Roshan Ranawana

රොෂාන් රණවන කියන්නේ අපේ රටේ දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්.පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් රොෂාන් රසික හදවත් ආදරයෙන් වැළගත්තු නළුවෙක්.රොෂාන් තමන්ගේ ජීවිතේ හෙළි නොකළ රහසක් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළිකරලා තිබුණා.

මා ගැන මේ හෙළිකරන රහස සිනමාවේ මාත් එක්ක එකට රඟපාන අයවත් දන්නේ නැති එකක්. ඒක මම පුංචිම පුංචි කා‍ලේ ඉඳන් අද දක්වාම තියෙන මගේ ගති ලක්ෂණයක්. ඒ නිසාම මම ඒ කතාව මගේ පුංචිම කාලෙන්ම පටන් ගන්නම්.
පුංචි කා‍ලේ ඉඳන් මම රතිඤ්ඤා හඬට පුදුමාකාර බයක් දක්වන කෙනෙක්.

ඒ බය ඇතිවුණේ කවදා කොහිදීද කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි මට නොතේරෙන කාලෙත් රතිඤ්ඤා පුපුරන හඬට බයයි කියලා මගේ අම්මා කියනවා. අවුරුදු කාලෙට පළාතෙම අවුරුදු අසිරිය පැතිරිලා යනවා. ඒ කාලෙට වටේ හැම තැනම ඇහෙන්නේ රතිඤ්ඤා හඬ. ඒත් මට නම් එදා ඉඳන් අවුරුදු කාලෙට වටාපිටාවේ ඇහෙන රතිඤ්ඤා සද්දේ දැනෙන්නේ හරියට යුද්ධයක් වගේ.

අවුරුද්දට මම ගන්නේ නිලා කූරු විතරයි. නැකතට රතිඤ්ඤා පත්තුකරන වෙලාවටත් ඉවසාගෙන ඉන්නේ හරිම අමාරුවෙන්. මල්ලියි, වටාපිටාවේ ළමයි කට්ටියයි මිදු‍ලේ රතිඤ්ඤා පුපුරවන්න එකතු වෙනවා. මම ඒ වෙලාවට දුවලා ගිහින් ඇඳ යට හැංගෙනවා. මල්ලිලා මාව බය කරවන්න කාමරේ ජනේලෙ ළඟත් රතිඤ්ඤා පුපුරවනවා. රතිඤ්ඤා සද්දෙට මම බය වෙන්න හේතුව ඒ හඬට මගේ ශ්‍රවනේන්ද්‍රිය දක්වන අධි සංවේදී ප්‍රතිචාරය බව දැන් මම තේරුම් අරගෙනයි ඉන්නේ.

සාමාන්‍යයෙන් පිපිරුම් හඬක් ඇහෙද්දී අපේ කනට ඒක දැනෙනවානේ. ඒක ඕන කෙනෙකුට ‍පොදු දෙයක්නේ. ඒත් මට ඒ තත්ත්වය ඊට වඩා වෙනස්. පිපිරුම් හඬක් අහෙද්දී මට ඒක මහ ලොකු හඬක් විදියට ඇහෙනවා. ඒ වගේම ටිකක් වෙලා යනතුරු ඒ හඬම කන ඇතුළේ රැව්දෙනවා වගේ දැනෙනවා. රතිඤ්ඤා හඬත් එක්කම වෙඩි බෙහෙත් ගඳත් අපට දැනෙනවානේ. හඬට ඇති අප්‍රසන්න බව හින්දම රතිඤ්ඤා පිපිරීමේදී මතුවන වෙඩි බෙහෙත් ගඳත් මට හරි පිළිකුලක් ගෙනෙනවා. අහම්බෙන් හරි වෙඩි බෙහෙත් ගඳක් දැනුණොත් රතිඤ්ඤා හඬ ඉබේම මතකයට එනවා. පුංචි කා‍ලේ තියෙන සමහර පුරුදු කාලයත් එක්ක නැතිවෙලා යන එක සාමාන්‍ය දෙයක්නේ. ඒත් පුංචි කා‍ලේ තියෙන සමහර පුරුදු තරුණ වියට ආවාම නැති වෙලා යන්නේ නැහැ.

ජීවිත කාලය පුරාවටම ඒ විදියටම තියෙනවා. මගේ “රතිඤ්ඤා භීතිකාවත්” ඒ වගේ. ඒක අදටත් ඒ වගේම තියෙනවා.
කාලයත් එක්ක මම තරුණ වයසට ආවා. නළුවකු වුණා. පළමු වතාවට රඟපෑවේ “හිරි‍පොද වැස්ස” චිත්‍රපටයේ. චිත්‍රපටයේ කතාව දිගහැරෙන්නේ නව යොවුන් පිරිසක් වටා. ‘හිරි‍පොද වැස්ස’ නැරඹූ අයට මතක ඇති එහි අවසන් ජවනිකාව අපි කට්ටිය රතිඤ්ඤා පත්තුවෙද්දී පාලමක් දිගේ යන ජවනිකාවක් තමයි තියෙන්නේ.
චිත්‍රපට කණ්ඩායම දන්නේ නැහැනේ මම රතිඤ්ඤාවලට බය බව. අනික තරුණ වයසේ කෙනෙක් ඒ විදියට රතිඤ්ඤාවලට බයයි කියලා කවුරුත් විශ්වාස කරන්නෙත් නැහැනේ. රූගත කිරීම් අතර දිගට හරහට රතිඤ්ඤා පිපිරුණා. මම ඒ අවස්ථාවට මුහුණ දුන්නේ හරිම අමාරුවෙන්.

“රේන්බෝ” චිත්‍රපටයේ මට සටන් ජවනිකාවලට මුහුණ දෙන්නත් වුණා. එහිදී වෙඩි තැබිම් දර්ශනත් තිබුණා. පුස් වෙඩි තමයි ඊට යොදාගන්නේ. ඒත් පිපිරුම් හඬයි වෙඩි බෙහෙත් ගඳයි නම් තියෙනවා. රතිඤ්ඤා හඬට සහ එයින් දැනෙන වෙඩි බෙහෙත් ගඳට කම්පනය වන මම පුස් වෙඩි පත්තු වනවිට ඒත් එක්කම වෙඩි බෙහෙත් ගඳ පැතිරිලා යනකොටකොයි තරම් කම්පනය වුණාද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ඒ කම්පනය දරාගෙන මම රඟපෑවා. එක ජවනිකාවකදී මගේ කන ළඟින් යන වෙඩිල්ලක් ආසන්නයට වදිනවා. ඒ අවස්ථාවේ කනට දැණුන කම්පනය සෑහෙන වෙලාවක් කන ඇතුළේ රැව්දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *