This is What happens there

මේ දිනවල ලෝකයම කතා කරන ප්‍රධානම මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ‘කොරෝනා වයිරස් වසංගතය’යි. ඒ නමත් සමඟම එකට අෑඳී එන අනෙක් නම බවට පත්ව ඇත්තේ වූහාන් යන්නයි. මන්දයත් ලොවම බියට පත් කරමින් පැතිරෙමින් ඇති කොරෝනා වසංගතයේ උපන් බිම ලෙස සැලකෙන්නේ වූහාන් නගරය වන බැවිනි. රෝගය මුලින්ම වැලඳුණේ මෙම වූහාන් නගරයේ සතුන් අලෙවි කරන වෙළෙඳසලක සේවකයන්ට සහ එහි පැමිණි ගනුදෙනුකරුවන්ට බව වාර්තා විය. ඔවුන්ට වයිරසය ආසාදනය වූයේ එහි සිටි සතුන්ගෙන් බව මේ වනවිට පවතින විශ්වාසයයි. මෙම පසුබිම තුළ ඇතැම් මාධ්‍ය මේ වයිරසය හැඳින්වීමට ‘වූහාන් වයිරසය’ යන නමද භාවිත කරති.

මේ වනවිට මෙම වූහාන් නගරය පවතින්නේ මුද්‍රා තබන ලද ආකාරයෙනි. එහි වාසය කරන කිසිවකුට නගරයෙන් පිටත යෑමට අවසර නැත. පිටත සිට කිසිවකුට එහි ඇතුළු වීමටද අවසර නොලැබේ. නගරයේ පොදු ප්‍රවාහන සේවා මෙන්ම පෞද්ගලික වාහන ගමනාගමනයද තහනම් කර තිබේ.

නගරයෙන් වාර්තා වන රෝගීන් ගණන දිනෙන් දින වේගයෙන් ඉහළ යමින් පවතී. මරණ සංඛ්‍යාවද ඒ ආකාරයෙන්ම වැඩි වෙමින් තිබේ. තවමත් නිරුපද්‍රිතව සිටින වැසියන් වුවද ජීවත් වන්නේ කොයි මොහොතේ තමුන්ටත් රෝගය වැල‍ෙ¼ද්විද යන බියජනක අවිනිශ්චිතතාව සිතෙහි දරාගෙනය. මරණය අරක්ගත් මෙවැනි නගරයක, කොහේවත් යා ගත නොහැකිව ජීවත් වීම කවර ආකාරයේ අත්දැකීමක් විය හැකිද? වසංගත රෝගයක් වෙනත් ප්‍රදේශ වෙත පැතිරීම වැළැක්වීම සඳහා මේ ආකාරයෙන් නගර මුද්‍රා තැබීම නිතර සිදුවන්නක් නොවේ. එම දුර්ලභ, අවාසනාවන්ත, බියජනක අත්දැකීමට මුහුණ දීමට දැන් වූහාන් නගරයේ වැසියන්ට සිදුව තිබේ.

දැන් මෙම නගරය බොහෝ විට හඳුන්වන්නේ ‘පාළුවට ගිය නගරයක්’ ලෙසිනි. මංමාවත්, දුම්රිය ස්ථාන, බස්නැවතුම්පළ, ගුවන්තොටුපළ, රැකියා ස්ථාන, පාසල් මේ සියල්ල පාළුවට ගොසිනි. වෙනදා සතියේ දින හතේම පැය විසිහතර පුරාම මිනිසුන්ගෙන් සහ යාන වාහනවලින් පිරී පවතින වීදිවල අද කිසිවකු දකින්නට නැත. තමුන්ටත් රෝගය බෝවනු ඇතැයි යන බිය නිසා බොහෝ දෙනා තම තමන්ගේ නිවෙස් තුළට වී ‍ෙදාර ජනෙල් වසාගෙන සිටින බැව් මාධ්‍ය වාර්තා කරයි. දුවපැන සෙල්ලම් කරන වයසේ පසුවන දරුපැටවුන්ටද ගෙවල් තුළ සිරකාරයන් බවට පත් වීමට සිදුව ඇත. සමහර දරුවන් තමන්ට පිටතට යාමට අවශ්‍ය බව කියා මවුපියන්ට ඇවිටිලි කරමින් හඬන බැව් සඳහන් වේ. නමුත් දරුවන් කොරෝනා වයිරසයෙන් ආරක්‍ෂා කර ගැනීමට මුළු ශක්තිය යොදා සිටින මවුපියන්ට එය කෙසේවත් ඉටු කළ හැකි ඉල්ලීමක් නොවේ.

නිවෙස් තුළ සිරව සිටින වූහාන් වැසියන් එළියට බසින්නේ තමුන්ට අවශ්‍ය ආහාරපාන, ඔෟෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පමණි. මේවා මිලදී ගැනීමට සුපිරි වෙළෙඳසලට යන ගමන ජීවිතය පරදුවට තබා යන ගමනක් බවට පත්ව ඇති ආකාරයක් පෙනේ. වෙළෙඳසල් අසල දිගු පෝලිම් පවතින බවද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. මන්දයත් එම වෙළෙඳසල්වලට ඇතුළු කර ගැනීමට පෙර සියලු පාරිභෝගිකයන් පරීක්‍ෂාවකට ලක් කරන බැවිනි. ඒ උණ රෝගීන් සිටිනවාද යන්න පිරික්සා බැලීම සඳහාය. මේ තැන්වල බොහෝ දෙනකු රැස්වන නිසා එවැනි තැනකදී රෝගය බෝවීමට විශාල හැකියාවක් ඇති බව ඇතැම් වූහාන් වැසියන් මාධ්‍ය සමඟ පවසා තිබිණි. මෙසේ අදහස් දක්වා තිබූ එක් වූහාන් වැසියකු පවසා තිබුණේ තමුන් නිවෙසින් එළියට බසිද්දී මුව ආවරණ දෙකක් පමණ පලඳින බවය. ඔවුන් තුළ ඇති බියෙහි තරම මෙයින් මොනවට පැහැදිලි වේ.

සිතෙහි ඇති බිය සහ ආතතියත්, නිවෙස් තුළ සිරවී සිටීමෙන් ඇති වන ඒකාකාරී බවත් දුරු කර ගැනීම සඳහා සමහරුන් ගෘහස්ථ ක්‍රීඩාවලට යොමුව සිටින බවද සඳහන් වේ. එක් වැසියකු විහිළු කරමින් පවසා තිබුණේ දැන් වූහාන් වැසියන් හැමෝම ක්‍රීඩා ශූරයන් බවට පත්ව ඇති බවය. ඇතැම්හු සිය කෑම මේස ටේබල් ටෙනිස් මේස බවට පත් කරගෙන සිටිති. කබඩ්, අල්මාරි, රාක්ක අතර ලණු ඇද බැඩ්මින්ටන් ක්‍රීඩා කරන අයද සිටිති. ව්‍යායාම කිරීමට පිටතට යෑමට හැකියාවක් නැති නිසා ‘ජිම් එක’ නිවස තුළ සාදා ගෙන ව්‍යායාම කරති. එක් තට්ටු නිවාස ගොඩනැඟිල්ලක සිටින අය ඒ අසල ඇති තවත් එවැනි ගොඩනැඟිල්ලක සිටින අය දිරිමත් කිරීම සඳහා විවිධ ධනාත්මක දේ කියමින් කෑ ගසන අන්දම දැක්වෙන වීඩියෝ ඛණ්ඩද සමාජ මාධ්‍ය තුළ දැකිය හැකි වේ. නමුත් සමහරුන් මේ ක්‍රියාවට විරුද්ධත්වය දක්වා ඇති බවද පැවසේ. බැල්කනිවල සිට ඒ ආකාරයෙන් කෑ ගැසීමේදී, වයිරසය ආසාදිත අය වෙත් නම් ඔවුන්ගේ කෙළ බිඳිති ආදිය වාතයට මුසුව පහත මහල්වල සිටින අයටද රෝගය බෝවීමට හැකි බවට ඔවුහු අනතුරු අඟවති. කෙසේ නමුත් සිය මානසික තත්ත්වය පහත වැටීම වළක්වා ගැනීම සඳහා වූහාන් වැසියන් බොහෝ දේ කරමින් සිටින බව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පෝස්ටු සහ කොමෙන්ටුවලින් දැකිය හැකි වේ.

වූහාන් වැනි ප්‍රදේශවල සාමාන්‍ය ජනයා පමණක් නොව රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙද හෙදියන් වැනි අය පවා දැඩි මානසික ආතතියකින් පසුවන බවද වාර්තා වෙයි. එයට හේතුව ඔවුන්ට නිරන්තරයෙන් රෝගීන් සමඟ ගැවසෙන්නට සිදු වීමයි. වයිරසය කෙනකුට ඉතා ඉක්මනින් ආසාදනය වීමේ හැකියාවක් ඇති බව පෙනෙන නිසා මෙම සෞඛ්‍ය සේවකයන් මෙවැනි ආතතියකට පත්ව සිටින බව පෙනේ. මෙවැනි තත්ත්වයන්ට පත්වන අයට මානසික උපදේශන ලබා දීම සඳහා විශේෂ දුරකථන අංක සහ අන්තර්ජාල වෙබ් අඩවි ආරම්භ කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කර තිබිණි.

වූහාන් නගරය සම්බන්ධයෙන් පසුගියදා විශාල මාධ්‍ය අවධානයක් යොමු වූ තවත් කාරණයක් වූයේ, එහි රෝහල්වල පවතින තදබදය නිසා දින 6ක් තුළ අලුතෙන් රෝහලක් ඉදිකිරීමට ඔවුන් පියවර ගැනීමයි. මේ තරම් ඉක්මනින් රෝහලක් ඉදිකරන්නේ කෙසේද යන්න බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වූ බැව් පෙනිණි. කෙසේ වෙතත් චීනය මෙවැනි ක්‍ෂණික ඉදිකිරීම් සඳහා විශාල ප්‍රසිද්ධියක් දරන රටක් ලෙස සැලකේ. මෙහිදී ඔවුන් බොහෝ විට කරන්නේ එකලස් කරන ලද ‘ගොඩනැඟිලි ඒකක’ ගෙනැවිත් එහි සවි කිරීම වැනි කටයුත්තකි. චීනයේ ප්‍රදේශ රැසක ඉන්ජිනේරුවන් ඇතුළු විශේෂඥයන් මේ සඳහා ගෙන්වා ඇති බවද සඳහන් වේ.

සනත් වික්‍රමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *