Windy’s revealed………………

වින්ඩි ගුණතිලක කියන නම කෙනෙකුට නුහුරු වුනත් ඒ රූපය දුටු ගමන් ඒ කවුද කියලා ඕනෑම කෙනෙකුගේ මතකයට එනවා. ඇය ජනප්‍රිය තරු යුවලක් වන රූකාන්ත හා චන්ද්‍රලේඛාගේ ආදරණිය බාල දියණියයි. මේ ඇය ගැනයි.

‘වින්ඩි’ ඒ හැර තවත් නම් තියෙනවද?‘වින්ඩි’ විතරයි. අම්මා කියන්නේ චූටි පුතා කියලා. තාත්තයි අක්කයි කියන්නේ පූපර් කියලා.

ඉතින් වින්ඩි කොහොමද ජීවිතේ?කෝවිඩ් නිසා ගෙදරම තමයි ඉතින්.

ගෙදරට වෙලා මොන වගේ දේ වෙනුවෙන් ද කාලය වැය කරන්නේ?වෙනද‌ා ගෙදර හැමෝම වගේ කාර්ය බහුල නිසා පවුලටම එකට එකතුවෙලා කාලය ගත කරන්න ලැබුණෙ කලාතුරකින්. ඒත් කෝවිඩ් නිසා අපි හැමෝටම එකට එකතු වෙලා ලොකු කාලයක් ගත කරන්න ලැබුණා. ඔක්කෝටම හරි සතුටුයි. මේ කාලයේදී අපි හැමෝම ගෙදරට වෙලා සතුටින් තමයි කාලය ගත කළේ. අපි ඉතින් එක එක කතා කියමින්, චිත්‍රපට නරඹමින්. ගීත අහමින් මේ කාලය ගත කළා. ඒ අතරවාරයේදී මගේ පළමු ගීතය නිර්මාණය කරන්නත් පුළුවන් වුණා. ගීතය හදලා දුන්නෙ තාත්තා. ඒ ගීතය රසිකයින්ට අහන්නට සලස්වලා මාසයක් විතර ඇති. හැබැයි ලැබෙන ප්‍රතිචාර නම් ඉතා හොඳයි. ගීතයේ තනුව හා රචනය තාත්තා. සංගීත අධ්‍යක්ෂණය – සනුක වික්‍රමසිංහ. ‘රැව් නැගී අහසේ’ එම ගීතයයි.

ඒ හැර තවත් ගීත නිර්මාණය කරල ද තියෙන්නෙ?ඔව්. කරමින් සිටින්නෙ.

සනුක වික්‍රමසිංහ, යාළුවෙක්ද?නිකම්ම යාළුවෙක් නෙවෙයි. හොඳම හොඳ යාළුවෙක්.

ඉතින්, ඒ ගැනත්, වැඩි යමක් කියමුකො?දැනට පුද්ගලිකයි. පසුවට විස්තර කියන්නම්.

දැන් වින්ඩිගෙ වයස?අවුරුදු 22 ක් නෙ.

තාරුණ්‍යයේ මේ ආදරය වින්ඩිට දැනෙන්නෙ කොහොමද?අනේ මන්ද‌‌ ආදරය සුන්දර දෙයක්. අම්මා-තාත්තා-අක්කා, මේ හැමෝගෙන්ම මට ආදරය ලැබෙනවා.

ගායන ක්ෂේත්‍රයේ මොන අංශයෙන් ද හැදෑරුවෙ?කටහඬ සහ බටහිර ශාස්ත්‍රීය අංශයෙන් තමයි හැදෑරුවෙ.

වාදනයත් පුළුවනිද?පියානෝව පොඩ්ඩක් විතර පුළුවනි.

ගෙදර වැඩ එහෙමත් කරනවා ඇති?ගෙදරටම වෙලා ඉන්න එකේ ගෙදර වැඩත් කරන්න එපායැ. උයන්න පිහන්නත් ඉගෙන ගන්නවා. අම්මා තමයි ඉතින් කියල දෙන්නෙ.

අලුත් පරම්පරාවේ ඔබගේ සිත්ගත් ගායන ශිල්පියා කවුද?සනුක ගොඩාක් දක්ෂයි. එයා ඒ තැනට එන්න බොහෝ මහන්සි වෙන බව පෙනෙනවා. මේ දිනවල එයා ගැයූ ‘තේරුණාදෝ’ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ. ඒ ගීතයට මාත් කෝරස් එකට සම්බන්ධ වුණා.

ඒ හැර මේ කාලයේ වෙනත් අයගෙ තදින්ම හිතට දැනුණු ගීතයක් ගැන කිව්වොත්?‘ඩැඩී’ බෑන්ඩ් එකේ අලුත් සිංදු ටිකට මම හරි ආසයි. ඒක වෙනමම රසයක්.

එද‌ා ඔබගෙ මව චන්ද්‍රලේඛා, ලක්ෂ්මන් විජේසේකරයන් එක්ක ගැයූ ‘දැල් වූ පහන් – දැල් වී තිබේවා’ ගීතය මෑතකදී ඔබට ලක්ෂ්මන් විජේසේකරයන් එක්ක ගයන්න ලැබුණා. ඊට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?ආඩම්බරයි කියන්නත්, ඊට ලැබෙන්නෙ හරි ඉහළ ප්‍රතිචාර. එද‌ා අවුරුදු දෙකකට පෙරදි ඒ ප්‍රසංගය කරද්දී අම්මා හිටියෙ ඇමෙරිකාවේ. ඉතින් අම්මට එන්න බැරි වූ නිසා ලක්ෂ්මන් සර් එක්ක ඒ ගීතය ගැයීමේ විරල අවස්ථාව මට ලැබුණා. එතුමා එක්ක ඒ ගීතය ගයන්න ලැබීම ලොකු වාසනාවක්.

වින්ඩි දක්ෂ මොන වගේ අංශවලට ද?මම හිතන්නෙ මම එහෙම ලොකුවට දක්ෂතා තියෙන කෙනෙක් නෙවෙයි. ඔහෙ ගෙදරට වෙලා පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න ආසයි. විද්‍යාත්මක අංශය ගැන ලියැවූ පොතපත වගේම මානසික අංශය ගැන ලියැවූ පොත්පත් කියවන්න හරි ආසයි. රේන්බෝ රොවෙල් කතුවරියගේ පොත් කියවන්න හරිම ආසයි.

අම්මා, තාත්තා, අක්කා මේ තිදෙනාගෙන් ඔබ වඩා කැමැති කාගේ හඬට ද ඉහළම මනාපය තිබෙන්නේ?ඒ තුන්දෙනාට තියෙන්නේ එකිනෙකාට වෙනස් වූ විවිධ රසයන් තුනක්. අම්මගේ ‘කොහේදෝ සිට ඇවිදින් ගීතයට වඩාත් ආසයි. තාත්තා මිල්ටන් මල්ලවආරච්චි ශූරීන්ට නිර්මාණය කළ ‘මලක් වගේ’ ගීතයට හරිම ආසයි. ඒ ගීතයේ රචනය සහ සංගීතය තාත්තගෙ.

‘මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොළක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවද‌ායකයි ළඳේ….
ගලක් වගේ ඔබ හිත ගල්වෙලා ඔබේ.’
තාත්තගෙ ඒ ගීතයට අමතරව ‘රේණු – රේණු’ ගීතයටත් හරි ආසයි.

එතකොට අක්කගෙ?නීල කඳු ගැටේ… සහ මල්වාරම්….

තාත්තා ‘පොලිටික්ස්’ වලට ආ එක ගැන මොකද හිතන්නේ?ඒ ගැන මට නම් අදහසක් නැහැ. ඒක ඉතින් තාත්තගෙ ආසාව සහ කැමැත්තනෙ.

සඳුන් ගමගේ-ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: