Explanation by her

මේ මොහොත වෙද්දී නව කොරෝනා වෛරසය ගැන මුළු ලෝකයම ඉන්නේ ලොකු බයකින්. මේ වෙද්දී 170 දෙනෙක් කොරෝනා වෛරසය අසාදානයෙන් මියගිහිල්ලා තියනව වගේම 8000කට ආසන්න පිරිසක් වෛරස් ආසාදිතයන් විදිහට හඳුනාගෙන තියනවා. ලංකාවෙත් මේ වෙද්දී කොරෝනා ආසාදනය වෙලා කියලා තහවුරු වුන එක් චීන ජාතික කාන්තාවක් මීට ටික දිනකට කලින් හොයාගත්තා. 

කොරෝනා වෛරසය නිසා චීනයේ තත්ත්වය බොහොම අනතුරුදායක එකක් බවට පත්වෙන්නේ නගර කිහිපයක්ම කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට  තහනම් කලාපයන් බවට පත්කරමින්. මේ අවාසනාවන්ත ඉරණමට මුලින්ම මුහුණ දෙන්න වුනේ චීනයේ වුහාන් නගරයට නිසා තවමත් එළියට යා ගන්න බැරුව ඒ නගරයේ රැඳී සිටින පිරිස ඉතා විශාලයි.

මේ කොරෝනා වෛරසයත් එක්ක චීනයේ වුහාන් නගරයේ සිරවෙලා ඉන්න තායිලන්ත ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තියලා පහුගිය දවසක උදව් ඉල්ලලා තියනවා. දැඩිලෙස කම්පනයට පත් වෙලා ඉන්න ඇය කියන්නේ වුහාන් නගරය මෙලෙස තහනම් කලාපයක් වීම තුලින් එන්න එන්නම තමන් ඇතුළු පිරිසට ආහාර හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වන බවයි.

වුහාන් නගරය හදිසියේම වසා දැමුණු නිසා කල්තියා ආහාර ගබඩා කිරීමේ අවස්ථාවක් තමන්ට නොතිබූ බැවින් සාගින්නේ මිය යෑමට කලින් තමන් ඇතුළු පිරිස එම නගරයෙන් ගලවා ගන්නා ලෙස ඇය තායිලන්ත රජයෙන් අයැද සිටිනවා. තමන්ට වෙනදා මෙන් පිටතට ගොස් ආහාර මිළදී ගැනීමට නොහැකි බවත් සුපිරි වෙළඳසැල්වල පවා ආහාර හිඟ වෙමින් පවතින් බවත් ඇය එහිදී හැඬු කඳුලින් කියා සිටිනවා. තමන් පළමුව මිය යන්නේ කොරෝනා වෛරසය ආසාදනයෙන්ද නැතිනම් සාගින්නෙන්ද යන්න මේ වනවිට අවිනිශ්චිත කරුණක් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තායිලන්ත රජය චීනයේ සිරවී සිටින තායිලන්ත ජාතිකයින් මුදවා ගැනීමට දරන උත්සාහය ප්‍රමාණවත් නොවන බවයි ඇය තවදුරටත් පවසන්නේ. එලෙසම තමා සමග එකට අධ්‍යාපනය ලද ජපානය, ඉන්දුනීසියාව, ඇමරිකාව වැනි රටවල්වල ශිෂ්‍යන් මේ වනවිට එම රටවල තානාපති කාර්යාල මගින් මුදවාගෙන ඇති බවත් ඇය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *