saranga on dinakshi

අලුත්ම නිර්මාණයක් විකාශය වෙනවා හිරු නාළිකාවෙ. ‘අකුරු මැකී නෑ’ කියලා එහිත් මම මෙතෙක් කරලා නැති විදියෙ චරිතයක් තමයි කරන්නෙ. ඉතින් ඒ චරිතය හරහාත් ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව දැක බලාගන්න පුළුවන්. ඒ වගේම ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා අධ්‍යක්ෂණය කළ තවත් ටෙලි නාට්‍යයක් ළඟදීම විකාශය වීමට නියමිතව තියෙනවා.

වේදිකාව පැත්තෙ වැඩ කොහොමද?
පසුගිය කාලෙ වේදිකාව පැත්තට සම්බන්ධ වෙලා හිටියා. ඒ පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍ය ඔස්සේ. එය ඉතාම සාර්ථකව වේදිකාගත වුණා. ඉතා හොඳ ප්‍රතිචාරයක් තිබුණා. දර්ශන වාර පිළිබඳ විමසීම් සහ දර්ශන වාර සංවිධානයවෙලත් තිබුණා. නමුත් රටේ ඇතිවුණු වසංගත තත්ත්වයත් එක්ක ඒ දේවල් මගහැරුණා. ඉදිරියේදී ඒ දේවල් යථාතත්ත්වයට පත්වුණාට පසුව යළිත් ඒ නිර්මාණය වේදිකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා.

අහිංසක පෙම්වතාගෙ චරිතයෙන් සාරංගව ගොඩක් දෙනෙක් හඳුනාගත්තෙ. නමුත් එකම රාමුවකට කොටු නොවී විවිධාකාර චරිතවලට යන්න ඔබට හැකිවුණා.
ඔව්. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ට මුල් කාලෙදි ලැබෙන්නෙ ටිකක් රාමුගත චරිත. මටත් මුල් කාලෙදි අහිංසක පෙම්වතා චරිතය තමයි ලැබුණෙ. නමුත් ඒ අතරත් ටෙලි නාට්‍යයෙන් නාට්‍යයට යම් යම් වෙනස්කම් චරිතෙන් චරිතෙට කරන්න උත්සාහ කළා. පසු කලෙක ශිවගුරුනාදන් මහත්මයා තමයි ගොඩක් වෙනස් චරිතවලට මාව යොමු කළේ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි දුෂ්ට චරිත, මානසික ආබාධ සහිත ශාරීරික ආබාධ සහිත වගේ විවිධකාර චරිතවලට මට යන්න හැකි වුණේ. ඉතින් අද හැරිලා බලද්දි ගොඩක් සතුටු වෙනවා. වෙනස් විදියේ චරිත කරන්න මම ගත්ත අදහස් හා තීරණයන් නිසා ඒ දේවල් අද වෙද්දි සාර්ථක වෙලා තියෙනවා.

මේ සියල්ලත් එක්ක වෙනස්ම මඟකට ගිහින් තියෙනවා. U Tube හරහා. ඒ අලුත් වැඩ කටයුත්ත ගැන කතා කළොත්.
U Tube නාළිකාවක් කාලෙක ඉඳලා මට තිබුණා. නමුත් ගොඩක් වෙලාවට එහි නිරතවීමක් සිදු වුණේ නැහැ. නමුත් මේ වසංගත තත්ත්වය එක්ක ලොකු නිවාඩුවක් ලැබුණනෙ. ඒ නිසා නිර්මාණ වැඩ කටයුතු සිදු කෙරුණෙ නැහැ. අපි නිර්මාණකරුවො විදියට කුමක් හෝ මාධ්‍යයක් හරහා අපේ නිර්මාණ එළිදක්වන්න ඕනෑ. ඉතිං මට හිතුණා U Tube කියන්නෙ හොඳ මාධ්‍යයක්. සමහර විට ටෙලි නාට්‍යයක, සිනමා පටයක කරන්න බැරි දේවල් වුණත් අපිට U tube හරහා දිගඅරින්න පුළුවන්. ඉතින් මට හිතුණා දිනක්ෂිත් එක්ක එකතු වෙලා ඒ වගේ නිර්මාණ ටිකක් කරන්න. ගොඩක් සැලසුම් කරලා නෙමෙයි විනෝදෙට තමයි මේ දේවල් කළේ. ඒවා අපි නොහිතන විදියට ජනතාව අතර ජනප්‍රිය වුණා. ඉතින් අපිට හිතුණා මෙවැනි නිර්මාණ අපෙන් බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අපිට ඉඩක් තියෙන විදියට නිර්මාණ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

මේ නිර්මාණ වෙනුවෙන් දිනක්ෂිව තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණාද?
විශේෂ හේතුවක් කියන්නෙ දිනක්ෂි කියන්නෙ මගෙ ජීවන සහකාරිය. ඒ නිසා ඇයයි මමයි එකතුවෙලා මේ දේවල් කරගෙන යනවා.

ඒ සමහර නිර්මාණවලට හොඳ වගේම විවේචනත් එල්ල වෙනවා. නේද?
විවේචන කියන දේවල් ධනාත්මක පැත්තකින් ගන්න මම හැමවෙලේම උත්සාහ කරන්නෙ. සමහර වෙලාවට නිර්මාණය ගැන විවේචනය නොකර අනවශ්‍ය පෞද්ගලික දේවල් ගැන තමයි විවේචනය සිද්ධ කරන්නෙ. මම ඒ දේවල් ගනන් ගන්නෙ නැහැ. නමුත් නිර්මාණයක් ඇතුලෙ ධනාත්මක විවේචනයක් තියෙනව නම් එතැනින් දෙයක් අරගෙන අපේ අඩුපාඩු හදාගන්න පුළුවන්නම් අපි ඒ විදියෙ විවේචන ඉතාම සතුටු සිතින් භාරගන්නවා.

කලාවත් එක්ක ගෙවන මේ ජීවිතේ කොහොමද?
මම මීට පෙර වෙනත් රැකියාවල නිරතව හිටපු කෙනෙක්. කාර්යාලගතව වැඩ කළා. නමුත් ඒ රැකියාවලින් ලබන්න බැරි වුණ විදියෙ තෘප්තියක් මම දැන් නිරතවන කලා කටයුතු හරහා ලබනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. අභියෝගාත්මකයි. ගොඩක් මහන්සි වෙන්න ඕනෑ. නමුත් පටන් ගත්ත කාලෙත් එක්ක බලද්දි ලොකු සතුටක් තියෙනවා අද ඉන්න තැන ගැන.

මගේ හැකියාවන් වර්ධනය කරගන්න හැකිවෙලා තියෙනවා. ඒත් එක්කම මනුෂ්‍යයෙක් විදියට තරුණයෙක් විදියට ආර්ථිකමය අතින් සහ සමාජීය අතින් යම් ස්ථාවරයක ඉන්නවා. ඒ පිළිබඳව මට සතුටුයි. මම මේ ගමන එක පාර පැරිෂුට් එකකින් වැටුණා වගේ මේ තැනට වැටුණු කෙනෙක් නෙමෙයි. කුඩා කාලෙ ඉඳලාම අඩියෙන් අඩිය කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් පිළිබඳව අධ්‍යයනය කරමින් ආපු කෙනෙක්.

ඉතින් මේ ඉන්න තැන ගැන නිහතමානීව සතුටු වෙනවා.

මගේ ජීවිතේ දීර්ඝ කාලීන සැලසුම් නැහැ. හැමදාම තිබුණෙ කෙටි කාලීන ඉලක්ක. මොකද දීර්ඝ කාලීන සැලසුම් සමහරවිට පවත්වාගෙන යන්න සහ ඉෂ්ට කරගන්න අමාරු වෙන්න පුළුවන්. කෙටි කාලීන ඉලක්ක ඊට වඩා ප්‍රායෝගිකයි. ඉතින් මම ලැබෙන නිර්මාණවලට උපරිම සාධාරණයක් කරගෙන කලා ක්ෂේත්‍රයේ හැකි පමණින් දෙයක් කරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා.

ධනු විජේරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: