welikada kitchen……………

බන්ධනාගාර කාන්තා සිර මැදිරියේ මුළුතැන්ගෙයක් හෝ ආහාර පිසීමක් සිදු වන්නේ නැත. ඔවුනට ආහාර සැපයෙන්නේද පිරිමි සිරකරුවන් විසින් පිසින ආහාරයෙනි.

ආහාර පිසීමෙන් අනතුරුව බුද්ධ පූජාවට ආහාර වෙන් කිරීම දින චරියාවේ කොටසකි.

පිසින ලද ආහාරයන්හි සාම්පල් ආහාර ප්‍රධාන ජේලර්වරයාට හෝ බන්ධනාගාර අධිකාරිවරයෙකුට යොමුකර ආහාරවල ගුණාත්මකභාවය ආරක්ෂාව ගැන තහවුරු කරගත යුතුය. එහිදී එම නිලධාරිවරයා එකී ආහාර සාම්පල් ආහාරයට ගනිමින් පරීක්ෂාවට ලක් කළ යුතුය.

ඉන්පසු එළඹෙනුයේ ආහාර බෙදාදෙන අවස්ථාවය. බන්ධනාගාරයේ සිර මැදිරි හඳුන්වන්නේ වාට්ටු ලෙසය. එකී වාට්ටුවල සිර කණ්ඩායම් තම වාට්ටුවට අවශ්‍ය ආහාර ගෙනයාම සිදු කරයි. එසේ ගෙන යන ආහාර රැඳවියන් අතරේ බෙදාදෙන්නේද සිරකරුවෙකු විසිනි.

සුද්දගේ කාලේ හිරබත් සංග්‍රහය ඒ ආකාරයෙන් වනවිට අතීතයත් වර්තමානයත් ගත්කල එදා මෙන් අදත් ඒ ආකාරයෙන්ම පවතින්නේ කුමන ආහාර ලයිස්තුවද? අද භාවිතයේ නැති ඉවත් වූ ආහාර වට්ටෝරුව කුමක්ද? අප විමසා සිටියා බන්ධනාගාර බන්ධනාගාර පරිපාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන්.

“ඇත්තටම ඒ ඉහත කී ආහාර රටාව ගත්තහම බන්ධනාගාරය තුළ පැවති අවුන්ස මිනුම් ක්‍රම ග්රෑම්, ලීටර් ලෙසට පරිවර්තනය වෙමින් ඒ නීති රෙගුලාසිවලටම අනුව ඒ අාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා…”

“නමුත් අර ලු‍ණුයි බතුයි, හුලන් විස්කෝතු වගේ දඬුවම් ආහාර ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ නෑ. ඒ වෙනුවට සිර දඬුවම් කාලය යම් වැඩි කිරීමක් සිදු කරනව. සුදු ආණ්ඩුකාරවරුන්ගේ කාලයේ වගේ නොවේ මානව හිමිකම් පිළිබඳව වැඩි අවධානයක් වර්තමානයේ යොමුව තිබෙනවා. ඒ අනුව අප මේ වනවිට ක්‍රියාවට නංවන්නේ සිරකරුවන්ට සැලකීම පිළිබඳව 2015 වසරේ ජාත්‍යන්තරව පිළිගත් මැන්ඩෙලා රීතියයි…”

“ඔවුන් බන්ධනාගාරය ඇතුළේ සිදුකරන වැරදි සම්බන්ධයෙන් වුවත් අප දඬුවම් ආහාරයට යටත් කරන්නේ නෑ. ඒ වෙනුවට කරන්නෙ දඬුවම් කාලය වැඩි කරන එකයි. බන්ධනාගාර නීතියට අනුව අනෙකුත් ආහාර සියල්ල ඒ ආකාරයෙන් ක්‍රියාත්මකයි. ඒ වගේම ඉරිදට අප කහබත්, පරිප්පු, බටු ව්‍යාංජනයක්, චිකන් කරියක්, පපඩම් ලෙස විශේෂිත කෑම වේලක් ලබාදෙනවා. ඊට අමතරව විශේෂ අවස්ථාවන්හීදී කිරිබත්, කට්ට සම්බල් එක්ක කෙසෙල් ඔවුන්ට ලබා දෙනවා…”

“බන්ධනාගාරයේ වෛද්‍ය නිර්දේශයන්ට අනුව යම් රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙක් වේ නම් ඔහුගේ රෝගී තත්ත්වයෙන් මිදීම සළස්වන සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා දෙනවා. උදාහරණයන් ලෙස තැම්බූ එළවළු, රතුහාලේ බත්, හයිප්‍ර්‍රෝටීන් අවශ්‍ය අයට එම අවශ්‍යතාවට සරිලන ප්‍රෝටීන් බහුල ආහාර මෙහි සැපයෙනවා…”

“බොහොමයත් වෙලාවට ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන මානුෂීය හැඟීමෙන් යුතුව අප මෙහි කටයුතු කරනවා.
ඒ වගේම සිංහල අවුරුදු, ජනේරු, හජ්ජි, තෛපොංගල්, නත්තල් වැනි අවුරුදු දිනයන්හිදී සිරකරුවන්ගේ නිවෙස්වලින් ආහාර ගෙන්වා ගැනීමට අවස්ථාව සලසාදෙනවා වගේම එදිනට අපගේ මුළුතැන්ගෙයිත් අප වෙනසක් කරනවා…”

“ඒ වගේම ඔවුන්ගේ ජීවිත දෝලනය වන අපරාධ සහ ජාවාරම් චක්‍රයෙන් මුදවා ගැන්මට අවශ්‍ය පසුබිම සකසන්නට නම් දඬුවම වගේම ඔවුනගේ කඩා වැටුණු ජීවිත නගාසිටුවීම අවශ්‍යයි…”

“ඒ වෙනුවෙන් අප විශාල වැඩ කොටසක් කරගෙන යනවා. දැනුමෙන්, නිපුණත්වයෙන්, අධ්‍යාත්මයෙන්, සමාජීය වශයෙන් මේ සෑම පැත්තකින්ම නඟා සිටුවන්න නම් ඔවුන්ගේ සෞඛ්‍ය පවත්වා​ගෙන යෑමට හොඳ ආහාර වේලක් අත්‍යවශ්‍යයි..”

මොකක්ද මේ සුද්දගේ ක්‍රමයෙන් මදක් බැහැර වෙන්න හේතු වුණ නෙල්සල් මැන්ඩෙලා රීතිය? අප සොයා බැලු‍ව ඔබගේ දැන ගැනීම වෙනුවෙන්.

සිරකරුවන්ට සැලකීම සඳහා සම්මත අවම රීති ප්‍රථම වරට 1957 දී සම්මත කරන ලද අතර, 2015 දී නෙල්සන් මැන්ඩෙලා රීති ලෙස සංශෝධනය කර සම්මත කරන ලදී. ගෝලීය වශයෙන් සිරකරුවන්ට සැලකීම සඳහා රීති ප්‍රධාන ප්‍රමිතියක් වන අතර පුළුල් ලෙස භාවිත කරන ලද නමුත් 1957 සිට මානව හිමිකම් හා අපරාධ යුක්තියේ විශාල වර්ධනයන් සිදුවී ඇති බව පිළිගැනීමත් සමඟ 2010 දී සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කරන ලදී.

සංශෝධිත සම්මත අවම රීති 2015 දෙසැම්බර් 17 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරන ලදී. එකී සංශෝධිත රීති දැන් නෙල්සන් මැන්ඩෙලා රීති ලෙස හැඳින්වේ.

සම්මත අවම රීති බොහෝ විට රාජ්‍යයන් විසින් සලකනු ලබන්නේ රැඳවුම් භාරයේ ප්‍රතිකාරවලට අදාළ ප්‍රමිති ප්‍රභවය වන අතර පමණක් නොව සිරකරුවන්ට සැලකීම තක්සේරු කිරීමේදී අධීක්ෂණ හා පරීක්ෂණ යාන්ත්‍රණයන් විසින් භාවිත කරනු ලබන ප්‍රධාන රාමුව

සංශෝධනය කර ඇති සම්මත අවම නීතිරීති අට නම්: සිරකරුවන් – මිනිසුන් ලෙස ආවේණික ගෞරවයට ගරු කිරීම, වෛද්‍ය හා සෞඛ්‍ය සේවා ලබාදීම, විනය ක්‍රියාමාර්ග සහ සම්බාධක, අත්අඩංගුවේ සිටිදී මරණ හා වධහිංසා පිළිබඳ විමර්ශනය කිරීම, නීතිමය නියෝජනයට ප්‍රවේශය, පැමිණිලි සහ පරීක්ෂණ කිරීම, පාරිභාෂිතය සහ කාර්ය මණ්ඩල පුහුණුව ලබාදීම.

ගෝලීය මානව හිමිකම් සමානාත්මතාවය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලය අතරතුර වසර 27 ක සිර දඬුවමක් විඳි දකුණු අප්‍රිකාවේ අභාවප්‍රාප්ත ජනාධිපති නෙල්සන් රෝලිහ්ලා මැන්ඩෙලා මහතාගේ උරුමයට ගෞරව දැක්වීම සඳහා සංශෝධිත නීති නෙල්සන් මැන්ඩෙලා රීති ලෙස හැඳින්වීය. සිරකරුවන්ගේ මුළුතැන්ගෙය සහ එහි ඉදෙන හිර බත පිළිබද අතීත සහ වර්තමාන පසුබිම ඒ ආකාරයෙන් වනවිට මරණිය දණ්ඩනයට නියම වූ සිරකරුවෙකුගේ ආහාර සඳහාත් නීති රෙගුලාසි තිබෙනවාද?

ඇත්තෙන්ම දැන් අපේ රටේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ නැත. නමුත් එවැනි සිරකරුවන් සඳහාත් නීති රෙගුලාසි ඇත. මරණීය දණ්ඩනයට නියම කළ සිරකරුවෙකුට ලබාදෙන්නේද සාමාන්‍ය ආහාර වේලකි. නමුත් එම ආහාර වෙනස් කළ යුතු බවට වෛද්‍ය නිර්දේශයක් පවතින්නේ නම් වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලබන අාහාරයක් අධිකාරිවරයාගේ අනුමැතිය මත ලබාගන්න ඒ සිරකරුට හැකියාව ඇත.

මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවෙකුට ඔහුගේ ආගමට අනුව නොගන්නා ආහාරයක් තිබේ නම් එවැනි දේ ඔහුට නොදිය යුතුයි. ඒ වෙනුවට ඔහුට වෙනත් ආහාරයක් නිර්දේශ කරන්නට වෛද්‍යවරයාට හැකියාව ඇත.

එවැනි අයෙකුට මරණීය දණ්ඩනය ස්ථිර කිරීමෙන් පසු ඔහු ඉල්ලා සිටින්නේ නම් බුලත් විටි තුනක් (බුලත්, පුවක්, හුණු, දුම්කොළ) වලින් යුක්ත, හෝ සිගරට් තුනක් හෝ සුරුට්ටු තුනක් හෝ තුන්වරක් පයිප්පය පුරවා ගන්න අවශ්‍ය දුම්කොළ ලබාදිය යුතුයි.

උදේ ආහාරයට ආප්ප අවුන්ස තුනක්, ඉදුණු කෙසෙල්ගෙඩි දෙකක්, තේ අවුන්ස දාසයෙන් පංගුවක්, සීනි අවුන්ස බාගයක් ලබාදිය යුතුයි.

මෙවැනි සිරකරුවෙකුගේ මේ මොන ආහාරය නීති රෙගුලාසිවල මොනවා තිබුණත් වෛද්‍ය නිර්දේශය අනුව අධිකාරිවරයාගේ අනුමැතියෙන් වෙනස් කළ හැකිය.

රේඛා තරංගනී ෆොන්සේකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: