Nimal;s revealed………

“මොකද්ද බල්ලෝ උඹ කරන්නේ..?” මුලුතැන්ගෙය දෙසින් ඇසුන මේ කටහඬ අම්මාගේ ය. කුමක් හෝ නපුරක් නොවන්නට ඇය එලෙස තරහින් වචන පිට කරන්නේ නැත.

නිමල් වහා මුලුතැන් ගෙට දිව යද්දි ඔහු දුටුවේ ජයදේව අතේ සිටින දියණිය මව විසින් උදුරන අයුරුයි. මව දියණිය රැගෙන සාලය දෙසට යද්දි නිමල්ගේ අත, ජයදේවගේ සිරුර මත වැරෙන් පතිත වුනා.

ඥාති හිත මිත්‍රයාගෙන් එල්ල වූ ගුටි පහර දෙක කාගෙන ජයදේව සිය බිරිය සමඟ ද නිවසින් පිටව ත්‍රීරෝද රථයට ගොඩ නැගී මෙම නිවසින් මීටර් සියයක් පමණ එපිටින් පිහිටි ඥාති නිවසකට ගොස් සිදුවූ දෙය එම නිවැසියන් සමඟින් පවසන්නට පටන් ගත්තා.

එම නිවසේ ගෘහ මූලිකයාද මත්වතුරින් සප්පායම් වී ඒ වන විට නින්දට වැටී සිටි අතර වේලාව රාත්‍රී දහයහමාර පමණ වී තිබුණා. මොවුන් මේ විස්තරය පවසමින් සිටියේ නිදා සිටින පුද්ගලයා ගේ බිරිය සමඟයි. ඊට අමතරව එහි සිටියේ මේ පවුලේ 17 හැවිරිදි පුතා යි.

පැය බාගයක් පමණ ගෙවී යද්දි මේ නිවසට එක් වරම පුද්ගලයින් දෙදෙනෙකු පැන ජයදේව අල්ලා ගත්තා. පැමිණ තිබුනේ නිමල් හා ඔහුගේ මල්ලි සුපුන්. නිමල් අතේ කුඩා ප්‍රමාණයේ සවලක් තිබුනා. එය මෙම ගෙවත්තේ ඉදිරිපස තිබූ එකක්.

නිවසින් එළියට ඇදගෙන ආ ජයදේවට නිමල් සවල් පහරක් එල්ල කළා. ඉන් අඩපණ වූ ජයදේව බිම ඇද වැටුනා. ඊළඟට මේ අයියා මලෝ දෙදෙනා අතින් පයින් ජයදේවට පහරදී බෙල්ල පාගා දැඩි වද බන්ධනයට ලක් කළා. ඒ තමන්ගේ දියණිය අත පත ගෑමේ වරද කියා දෙමිනුයි. අනතුරුව ඇදගෙන ගොස් ඔහුව පාරට දැම්මා.

මේ පහරදීම් වලින් ජයදේව බේරා ගැනීමට බිරිය මෙන්ම නිවැසි කාන්තාව ද ඉදිරිපත් වූවත් සවල උලුක් කරමින් ඉන් පහර දෙන බවට තර්ජනය කරමින් ඔවුන් පැත්තකට කර තබන්නට නිමල් කටයුතු කළා.

නිසොල්මන් වන තුරුම ජයදේවට පහර දුන් නිමල් සිය සහෝදරයා සමඟ එම ස්ථානයෙන් පටව යන්නේ, “උඹ ගිහින් ඕකව කැලේ වළලපන්” ලෙසින් ජයදේවගේ බිරිඳට පවසමිනුයි.

ජයදේවගේ සිරුර නිසොල්මන් වුනා. ඔහු මිය ගොස් සිටියා. පොලිසියට මේ තොරතුර ලැබෙන විට රාත්‍රී 11 පසුවී තිබුණා. පොලිසිය යන විටත් ජයදේවගේ සිරුර ඒ අයුරින්ම එම ස්ථානයේ තිබුණා.

“නිමලුයි මල්ලියි ඇවිත් තමයි මේක කරලා ගියේ..”

ජයදේවගේ බිරිය ඇතුළු පවුලේ අය පැවසූ තොරතුරුවලට අනුව පොලිසිය නිමල්ගේ නිවස බලා පිටත් වුනා. කිසිවෙකුටත් පිටවීමට නොහැති වන සේ ආරක්ෂාව යොදා පරීක්ෂා කිරීමෙදී නිමල් හා සුපුන් ප්‍රදේශය හැර පලා යාමට සුදානම් වෙමින් සිටියා. පොලිසිය මේ දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ජයදේවට පහර දුන් සවල ද සඟවා තිබියදී සොයා ගනු ලැබුවා. නිමල් පැවසුවේ තම එකම දියණියට ජයදේව යම් අතවරයක් කිරීමට ගිය බැවින් ඔහු මරා දැමූ බවයි.

ජයදේව යනු අවුරුදු හතළිස් පහක පෙදරේරුවෙක්. පළමු විවාහයෙන් දරුවන් හතර දෙනෙකු සිටින මොහු වර්තමානයේ කල් ගෙවන්නේ අනියම් බිරිය සමඟයි. එනම් දරු හතර දෙනා සමඟ බිරිය අතහැර යන මොහු ඇයගේ නීත්‍යානූකුලව දික්කසාද නොවී වෙනත් අඹුවක් සමඟ දීග කනවා.

ඇයද පළමු විවාහයකට උරුමකම් කියන තිදරු මවක්. ඇය ජයදේව සමඟ පවුල් කන්නට එක්ව සිටියේද කීත්‍යානූකූලව වෙන්වීමකින් තොරවයි. ඇගේ වයස අවුරුදු හතළිස් එකක්.

නිමල්ලාට ඥාතිකම ඇත්තේ ජයදේවගේ අනියම් බිරිය සමඟයි. ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ සැපයුම්කරුවෙකු වූ නිමල් ගේ වයස අවුරුදු 30 ක් වුනා. හොරණ සුචරිතගම මොවුන් පදිංචි නිවස නිමල්ගේ බිරිඳට අයත් එකක්. එය මීට පෙර කුලියට දී නිමල්ලා කල් ගෙවූයේ බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසකයි. මොවුන් මෙම නිවසේ පදිංචියට ගොස් තිබුණේ පසුගිය මාර්තු මාසයේ කොවිඩ් වසංගතයේ ආරම්භයත් සමඟයි.

නිමල්ගේ මල්ලි සුපුන්ට අවුරුදු 22ක් වුනා. ඔහු ටෙක් ආයතනයේ පාඨමාලාවක් හදාරනු ලබනවා.

ජයදේවලා නිමල්ලා පවුලේ හිතවතුන් වූ අතර ජයදේවත් බිරිය පළමු විවාහයෙන් දික්කසාද නොවී වර්තමානයේ අනියම් ඇසුරක් පවත්වාගෙන ගියත්, මොවුන්ගේ පවුල් වල අයට එහි වරදක් පෙනී නැහැ. නිවෙස්වලට යාම් ඒම් කෑම් බීම් ආදිය නතර වී සිටීමද කෙරුණේ ඒ හිතවත්කම නිසාම යි.

විවාහකයෙකු වූ නිමල්ට එක් දරුවෙකු සිටියා. ඒ දියණියකි.. ඇගේ පස් වන උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 10 වැනි දිනයි. එදින නිවසේ සාදයක් පවත්වන්නට නිමල් තීරණය කළ අතර ජයදේව යුවළට ද ඒ සඳහා ආරාධනා ලැබුණා.

ලැබුණු ආරාධනාවට අනුව ජයදේවලා අරමනාගොල්ලේ පිහිටි නිවසේ සිට සිය ත්‍රීරෝද රථයෙන් හොරණ සුචරිතගම නිමල්ගේ නිවසට යද්දි වේලාව රාත්‍රී 9 පසුවී තිබුණා.

නිමල්ගේ මවත්, මල්ලිත් එදින සවස මේ නිවසට පැමිණ උපන්දින සැමරුමටට අදාළ කටයුතු වල නිරත වෙමින් සිට තිබෙනවා.

මේ සාදය ද ආරම්භ වන්නේ මත්වතුරිනි. නිමල්, මල්ලි මෙන්ම ජයදේව අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මධුවිත තොල ගාන්නට වුනා. පැයක් පමණ ගත වෙද්දි මදු සාදය අවසන් වූ අතර රාත්‍රී දහයාහමාරට ආසන්න වෙද්දි ජයදේවලා රාත්‍රී ආහාරයද ගෙන තිබුණා.

කුමක් හෝ කරුණකට ජයදේව මුලුතැන්ගෙට යද්දි උපන්දිනකාරියද තනිවම ඒ අසළ සිටින ජයදේව දුටුවා. ඔහු.. දියණිය වඩාගත්තේ පෙර පුරුද්දට ද නොඑසේ නම් වෙරි මතින් පහළ වූ යම් සිතුවිල්ලක් නිසා ද යන්න නිශ්චිත නැහැ.

“මම කුස්සියට යද්දි ඒ මිනිහා පොඩි එකීව වඩාගෙන බඩ ඉඹිනවා. ඒ මදිවට කලිසම අස්සේ අතත් දානවා. ඒක දැක්කම මට හොඳටම තරහා ගියා. මොකද බල්ලෝ උඹ කරන්නේ කියලා අහද්දි ඒක මගේ ලොකු පුතාට ඇහිලා පුතා දුවගෙන ආවා..”

දැරියගේ ආච්චි අම්මා පොලිසියට එසේ පවසා තිබුණා.

මෙම සිද්ධිය වන්නේ රාත්‍රී දහයහමාරට පමණයි. නිමල් මල්ලි සමඟ එම නිවසට එන්නේ මුල් සිද්ධිය වී පැය බාගයක් පමණ ගෙවී ගිය පසුවයි.

ඒ අනුව මෙම ඝාතනය සැලසුම් සහගත එකක් බව විමර්ශකයන්ගේ අදහසයි.

සිද්ධිය වූ අවස්ථාවේ එම නිවසේදී මෙවන් දෙයක් සිදූවූයේ නම් එය.. දැරියට සිදුවූ අකටයුත්තකට ඇතිවුණූ ක්ෂණික කෝපය නිසා යැයි නිගමනය කිරීමට ඉඩ තිබුණා.

එහෙත් මුල් සිද්ධිය වී පැය බාගයක් පමණ ගත වීමෙන් අනතුරුව අයියා මල්ලි පැමිණ පහර දී මෙම පුද්ගලයා ඝාතනය කරන්නේ සැලසුම් කිරීමකින් අනතුරුවයි.

කෙසේ වෙතත් ජයදේව දරුවා වඩා ගත්තේ කුමක් අරමුණු කරගෙන ද යන්න තහවුරු නැහැ. ඉදිරියේදී තහවුරු වන්නේ ද නැත. ඒ ….. ඔහු … මිය ගිය ගොස් ඇති බැවිනි.

“මාංචු” පුවත්පතට “තක්ෂිලා ජයසේකර” විසින් ලියූ ලිපියක් ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: