What are this ethical P**N

දැන් ඔය බ්ලූ ෆිල්ම්ස් නැතිනම් පෝර්නෝග්‍රැෆි කියන මාතෘකාව සෑහෙන්න වෙලා අරගෙන කතා කරන්න ඕන දෙයක්. මොකද, පෝර්නොග්‍රැෆි කියන දේ හොඳද නරකද කියන එක ගැන සෑහෙන්න වාද විවාද තාමත් සිද්ධ වෙනවා. හැබැයි තාමත් ඒ වාද විවාද වලින් නිශ්චිත තිරණයකට කවුරුත් ඇවිත් නෑ. සමහරු කියනවා මේ පෝර්න් නැතිනම් අසභ්‍ය වීඩියෝ හරි අසභ්‍ය අන්තර්ගතයන් හරි වලින් ළමයි විතරක් නෙවෙයි වැඩිහිටියෝ පවා නරක් වෙනවය, ඒවා නිසා කාම අපරාධ වැඩි වෙනවය කියලා. හැබැයි තවත් කොටසක් කියනවා, ළමයි මේවලට ඇබ්බැහි නොවෙන්න වගබලා ගන්න එක එක දෙයක්, හැබැයි වැඩිහිටි මිනිස්සුන්ට ලිංගික ආතතියෙන් මිදෙන්න මේ පෝර්න් අත්‍යාවශ්‍ය වෙනවාය, ඒ නිසාම කාම අපරාධ අඩු වෙනවය කියලා.

හරි, අපි කතා කරන්න යන්නේ පෝර්නොග්‍රැෆි හෙවත් අසභ්‍ය අන්තර්ගතයන් හොඳද නරකද කියන කාරණාව ගැන නෙවෙයි. අපි කථා කරන්න යන්නේ එතිකල් පෝර්න් නැතිනම් ආචාර ධාර්මික අසභ්‍ය අන්තර්ගතයන් කියලා කියන්නේ මොකද්ද කියන එක ගැනයි.

1. නම ඇහුවම අපි හිතපු දේ

මුලින්ම කියලා ඉමුකෝ එතිකල් පෝර්න් කියපුවහම අපිට හිතුණේ මොනවද කියලා. දැන් ඔය පෝර්න් වල ඉස්සර වගේ නෙවෙයි, විවිධ කාණ්ඩ, කැටගරි තියෙනවනේ. එතකොට අපිට සදාචාරාත්මකව ගත්තහම ගැටළුවක් නැහැයි කියලා වර්ග කරන්න පුළුවන් ඒවා වගේම, සම්මත සදාචාරයන්ට අනුව අවුල් කියලා හිතන්න වෙන කැටගරීස් එහෙමත් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, බාලවයස්කාර දරුවෝ හරි දැරියෝ හරි එක්ක සෙක්ස් කරන විදියේ පෝර්න් පට්ටම අවුල්. කෙනෙක්ගේ එකඟතාවයක් නැතිව සෙක්ස් කරන, ඒ කියන්නේ සරලවම කිවුවොත් ලිංගික අපරාධ විදියට පේන්න හදන පෝර්න් අවුල්. ඉතින් අපි හිතපු දේ තමයි එතිකල් පෝර්න් කියන්නේ මෙන්න මේ විදියේ සදාචාරාත්මකව ප්‍රශ්නකාරී අන්තර්ගතයන් නැතුව හදපු ඒවා කියලා.

දැන් බලමු අපි හිතපු විදිය හරිද කියලා.

2. පෝර්න් කියන්නේ ලොකු කර්මාන්තයක්ද?

එතිකල් පෝර්න් ගැන අපි කියන්න ආපුදේට කලින් පෙන්නන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් වෙනකොට ඔය පෝර්නොග්‍රැෆි කියන කර්මාන්තය කොයි තරම් විශාලයිද කියන එක. ඒ කියන්නේ දැන් අපි දකිනවා ඔය බ්ලොක්බස්ටර් හොලිවුඩ් ෆිල්ම් වල කොලිටියටම හැදෙන අසභ්‍ය චිත්‍රපටි. අහන්න ලැබෙන විදියට අවුරුද්දකට උපරිම ඇමරිකානු ඩොලර් බිලියන 90 කට ආසන්න ආදායමක්, අසභ්‍ය චිත්‍රපටි සහ අසභ්‍ය අන්තර්ගතයන් නැතිනම් පෝර්නොග්‍රැෆි ඔස්සේ මුළු ලෝකෙම තියෙන පෝර්න් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් උපයනවාලු. සෙල්ලම් නෑනේ? හැබැයි ප්‍රශ්නේ මේකයි. මේ වගේ කර්මාන්තයක් විදියට අසභ්‍ය නිෂ්පාදන විශාල වෙන්න වෙන්න, ලාභ ලැබීම මූලික අරමුණ වීමත්, ඒ ඔස්සේ ඒ කර්මාන්තයේ වැඩ කරන අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම, සදාචාරාත්මක සීමාවන් උල්ලංඝනය වීම වගේ දේවල් වෙන්න පුළුවන් වීමයි.

3. එතිකල් පෝර්න්

හරි. කියන්න ආපු විස්තරේට එමු. සරලවම එතිකල් පෝර්න් කියන්නේ, ඒ කර්මාන්තයේ වැඩ කරන අය -ඒ කියන්නේ විශේෂයෙන්ම නළු නිළියෝ නැතිනම් පෝර්න්ස්ටාර්ලාගේ- අයිතිවාසිකම් සහ ඔවුන්ගේ සුභසිද්ධිය සඳහා මූලික තැනක් දෙමින් නිර්මාණය කරනු ලබන පෝර්න් හෙවත් අසභ්‍ය අන්තර්ගතයන් වලට. එතකොට, එතිකල් පෝර්න් වල විශේෂයෙන්ම රඟපාන නළු නිළියන් කරන්න අකමැති දෙයක් බලෙන් කරවන්න යන්නෙ නෑ. ඒ අය සම්පූර්ණයෙන්ම කැමරාව ඉස්සරහා කරන්න කම්ෆර්ටබල් දේවල් විතරයි සිද්ධ වෙන්නේ.

4. පාඩු නැද්ද?

දැන් අපි උඩින් කියපු විදියට එකක් තමයි, පෝර්න්ස්ටාර්ලාව කිසිම දෙයක් සම්බන්ධයෙන් බල කරලා දේවල් කරවගෙන ෂූට් කරලා විකුණන ක්‍රියාවලිය එතිකල් පෝර්න් වලදී සිද්ධ වෙන්නේ නෑ. ඒක හොඳයි. හැබැයි, එතනදී ප්‍රශ්නයක් එන්න පුළුවන් තමන්ට ලාභ උපයන්න පුළුවන්ද එතිකල් පෝර්න් වලින් කියලා. ඒ වගේම අර පෝර්න්ස්ටාර්ලාගේ සුභසාධනයත් එතිකල් පෝර්න් නිෂ්පාදනයේදී බලන්න ඕනනේ. ඒ කියන්නේ ඒ අයගේ සෞඛ්‍යය රැකගන්න වගේ දේවලටත් අමතරව නිෂ්පාදකයොන්ට සිද්ධ වෙනවා වියදම් කරන්න. අන්න ඒ ඔක්කොම බැලුවහම මේක පාඩුයි කියලා හිතෙන්න පුළුවන්.

හැබැයි, ලෝකේ පුරාම එතිකල් පෝර්න් වෙනුවෙන් ලොකු වෙළෙඳපොළක් හැදීගෙන යනවා. ඒ කියන්නේ, ඉන්ටර්නෙට් එකට ගිහින් නොමිලේ බ්ලූ ෆිල්ම් බලන්න තියෙන සයිට් එකකින් ඕනම බ්ලූ ෆිල්ම් එකක් බලනවා වෙනුවට, එතිකල් පෝර්න් තියෙන තැනකින් මුදල් ගෙවලා එතිකල් පෝර්න් මූවි එකක් අරගෙන බලන්න පෙළඹෙන ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා.

අන්න එතකොට, සදාචාරයත් එක්ක බැලුවහම වැඩේ පාඩු නෑ.

5. සෙක්ස් වල යථාර්ථයත් මෙතන තියෙනවා.

ඇත්තටම දැන් නිර්මාණය වෙන එතිකල් පෝර්න් වල ලොකු ටාගට් එකක් තමයි බොහොම පුළුල් විදියට ඇත්ත මිනිස් සමාජය නියෝජනය වෙන පෝර්න් නිර්මාණය කරන එක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් සමාජයේ ඉන්නේ බොඩිබිල්ඩර්ස්ලා විදියට ඇඟ හදාගත්තු අයියලයි, මොඩ්ල්ස්ලා වගේ ලස්සනට ඉන්න අක්කිලයි විතරක් නෙවෙයිනේ. එක එක විදියේ මිනිස්සු ඉන්නවා. ගැහැණු, පිරිමි, සංක්‍රාන්තික ලිංගිකයෝ ඉන්නවා. විවිධ ශරීර ප්‍රමාණයන්, විවිධ ශරීර වර්ණ, විවිධ ශරීර ආකාරයන් තියෙනවා. විවිධ වාර්ගිකත්වයන් තියෙනවා. විවිධ ලිංගික නැඹුරුතාවයන් තියෙනවා. එතකොට මේ ඇත්ත ලෝකේ සෙක්ස් යථාර්ථය පිළිබිඹු වෙන විදියට එතිකල් පෝර්න් හදන්න ගොඩක් අය උත්සාහ ගන්න ප්‍රවණතාවයකුත් තියෙනවා.

6. පෝර්න් බලන අයට එතිකල් පෝර්න් වල තියෙන වාසිය මොකද්ද?

වාසි දෙකක් මූලිකවම පෙන්නන්න පුළුවන්. පළවෙනි දේ තමයි, තමන් නරක දේකට දායකත්වයක් දක්වන්නේ නැහැයි කියන හැඟීම. ඒ කියන්නේ, තමන් එතිකල් පෝර්න් ෆිල්ම් එකක් සල්ලි දීලා අරගෙන බැලුවත්, තමන්ගේ හිතේ කහටක් නෑ. මොකද, තමන් දන්නවා තමන් බලන්නේ නියම විදියට, රඟපාන අයගේ අයිතිවාසිකම් වලට සහ සුභසාධනයට මුල් තැන දීලා නිර්මාණය කරපු, නියම මිලක් ගෙවපු චිත්‍රපටයක් කියලා. අන්න ඒ නිසා වරදකාරී හැඟීමක් එන්නෙ නෑ.

දෙවෙනියට, එතිකල් පෝර්න් වල කිසිම කෙනෙක්ව තමන් කම්ෆර්ටබල් නොවන දෙයක් කරවන්න පොළඹවන්නේ නැති නිසා, ගොඩක් දෙනෙක් කියනවා එතිකල් පෝර්න් වඩාත් නිර්ව්‍යාජ, ස්වභාවයට ආසන්න දෙයක් කියලා. ඒ කියන්නේ, බලන කෙනාට දැනෙනවා මේක රංගනයකට වඩා ඇත්ත ලෝකේ තියෙන තාත්වික දෙයක් විදියට. සිපගැනීමක වුනත් කෘත්‍රිම බවකට වඩා අව්‍යාජ ඇත්ත ගතියක් තියෙනවා.

7. එතකොට අර සදාචාර ප්‍රශ්න වලටත් මේක විසඳුමක්ද?

මේකට ඇත්තටම දෙන්න පුළුවන් උත්තරේ ටිකක් සංකීර්ණයි. දැන් අපි ගත්තොත්, එතිකල් පෝර්න් නිෂ්පාදනයේදී කිසිම කෙනෙක්ට තමන් කම්ෆර්ටබල් නොවෙන රංගනයක් කරන්න සිද්ධ වෙන්නෙ නැහැනේ. අන්න ඒ නිසාම බාලාපචාර, ලිංගික අපරාධ වගේ තේමාවන් එක්ක යන අසභ්‍ය චිත්‍රපටි හැදෙන්න තියෙන ඉඩ සෑහෙන්න අඩු වෙනවා. හැබැයි ඉතින් එහෙම හැදෙන්නේ නැහැමයි කියලා අපිට කියන්න බෑ. මොකද, උදාහරණයක් විදියට කිවුවොත්, ඕන නම් අධ්‍යක්ෂකවරයෙක්ට පුළුවන් වයසින් ලාබාල පෙනුමක් තියෙන වැඩිහිටි කෙනෙක් දාලා ෆිල්ම් එකක් කරන්න. ඒ වැඩිහිටි පෝර්න්ස්ටාර් වුනත් කැමැත්තෙන් ඒක කරනවා නම්, ඒක අපිට එතිකල් පෝන් නෙවෙයි කියන්නත් බැහැනේ. එතකොට බලන කෙනා මේක බලන්නේ තමන් බාලාපරාධ ෆිල්ම් එකක් බලනවාය කියන හැගීමෙන්ම තමයි.

හැබැයි එහෙම වුනත්, දැනට අපිට කියන්න පුළුවන් එතිකල් පෝර්න් කියන්නේ, අසභ්‍ය චිත්‍රපටි සහ අසභ්‍ය අන්තර්ගතයන් කියන දේ වඩාත් සදාචාරාත්මක මාර්ගයකට යොමු කරන්න හැකියාව තියෙන දෙයක් කියලා.

උපුටාගැනීම-lifie.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: