Another story about him..

සුශාන්ත් සිං මිය ගියේ ඔහුගේ නෑ හිතවතුන් සියලු දෙනා තුළම නොමැකෙන වේදනාවක් ඇති කරවමිනුයි. ඔවුන් තවමත් ඔහු පිළිබඳ විවිධ සංවේදී සටහන් අන්තර්ජාලයට එක් කරන්නේ ඒ නිසයි.

සුශාන්ත්ගේ හොඳම මිතුරා වූ සංදීප් සිං විසින්, අංකිතා ලොක්හැන්දේ අමතරමින් අන්තර්ජාලයේ තබා තිබූ සටහන කියවූ හැම දෙනාගේම ඇස් කඳුළින් පිරුණා.

සුශාන්ත්ගෙත් අංකිතාගේත් ප්‍රේම සම්බන්ධය පැවති කාලයේ ඔවුන් තිදෙනාම වාසයේ කළේ මුම්බායි හි එකම නිවසකයි. නිවසේ නාම පුවරුවේ සුශාන්ත් – අංකිතා නම් දෙකම සටහන්ව තිබුණා. ඔහුගෙන් වෙන් වූ පසුවත් අංකිතා එම නාම පුවරුව වෙනස් කර තිබුණේ නැහැ.

“දෙවියන් වහන්සේ ඒ දෙන්නා මවලා තිබුණේ ඒ දෙන්නා වෙනුවෙන්මයි. අවුරුදු හයක්ම එයාලා හිටියේ එකටයි. ඒත් මොකද්දෝ අවාසානාවකට එයාලාට ඈත් වෙන්න සිද්ධ වුණා…”

සංදීප් එසේ කියා තිබුණා.

ඔහු කියන්නෙම සුශාන්ත් මරණයෙන් බේරා ගන්නට පුළුවන් කෙනෙක් සිටියේ නම් ඒ අංකිතා පමණක් බවයි.

“ආදරණීය අංකිතා.. අපි හීන දැකපු විදිහටම ඔය දෙන්නා විවාහ වුණා නම් මේක මේ විදිහට නොවෙන්න තිබුණා. ඔයා සුශාන්ත්ගේ පෙම්වතිය, බිරිඳ, මව… හොඳම මිතුරිය විදිහට හැමදාම ඔහු ළඟ රැඳී සිටියා. ඇත්තටම ඔයා වගේ හොඳ මිතුරියක් මටත් කවදාවත් හමු නොවේවී..”

“ගෙවෙන මේ හැම දවසක්ම මාව දැඩි පීඩාවට පත් කරන එක සිතුවිල්ලක් තියෙනවා. ඒ ඔහු බේරා බේරා ගන්නට අපි වෙහෙසුණා මදි කියන එකයි.. අපිට මීට වඩා ඔහු ගැන සැළකිලිමත් වෙන්න තිබුණා. ඔහුට බැගෑපත් වෙන්න තිබුණා. මං දන්නවා ඔය දෙන්නා වෙන් වුණාට පසුවත් ඔයා ප්‍රාර්ථනා කළේ ඔහුගේ සාර්ථකත්වය, සතුට විතරයි.. මොන හේතුවක් හින්දා ඔය දෙන්නා වෙන් වුණත් ඔයාගේ ආදරේ පූජනීයයි. නිර්මලයි.. ඔයා ගෙදර නාම පුවරුවෙන් සුශාන්ත්ගේ නම අයින් කළේ නැත්තේ ඒ හින්දා කියලා මම දන්නවා. ඒ ගෙදර අපි තුන් දෙනා එකම පවුලක් වගේ සතුටින් ගත කරපු කාලය අද මට කඳුළකින් තොරව සිහිපත් කරන්න පු‍ළුවන්කමක් නෑ. අපි එකට උයාගෙන කාලා, එකට ගමන් බිමන් ගිහින් සතුටින් සිනාසෙමින් ගත කරපු කාලය වගේ කාලයක් කවදාවත් ජීවිතේට එළඹෙන්නේ නෑ කියලා මට හොඳටම විශ්වාසයි.. අපිට සුශාන්ත් අහිමි වුණා වගේම ඒ සුන්දර කාලය අහිමි වුණා..”

ඔවුන් තිදෙනා බොහෝ සතුටින් සිනාසෙමින් ගන්නා ලද සේයාරුවක් සහිතව ඔහු මේ සටහන තබා තිබුණා.

ඔහුගේ මරණය ගැන දැනගත් මොහොතේ සිටම අංකිතා එක දිගටම හඬා වැටුණා. කිසිවෙකුගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට තරම් ශක්තියක් ඇයට තිබුණේ නනැහැ. ඇය සමාජ වෙබ් අඩවිවලට පිවිසීමෙන් වැළකී සිටියා.

අංකිතා සිය හිටපු පෙම්වතාගේ අවමංල්‍යයටද සහභාගී වූයේ නැහැ. කොරෝනා නිසා අමුත්තන් සීමා කරන්නට සිදුවීම එයට හේතුව බැව් සමහරු සඳහන් කළා. එහෙත් පවිත්‍ර රෂ්තා ටෙලි නාට්‍යයේ අංකිතාගේ නැගණිය ලෙස රඟ පෑ ප්‍රාර්ථනා බෙහියර් කියන්නේ වෙනත් කතාවක්..

“සුශාන්ත්ගේ මරණය ආරංචි වුණ ගමන්ම මම අංකිතාට කතා කළා. ඒ වෙනකොටත් එයා හිටියේ හොඳටම අඬ අඬ.. මට කිව්වා සුශාන්ත් එක්ක ගත්ත අන්තිම ෆොටෝ දිහා බැලුවොත් එයාට මොනවා වෙයිද දන්නේ නෑ කියලා. සුශාන්ත්ගේ දේහය දිහා බල්නන බැරි හින්දා මළගෙරදට යන්නේ නෑ කිව්වා..”

අංකිතා සුශාන්ත්ගේ නිවසට ගියේ ඔහුගේ ආදාහනය සිදුවූ දිනට පසු දිනයි. පා පැකිළෙන්නොක් බඳුව අපහසුවෙන් නිවස තුළට ගිය ඇය එහිදී සිහිසුන්ව ඇද වැටී තිබෙනවා. මුම්බායි පොලිසිය ඇගෙන් සුශාන්ත් පිළිබඳව ප්‍රශ්න කළා.

ඔහු මානසික අවපීඩනයට බෙහෙත් ගත් බවත් එම අවපීඩනය ඇති වෙන්නට හේතු වූයේ එතරම් දක්ෂ නළුවෙක් වීත් නිසි පිළිගැනීමක් නොලැබීම බවද කියූ ඔහුගේ එක් රසිකයෙක් වන නීතිඥ සුධීර් කුමාර් ඕජා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ, සල්මන් ඛාන්, ආදිත්‍ය චොප්රා, එක්තා කපූර්, කරන් ජොහාර්, සංජේ ලීලා බන්සාලී යන ඉන්දියානු සිනමාවේ පතාක යෝධයක් වග උත්තරකරුවන් බවට පත් කරමින්.

මේ අතර සුශාන්ත්ට බොහෝ ආදරය කළ රසිකයෙකු ද පෙත්සමක් ඉදිරිපත් කර ඇත්තේ මේ වන විට සුශාන්ත්ගේ පෙම්වතියක් සේ සැලකෙන රි චක්‍රබෝර්තිට විරුද්ධවයි. ඇය ඔහු මානසික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් පීඩාවට පත් කර ඇති බව සඳහන්.

මෙරේ ඩෑඩ් කී මරුති චිත්‍රපටියේ රඟපාමින් ක්ෂෙත්‍රයට පිවිසි රි වක්‍රබෝර්තිගේත් මහේෂ් භාත්ගේත් සම්බන්ධයක් තිබූ බවට රාවයකුත් පැතිර යමින් පවතිනවා. පූජා භාත්ගේත්, ආලියා භාත්ගේත් පියා වන ඔහු ගේ වයස අවුරුදු 71 ක්..

ඔහුත් රීත් තුරුළු වී ගන්නා ලද ඡායාරූප සංසරණය වන්නට පටන් ගත්තේ සුශාන්ත්ගේ මරණයෙන් පසුදා සිටයි.

ඔහු දිවි නසාගත්තේ මේ සම්බන්ධය ආරංචි වීමෙන් කළකිරීමට පත් වූ නිසා බවට ද චෝදනාවක් නැඟෙමින් පවතිනවා.

මුම්බායි පොලිසිය ඇගෙන් පැය නවයක කාලයක් ප්‍රශ්න කළා. ඔහු මානසික අවපීඩනය සඳහා බෙහෙත් ගනිමින් සිටි බවත් පසුගිය කාලයේ ඔහු බෙහෙත් නවතා යෝග ව්‍යායාම සඳහා යොමු වූ බවත් පිළිතුරු දෙමින් රී පොලිසියට පවසා තිබුණා.

“කොහොම වුණත් සුශාන්ත්ගේ මරණය ඇත්තටම දිවි නසා ගැනීමක්ද? මිනී මැරුමක් ද කියලා සාධාරණ සැකයක් මතු වෙන්න හේතු තියනවා. ඔහු මිය ගිය දවසේ රෑ ඔහුගේ ගෙදර සීසීටීවී කැමරාව ක්‍රියා විරහිත වෙලයි තිබිලා තියෙන්නේ. ඔහුගේ ගෙදර අමතර යතුරත් අතුරුදහන් වෙලා. ඊට ඉස්සර දවසේ රී, ඇගේ සමාජ ජාලා වෙබ් අඩවියේ තිබුණ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප මකලා දාලා තියෙනවා. මේ ඔක්කොටමටත් වඩා එක දවසක් මහේෂ් භාත් කියලා තියෙනවා කවදා හරි සුශාන්ත් දිවි නසා ගන්නවා කියලා.. මේවා සැක කටයුතු දේවල් නෙවෙයි ද?” ඔහුගේ පවුලේ සමීපතමයෙකු අසා තිබෙනවා.

මරණයට පෙර දින රැයේ සුශාන්ත් පැය කිහිපයක් නිවසින් පිටත සිට ආපසු පැමිණ තිබෙන්නේ බොහෝ සතුටිනුයි. ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු නිවසට පැමිණි බවටද සාක්ෂි තිබෙනවා.

මොන දේ වුණත් දැන් ඔහු මිය ගොස් හමාරයි..

-චන්දි කොඩිකාර-(මෙම ලිපියේ උපුටා ගැනීම “ඉරිදා ලංකාදීප” පුවත්පතේ “සඳැල්ල” අතිරේකයෙන්.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: