩක් භාරගත්තේ. මම එහෙමයි කියලා චිත‍්‍රපට කරන කෙනෙකුත් නෙමෙයිනේ. ඒ වුණත් මට හැමදාම චිත‍්‍රපටවලටත් ආරාධනා ලැබෙන්නෙත් නැහැනේ. බොරු කියන්න ඕනෑ නැහැ. හැබැයි මට ලැබෙන චිත‍්‍රපටවල දැවැන්ත චරිත තමයි ලැබෙන්නේ. හොඳ රංගනයක් කරන්න පුළුවන් වගේම මගේ රංගන කුසලතා එළිදක්වන්නත් පුළුවන්. ඇත්තටම එහෙම හොඳ චිත‍්‍රපට කිහිපයක් තෝරාගෙන තිබෙනවා. ඒවා ටිකක් කල් ගිහිල්ලා තියෙනවා. ඒ වා අනිවාර්යයෙන්ම අනාගතයේදී සිද්ධවේවි. මම එක වෙලාවකට කරන්නේ එක චිත‍්‍රපටයයි. ඒක ඉවරවෙල තමයි තව චරිතයක් කරන්නේ. අනික මම කැමැති නෑ එකම වෙලාවේ චරිත දෙක තුනක් කරන්න. කිය කියා ඉන්නේ නැතිව කරලා පෙන්නුවහමනේ හරි. ඒක තමයි හොඳම දෙය. ඇත්තටම පසුගිය කාලයේ වැඩ කරපු නැති ප‍්‍රධාන හේතුවක් තිබුණා.
ඒ මොකක්ද?

මම හොංකොං ගිහිල්ලා ඇඳුම් නිර්මාණ ශිල්පය කියන විෂය ඉගෙන ගත්තේ. ඒකට හේතුව තමයි මගේ නංගි ඉරෝෂාට ඇඟලූම් ව්‍යාපාර තියෙනවා. ඉතිං මම ඒ ගැන වැඩිපුර ඉගෙන ගත්තා. ඒක හොඳ නිසා. අනෙක් කාරණාව තමයි මට ආපු ආරාධනාවල මොකක් හරි අඩුපාඩුවක් දැක්කා. ඊට පස්සේ රටේ තත්ත්වයත් බලපෑවා.

නිරෝෂා ඔබ කේන්දර හඳහන් විශ්වාස කරන කෙනෙක්ද?

මම විශ්වාස කරන්නෙ කර්මය. ඒ කියන්නෙ පින් පව්. අපි කවුරුත් ස්වභාවධර්මයේ නීතියට යටත්. මම විශ්වාස කරන්නෙ මේ සත්‍ය විතරයි. මට වැඩියෙන්ම විශ්වාසය තියෙන්නෙ මා ගැන, හඳහන් ගැන නෙවෙයි.

මේ දිනවල අලූත් චිත‍්‍රපටයකට ලෑස්ති වෙනවා නේද?

ඔව්. මම මේ දිනවල චිත‍්‍රපටයකයට සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙනවා.

මේ ආරාධනාව ලැබුණෙ කාගෙන්ද?

ඒක මම දැන්ම කියන්න හොඳ නැහැ නේද?. ඒ කතාව ඔවුන්ම කිව්වහම තමයි හොඳ. මේකට සම්බන්ධ කණ්ඩායම දන්නවා මේ වැඬේ වෙන විදිහ.

මෙවර ලැබුණ චරිතය ගැන ඇත්තටම සෑහීමකට පත්වෙනවාද?

මම දෙයක් තෘප්තිමත් නම් තමයි භාරගන්නේ. මම පිටපත කියවලා ඉවරවුණහම ගොඩක් දේවල් සම්බන්ධයෙන් තෘප්තිමත් වෙන්න ඕනෑ. මම තෘප්තිමත් නැතිනම් කිසිදෙයක් භාරගන්නේ නැහැ.

දිගු නිහැඬියාව පාඩුවක් නේද?

මම වාසි ආවසි බලාගෙන දේවල් කරන චරිතයක් නෙමෙයි. මම නිහඬයි කියලා කෙනෙකුට තේරුණා නම් එ්කෙන් අදහස් වෙන්නේ මාව හොයනවා කියන එකනේ. ඒ කියන්නේ නිරෝෂා නැහැයි කියලා තේරිලා තියෙනවා. මෙයා මොනවාද කරන්නේ. ඇයි මෙයා නැත්තේ. මට රසික පිරිසක් ඉන්නවා. නිහඬව ඉන්නවා කියලා මටත් තේරිලා තියෙනවා.

නිහැඬියාව බිඳිමින් යළි එන විට ඔබට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

මම නිහඬවෙලා ඉන්නකොට මටම තේරිලා තියෙනවා කට්ටිය මාව හොයන්න පටන් ගන්නවා කියලා. සමහරු හිතනවා ඇති මම වැඩකරන්නේ නැහැ කියලා. හැබැයි මොකක් හරි දෙයකට මාව වුවමනා වුණහම ඒ කෙනා මොනයම් හරි මාර්ගයකින් මාව හොයාගන්නවා. ඒක තමයි හැටි. මිනිස්සුන්ට පෙනෙන්නේ අපි ටෙලිවිෂන් එකේ හරි තිරයේදී හරි කරන ටික විතරයිනේ. ඊට අමතර අපේ ජීවිතයේ තව දේවල් තියෙනවා. මම හැම තිස්සේම දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරනවා. මම හැමතිස්සේම මගේ මානසික සුවය ගැන සතුට ගැන හිතන කෙනෙක්. අනික මට එක දිගට වැඩ කරන්න ඕනෑ කියලා තරගයක් නැහැ. මම මගේ පාඩුවේ මම කැමැති දෙයක් කර ගෙන ඉන්න චරිතයක්. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. මම දෙයකට බැහැ කිව්වාට පස්සේ ඒක කොහොමද වෙන්නෙ කියන කාරණාවත් මට අදාළ නැහැ. යම් දෙයකින් ඈත්වෙලා හිටියාට පස්සේ ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. මට කැමැති වෙලාවට මට ඕනෑ දේ කරන චරිතයක් මම.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *