sunny new business…..

බොලිවුඩ් කියලා කියන්නේ විශාල වශයෙන් මුදල් හුවමාරු වන තැනක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. සමහර නළු නිළියන් චිත්‍රපටියක් වෙනුවෙන් අය කරනු ලබන්නේ කෝටි ගණනක් මුදල් ප්‍රමාණයක්. කොහොම වුණත් මොවුන් රංගනය අමතරව ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබීමත් දැක ගැනීමට හැකි වනවා.

ෂාරුක් ඛාන්

බොලිවුඩය දිග් විජය කළ රංගන ශිල්පියා ලෙස ලෝ පතළ නමක් දිනා සිටින ෂාරුක් ඛාන් යනු රංගනයට අමතරව තවත් බොහෝ පැතිකඩ ඔස්සේ තම ආර්ථිකය සහ ජීවිතය ස්ථාවර කරගත් පුද්ගලයෙක්.

විශේෂයෙන්ම චලන පින්තූර නිෂ්පාදන සමාගමක් වන Red Chillies Entertainment සමාගම සහ එහි අනුබද්ධ සමාගම්වල සම සභාපතිවරයා වන ෂාරුක්, තම සමාගම හරහා ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයන්ට VFX සහ චිත්‍රපට සජීවීකරණ සේවා සපයමින් ලබා දෙන්නේ ඉහළ දායකත්වයක්. එමෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කණ්ඩායමක් වන ‘කොල්කටා නයිට් රයිඩර්ස්’හි සම හිමිකරුද වන්නේ ෂාරුක් ඛාන්ය. ඒ 2008 වසරේදී තමන්ගේ සම රංගන ශිල්පිනියක වන ‘ජුහි චව්ලා’ සමඟ හවුල්ව කොල්කටා කණ්ඩායමේ වැඩි අයිතිය ෂාරුක් තමන් අතට ගැනීමත් සමඟය. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කණ්ඩායම් අතර ධනවත්ම කණ්ඩායම්වලින් එකක් ලෙස සැලකෙන ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ සමාගම් සන්නාමයේ වටිනාකම පමණක් ඉන්දීය රුපියල් මිලියන ගණනකි. එමෙන්ම රංගනයට අමතරව නිවේදන ක්ෂේත්‍රය තම අමතර වෘත්තියක් බවට පත් කරගෙන තිබෙන ෂාරුක් ඒ හරහාද විශාල මුදලක් තමන් වෙත උපයාගැනීමට සමත් වී තිබෙනවා.

ශිල්පා ෂෙට්ටි

සුරූපී මෙන්ම නිර්භීත රංගන ශිල්පිනියක ලෙස ප්‍රකට ශිල්පා ෂෙට්ටි හැඳින්වෙන්නේ සිනමා රංගනයට අමතරව තවත් විවිධ අංශ ඔස්සේ සාර්ථකත්වය සොයා යන්නියක ලෙසයි. ඒ අනුව ලාභ උත්පාදන ව්‍යාපාර රැසක අයිතිකාරියක ලෙස නමක් දිනාගන්නා. ශිල්පා ෂෙට්ටි ව්‍යාපාරික කාන්තාවක් ලෙස වඩාත් ප්‍රකට වන්නේ ව්‍යාපාරිකයකු වන සිය සැමියා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ක්‍රීඩාවට ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වැරදිකාරයකු වීම සහ එවකට ඔවුන් සතු වූ ‘රාජස්ථාන් රෝයල්ස්’ කණ්ඩායම විකුණා දැමීමත් සමඟයි. අනතුරුව තමන්ගේම චිත්‍රපට නිෂ්පාදන සමාගමකට අඩිතාලම දමන ශිල්පා, Dishkiyaoon නමින් චිත්‍රපටයක් 2014 වර්ෂයේදී ඉන්දීය සිනමාව වෙත ගෙන එන නමුත්, එයද අසාර්ථක වනවා. පසුව 2015 වර්ෂයේදී ‘යෝගා’ පිළිබඳ ඇයගේම ඉගැන්වීම් DVD තැටියක් නිකුත් කරමින් යළි ව්‍යාපාර ක්ෂේත්‍රයට එළඹෙන ශිල්පා “Iosis” නම් ඉන්දීය ස්පා සහ රූපලාවණ්‍යාගාර දාමයක් ඉන්දියාව පුරා ව්‍යාප්ත කරමින් දක්ෂ ව්‍යවසායිකාවක් බවට පත්වෙනවා. එමෙන්ම ව්‍යාපාර කළමනාකාරිනියකට අමතරව රූපවාහිනි නිවේදිකාවක ලෙසත්, song Entertainment වැනි නාළිකාවන්හි සුප්‍රකට නර්තන රියැලිටි වැඩසටහන් විනිශ්චයකාරියක ලෙසත් ඇය සුවිශාල ධනයක් සහ වටිනාකමක් තමන් වෙත මේ වන විටත් ඇද ගනිමින් තිබෙනවා.

සුනියෙල් ෂෙට්ටි

දක්ෂ ක්‍රියාදාම සටන් නළුවකු ලෙසත් ඉන්දීය රංගන ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙසත් ප්‍රකට සුනියෙල් ෂෙට්ටි ව්‍යාපාරිකයකු ලෙසින් ඉන්දියාව තුළ දරන්නේ සුවිශේෂිතාවක්. තමන්ගේම ව්‍යායාම ශාලා රාශියක් රට පුරා විවෘත කරමින් තම ව්‍යාපාරික ගමන් මඟ මුල් වරට අරඹන සුනියෙල් ෂෙට්ටි සටන් නළුවකු සහ ක්‍රියාදාම නළුවකු ලෙස ලබා සිටි ඉහළ ජනප්‍රසාදය නිසාවෙන්ම එම ව්‍යාපාරය තුළ ඉහළ සාර්ථකත්වයක් ලබාගැනීමට සමත්වනවා. පසුව 2003 වර්ෂයේදී පොප්කෝන් එන්ටර්ටේන්මන්ට්’ නමින් තමන්ගේම චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ඇරැඹූ ඔහු ඒ හරහා Khel (2003), Rakht (2004), Bhagam Bhag (2006) වැනි චිත්‍රට රාශියක් රිදී තිරයට ගෙන ඒමට මූලික වනවා. නමුත් නව්‍ය ව්‍යාපාර වෙනුවෙන් දියත් කරන ඔහුගේ වෑයම එයින්ද නොනැවතුණු ඔහු ‘Mischief’ නමින් ඉන්දියාව පුරා ව්‍යාප්ත වූ කඩසාප්පු දාමයක්ද ආරම්භ කරන අතර පසුව ඉන්දීය සාම්ප්‍රදායික ආහාර පිසීම වෙනුවෙන් නම් දැරූ විශේෂිත අවන්හල් කිහිපයක් සහ සුඛෝපභෝගී දේපළ වෙළෙ¼දාම් ව්‍යාපාර සමාගමක්ද ආරම්භ කිරීම සහ ඒවා සාර්ථකත්වය කරා මෙහෙයවීමද සිදුකරනවා. ඒ වගේම ඉන්දියාව තුළ ප්‍රකට රූපලාවණ්‍යාගාරයක් වන ‘Hakim Aalimi Salons’ හි 50%ක කොටස්ද සුනියෙල්් ෂෙට්ටි සතු බවයි. වැඩිදුරටත් පවසන්නේ.

සනී ලියෝන්

Ragini MMS2, Jackpot, Ek Paheli Leela වැනි චිත්‍රපට හරහා බොලිවුඩ් රිදී තිරය වර්ණවත් කළ රංගන ශිල්පිනියක වන සනී ලියෝන් ලොව පුරා ජනතා ආකර්ෂණයට පාත්‍ර වී ඇත්තේ සරාගී නිරූපිකාවක ලෙසයි. නමුත් නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක ලෙස රංගන ක්ෂේත්‍රය තුළම කොටු නොවීමට තීරණය කරන ඇය මුල් වරට ඇයගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ 2012 වර්ෂයේදීයි.

ඒ, අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීම සිදුකරන වෙබ් අඩවියක් කරළියට ගෙන එමිනුයි. ඉන්දියානු ජනතාව අතර විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණු මෙම වෙබ් අඩවිය ඔස්සේ ඇය, ලිංගිකත්වය මූලික කරගත් නිෂ්පාදන පෙළක් “වැඩිහිටියන්ට පමණයි” තේමාව යටතේ ඉන්දියාව පුරා බෙදාහැරීම ආරම්භ කරන්නේ විවිධ බාධක, ගල් මුල් දරා ගනිමින්. කෙසේ නමුත් එම ගල් මුල්වලින්ද පන්නරයක් ලබන ඇය පසුකාලීනව තම ව්‍යාපාරය නවමු පාවහන් මෝස්තර, පිහිනුම් ඇඳුම්, උත්සව ඇඳුම් ආයිත්තම් ආදී පුළුල් පරාසයක විහිදුණු ව්‍යාපාර සන්නාමයක් කරා ගොඩනැඟීමට සමත් වනවා. “Lust” නමින් හැඳින්වෙන සුඛෝපභෝගී ජීවිත ඉලක්ක කරගත් නවමු සුවඳ විලවුන් වර්ගයක්ද ඇය විසින් හඳුන්වාදෙන්නේ ඉහත කී ව්‍යාපාර සාර්ථකත්වය තවදුරටත් ලොව පුරා ව්‍යාප්ත කරමිනුයි.

රුවින්ද වීරසිංහ
ඉරිදා මව්බිම හදගැස්ම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: