Rashi Prabha sandeepani…………

වේදිකාව මෙන්ම රූපවාහිනිය එක ලෙස ජයගත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනිකි. රශී ප්‍රභා සන්දීපනී පෙරේරා. උපතින්ම සුන්දරය රූ සපුවකට උරුමකම් පෑ ඇයට ලස්සන වැඩි කිරීමට සුන්දර කෙස් කළබඳ හේතුවී ඇත්තේ අපූරුවටය.

 

සුන්දරත්වය නිසාද ඔබ අද ඔතන සිටින්නේ….?

සුන්දරත්වය එක හේතුවක් පමණයි. මා හිතන්නේ රංගන වෘත්තිය වගේම සෑම වෘත්තියකම සාර්ථකත්වය තීරණය වන්නේ අප නියැලෙන වෘත්තියෙන් දක්වන දක්ෂතාවය අනුව.

කෙනෙකුගේ සුන්දරත්වය ලෙසට ඔබ දකින්නේ…?

ඇත්තටම බාහිර පෙනුමෙන් කෙනෙකුගේ සුන්දරත්වය මනින්න බැහැ. පුද්ගලයෙකු සතු පෞර්ෂය, කතා කරන විලාසය, තැනකට ගියාම හැසිරෙන විලාසය, බාහිර පාර්ශ්වයක් සමග කටයුතු කරන ආකාරය කියන මේ හැමදේම පුද්ගලයෙකුගේ සුන්දරත්වයට බලපානවා. බාහිරෙන් කොච්චර ලස්සන වුණත් අපි ගතිගුණ අතින් පිරිහිලානම්. අප කෙනෙකුගේ හදවතෙහි රැඳෙන්නේ හරිම අඩුවෙන්.

ලස්සන කෙනෙකුට ඕනෑම තැනකදි විශේෂ සැලකිලකිල්ලක් ලැබෙනවා නේද?

ඔව්. රැකියාවකදි පවා සුන්දර ලස්සන පෙනුමක් තියෙන කෙනෙකුට අනිත් කෙනෙකුට වඩා අඩු ඉඩක් ලැබෙනවා. එය ක්ෂණිකව සිදුවෙන දෙයක්. නමුත් අපි හදවතින්ම ලස්සන විතරයි. කොයි පැවැත්ම ස්ථිර වන්නේ.

කෙනෙක් ඔබේ සුන්දරත්වයට ඔබට ළං වෙනවට කැමතියිද?

කොහෙත්ම නෑ. මම කැමතියි කෙනෙක් මගේ ගුණයහපත්කම දැකලා මාව හඳුනා ගන්නවා නම්….

සුන්දරත්වය ආරක්ෂා කර ගන්න කරන දේවල් දැන ගන්න කැමතියි…?

පළමුවන දේ දවසකට වතුර ලීටර් දෙක හමාරක් තුනක් බොන එක. අනිත් දේ තමයි පිරිසිදු බව. අපිරිසිදුවට ඉන්න කෙනෙක් කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. අනිත් දේ තමයි එතරම් ලස්සන නැති කෙනෙක් වුණත් පිළීවෙළට, පිරිසිදුව ඉන්නවා නම් ප්‍රියමනාප සුන්දර පෙනුමක් ලැබෙනවා.

මම මුලින්ම වතුර බොන්න හුරු වුණේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්න. පසුව දෛනිකව අවශ්‍ය වතුර ප්‍රමාණය ගන්න හුරු වුණා. පස්සේ සමේ වියලි බවත් නැතිවෙලා හම පැහැපත් වෙන්න පටන් ගත්තා. ඊට අමතරව කොමඩු, ගස්ලබු වගේ පළතුරුත් මම දෛනිකව ආහාරයට එක්කර ගන්නවා.

එයත් සමට හරිම හිතකරයි. ආහාර පාලනය කරන දවසට උදේට බොහෝ දුරට ගන්නේ ඕට්ස් ටිකක්. එළකිරියි කෙසෙලුයි දාලා. දහවල් ආහාරයට තැම්බූ එළවළු, සුප්, සලාද එක්කර ගන්නවා. රාත්‍රියට කුරක්කන් පාන් පෙති දෙකක් කෙසෙල් ගෙඩියක් එක්ක ගන්නවා. ඔය වගේ පුංචි පුංචි දේවල් ටිකක් කරනවා. ඊට අමතරව විවේකයක් ලැබෙන දිනවල පැයක් විතර ව්‍යායාම කරනවා. ව්‍යායාම සමේ පැහැයට ඇගේ හැඩය ක්‍රමානුකූලව තබා ගන්න වගේම සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමටත් උපකාරී වෙනවා.

නිතර මේකප් කරන නිසා මාසයකට දවසක් සැලොන් එකකට ගිහින් ක්ලීනප් එකක් කර ගන්නවා. ඊට අමතරව එළිමහනේ රූගත කිරීම් කරලා ගෙදර ආවාම යෝගට් එකකට කෝපි කුඩු දාලා කලවම් කරලු මුළු ඇඟේම ගානවා. මෙම සත්කාරයෙන් මැරුණු සම ඉවත් වෙලා සමට දීප්තිමත් පෙනුමක් ලබාදෙනවා. තවත් සත්කාරයක් ලෙසට සුදු හඳුන් කුඩු, වෙනිවැල්ගැට කුඩු, සම ප්‍රමාණයෙන් ගෙන එයට කහ කුඩු ස්වල්පයක් දාලා එළකිරි හෝ යෝගට් එකකින් අනලා සමේ ආලේප කරනවා.

සුන්දර කෙස් කළඹ ආරක්ෂා කර ගන්න කරන දේවලුත් දැන ගන්න කැමතියි…?

පුංචි කාලේ මගේ කොණ්ඩයට මටත් වඩා ආදරේ කළේ මගේ අම්මා. ඇත්තටම මට ඒ දවස්වල නම් කොණ්ඩය ගැන ලොකු වටිනාකමක් දැනුනේ නැහැ. අම්මා ඉස්සර සතියට දවස් 4 ක් උළුහාලුයි දෙහි තම්බලා ඔළුවේ ගාලා ටික වේලාවක් තියලා සෝදනවා. එම සත්කාරයට හිස්හොරි ඉවත් වෙලා හිස හොඳට පිරිසිදු වෙනවා වගේම හිසකෙස් වලට හොඳ පෝෂණයකුත් දීප්තිමත් බවකුත් ලැබෙනවා. ඊට අමතරව රෑට පොල් තෙල් ගාලා කොන්ඩේ හොඳට පීරලා, තද වෙන්න ගොතනවා. ඔය වගේ සත්කාර නිසා අදටත් මට ලස්සන කෙස් කළඹක් තියෙනවා. අම්මා රූපලාවන්‍ය ශිල්පිනියක්. එදා දන්න දැනුමෙනුත් මට නිතරම කිව්වේ කොණ්ඩයටනම් කෘතිම දේවල් මොකුත් කරන්න එපා කියලා. මගේ සුන්දරත්වය වැඩි කරන කොණ්ඩයට ඇත්තටම මම ගොඩාක් ආදරෙයි.

අදටත් සතියකට දින දෙක තුනක් තෙල් ගාලා හොඳට මසාජ් කරනවා. ඊට අමතරව මසකට දෙවතාවක් එඬරු තෙල් කොණ්ඩයට ගානවා.

විලාසිතා කිරීමේදී සැළකිලිමත්ද?

ඔව්. කොච්චර ලස්සන ඇඳුමක් වුණත් මට ගැලපෙන්නේ නැත්නම් එවැනි ඇඳුම් මම තෝරා ගන්නෑ. අනිත් දේ තමයි ඇඳුමේ වර්ණය. ඇඳුමේ වර්ණය නිසා සමේ පැහැය වැඩිවෙනවාද. අව පැහැ වෙනවාද කියලත් මම හිතනවා. කොහොම වුණත් මම පෞද්ගලිකව හිතනවා මට ඉන්දියානු විලාසිතා ගොඩාක් ගැලපෙනවා කියලා.

ලස්සන ඔබට ලැබුනේ කුමක් නිසාද කියලා ඔබ විශ්‍වාස කරන්නේ….?

මම හිතන්නේ පෙර ආත්මයේ කරපු කුසල් නිසා මම මේ ආත්මයේ ලස්සන වෙලා ඉපදෙන්න ඇති.

ලස්සන ආභාරණයක්ද?

ඔව් මම හිතනවා පරිස්සමෙන්, දරා ගන්න පුළුවන් විදිහට, පාලනයකින් පාවිච්චි කරන්න ඕනේ ආභරණයක්. ලස්සන නිසා ජීවිතයම වරද්ද ගත්ත අය වගේම ජීවිතයම ලස්සන කර ගත්ත අය ඕනෑ තරම් අපි දැක තිබෙන නිසා ලස්සන කියන්නේ ප්‍රවේසමෙන් පාවිච්චි කළ යුතු දෙයක් ලෙසටයි මම දකින්නේ.

උපුටා ගැනීම හිරු ගොසිප්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: