Unfortunately the I get the love least

ජීවිතේ ඉතින් මුල ඉඳල පටන් ගන්න වුණානේ. අපි හැමෝම නොහිතපු විදියට අපිව හොයාගෙන ආපු වසංගතයක් නිසා කලා කටයුතුයි බිස්නස් වැඩයි සේරම නැවතුණා. ගෙදරට වෙලා හිටපු මාස ගානටත් එක්ක දැන් මහන්සි වෙන්නෙ ඒ දේවල් යථා තත්ත්වයට ගන්නයි.

නිර්මාණවලට ලබාදෙන දායකත්වය

පසුගිය කාලේ නාට්‍ය කිහිපයක් ටෙලිකාස්ට් වුණා. ඒව ඉවර වෙද්දී ටෙලිනාට්‍ය දෙකකටත් චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලයි තිබුණේ. ඒ හැමදේම තව මාස කීපයකට කල් ගියා.

රංගන ක්‍ෂේත්‍රය හරහා හදාගත්තු නම රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයට එන්න ලොකුවට බලපෑව නේද?

අනිවාර්යයෙන්ම ඒක තමයි මූලික අඩිතාලම වුණේ. ඒත් මම රූපලාවන්‍ය පිළිබඳ වැඩිදුර හදාරල ලොකු දැනුමක් ලබාගෙනයි සැලෝන් පටන් ගත්තෙ.

අද රංගන ශිල්පිනිය පස්සට ගිහින් රූපලාවන්‍ය ශිල්පිනිය ඉදිරියට ඇවිත් නේද?

රඟපාන්න වැඩියෙන් අවස්ථාව ලැබුණ කාලෙ විවාහය නිසා පසුබැස්සා. ඔය අතරෙ මම ව්‍යාපාරවලට අතගැහුවා. නැවත මට ආරාධනා ලැබෙනකොට බිස්නස් වැටෙයි කියල පසුබැස්සා. ඒ නිසා තමයි රූපලාවන්‍ය ශිල්පිනිය ඉදිරියට ආපු බව පේනව ඇත්තෙ. ඒත් මම ලොකු උත්සාහයක් ගන්නව මේ දෙකම බැලන්ස් එකේ මගේ ජීවිතය තුළ රඳවගන්න.

ව්‍යාපාරවල නිරත වෙන අය සල්ලි පස්සේ යනව ඇරෙන්න ජීවිතේ විඳින්නෙ නෑ කියන කථාවට ඔබ එකඟ ද?

නැහැ. මම නිවැරැදියි කියල හිතන්නෙ ඔය කථාවේ විරුද්ධ පැත්ත. ව්‍යාපාර කරන අය තමයි ඒවා වැඩි දියුණු කරගෙන හැම අතින්ම ජීවිතය විඳින්නේ. රැකියාවක නිරතවෙලා මාසික වැටුපක් ලබන කෙනෙකුට සතුටු වෙන්න කාලෙකුත් නෑ. මුදලකුත් නෑ බොහෝ වේලාවට.

ඔබ සාර්ථක ගැහැනියක් කියල ඔබ හිතනවද?

අනිවාර්යයෙන්ම. මොකද මම හැමදේම කලින් ලබපු ගැහැනියක්. අවුරුදු 18 දී අධ්‍යාපන කටයුතු අවසන් කළා. වයස 19 වෙද්දී විවාහ වෙලා දරුවෙක් ලැබුණා. ඒත් එක්කම ව්‍යාපාරවලට යොමු වුණා. ඒ තුළ වයසට වඩා දේවල් මට හිතන්න වුණා. ඒදේවල් එක්ක ගැටෙන්න වුණා. සාර්ථක ගැහැනියකට මිස වෙන කෙනෙකුට ඒ දේවල් කරන්න බෑ. ඒ නිසා මම බය නැතුව කියනවා මම සාර්ථක ගැහැනියක් කියලා.

රංගන කටයුතු ව්‍යාපාර ගෙදර දොරේ වැඩ මේ හැමදේම පටලව ගත්තම හැමදේම අසාර්ථක වීම සාමාන්‍යයි. එවැනි පසුබිමක ඔබ සාර්ථකයි කියන්නේ් කොහොමද?
මූලිකම දේ තමයි ඔය කියන පටලවා ගැනීමට ඉඩ නොදී අපේ එදිනෙදා වගකීම් යුතුකම් ඉටු කිරීම. අපි කිසි කෙනෙකුට එක දෙයක් කරල පැත්තකට වෙලා ඉන්න අයිතියක් නෑ. රැකියාවකට යන ගැහැනු කෙනෙක් ගෙදර ඇවිත් උයන්නෙ නැතුව ඉන්න බැහැනෙ. ඒ ගෙදර පිරිමියට ගෙදරට අවශ්‍ය එළවළු, මාළු ටික නොගෙන එන්නත් බැහැනේ. අන්න ඒ දේවල් තේරුම් අරගත්තම පටලව ගන්නෙ නැතුව ජීවත් වෙන්න ලේසියි.

අම්මගෙ රංගන හැකියාව දුවල දෙන්නට පිහිටලා නැද්ද?

ගහේ කටු උල් කරන්න ඕන නැහැනෙ. අම්මගෙ තාත්තගෙ රංගන හැකියාව මේ දෙන්නට හොඳට පිහිටල තියෙනව. ලොකු දුව මලීෂා පුංචි දවස්වල තාත්තගෙ නිර්මාණවල රඟපෑවා. පොඩි දුව ආශාත් මේ ළඟදී තාත්තගෙ ෆිල්ම් එකකට සම්බන්ධ වුණා. එකම දේ මේ දෙන්න රඟපාන්න අකැමැති එකයි.

ගයාත්‍රි ඩයස් කියන්නේ සමාජයට ඉතා ලෙන්ගතු මිත්‍රශීලී චරිතයක්. ඒත් ඔබ තුළ පුංචි පුංචි දඩබ්බරකම් තියෙන බව ඔබ පිළිගන්නවාද?
පැහැදිලිවම. කවුරු වුණත් මට නිකරුණේ කරදරයක් වදයක් වුණොත් වගේම වැරැද්දක් දැක්ක තැන මම දඩබ්බරයි. ඒත් මාව ළඟින් ඇසුරු කරන ඕනම කෙනෙක් දන්නව මම හිනාවෙලා කතා කරල විහිළුවෙන් තහළුවෙන් හොඳ හිතින් ඉන්න කෙනෙක් කියලා.

මේ ගෙවෙන දිවිය තුළ ඔබට මගහැරුණු ළඟා කර ගැනීමට නොහැකිවූ දේ ලෙස ඔබ දකින්නේ

මොකක්්දෝ අවාසනාවකට මම බොහොම අඩුවෙන් ආදරේ ලබන කෙනෙක්. ඒක මට වැඩියෙන් දැනෙන්නේ මම මගේ වටේ ඉන්න හැමකෙනකුටම ගොඩක් ආදරේ නිසා. හැබැයි පෙරළා ඒ ආදරය මට ලැබිය යුතුමයි කියන තැන මම නැති නිසා ඒව මම ගණන් ගන්නෙත් නැති තරම්.

වැඩියෙන් දුක හිතෙන්නේ කලකිරෙන්නෙ මොන වගේ දේවල් නිසාද

අපි ඉපදිලා තියෙන්නේ ධාර්මික සුහදශීලී රටක. ඒ තුළ ජීවත් වෙන අතරතුර අන් අයට වෛර කරන ඉරිසියාකම් කරන කුහක විදියට අවමන් කරමින් හැසිරෙන අය දැක්කම ඇයි මේ රටේ මම ඉපදුණේ කියල හිතෙනව.

තරුණ වයසට එළැඹි දියණියන් දෙදෙනකුගේ මවක් විදියට ගයත්‍රිට ඒ වගකීම කොහොමද දැනෙන්නේ

එදා මගේ අම්ම මාව බලාගත්තු විදියට වඩා වෙනස්ම විදියකට තමයි අද මට ඒ දෙන්නගෙ ආරක්‍ෂාව රැකවරණය සලසන්න වෙලා තියෙන්නේ. ඒ ගැන හිතද්දී පවා ලොකු බරක් හිස මත තියෙන බව දැනෙනවා. වාසනාවකට මට ඉන්නේ බොහොම කීකරු කෙලි පැටික්කියෝ දෙන්නෙක්. ඒක තමයි තියෙන එකම සැනසීම.

ක්‍ෂේත්‍රය තුළ අධ්‍යක්‍ෂවරියක් නිෂ්පාදිකාවක් වෙන්න අදහසක් නැද්ද?

නිෂ්පාදනය කියන එක සල්ලි තියෙන ඕනම කෙනෙකුට කරන්න පුළුවන් වුණාට අධ්‍යක්‍ෂණය හැමෝටම බැහැ. ඒ සඳහා ලොකු දැනුමක් අවබෝධයක් තියෙන්නෙ ඕන. අධ්‍යක්‍ෂණයට ආසයි. ඒත් මට ඒ දැනුම මදි කියන තැනයි මම තවම ඉන්නේ.

ධම්මික හේවාවසම්-දිවයින – මීවිත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: