Oshadi reveals the secret of her for the first time

දුටුවන්ගේ නෙත් වශී කරවන රූ සපුවෙන් හෙබි ඇය ප්‍රියකරුය. සුන්දරය. වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වන ඇය අද දරු දෙදෙනකුගේ සෙනෙහෙබර මවකි. ඕෂධී හේවාමද්දුම නම් වන ඇය දරුවන්ගේ කටයුතුත් රංගන කටයුතුත් කරමින් කාර්යබහුලව ගෙවා දමනා හෝරාවකදී හමුවුණෙමු.

දරු දෙදෙනෙක් හිටියත් ඕෂධී තාමත් ලස්සනයි?

ලස්සන සෑම කාන්තාවකටම ආභරණයක්. මම ඒ වටිනා ආභරණය සැමදා සුරකිනවා. දෛනිකව ජීවිතයේදී පවා එයට මුල්තැන දෙනවා. දෛනිකව මම වතුර ගොඩක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. එමඟින් සම ආරක්‍ෂා වෙනවා වාගේම නිරෝගීකමටත් උපකාරි වෙනවා.

සුමානයට දින තුනක් අනිවාර්යයෙන්ම ජිම් එකට යනවා. වෘත්තියෙන් නිළියක් නිසා මම මගේ ශරීරයේ හැඩය තියාගන්න නිරුතුරුවම වෙහෙසෙනවා. ඊට අමතරව නිවසේ හැම වැඩක්ම මගේ අතින් කෙරෙන නිසා නොදැනුවත්වම ශරීරයට ව්‍යායාමයක් ලැබෙනවා. ඉස්සර කාලේ ආපේ ආච්චි අම්මලා ජිම් ගියේ නැහැ. ගෙදර දොරේ වැඩ කළා. උයන පිහන වැඩවලදී පවා නවීන යන්ත්‍ර සූත්‍ර භාවිත නොකර දෑතින්ම පිළියෙළ කර ගත්ත නිසා එයාලා හොඳ නිරෝගීව හිටියා. ඇෙඟ් බර වැඩි වූයේ නැහැ. බෝ නොවන රෝග ඇති වුණෙත් නැහැ. අතීතයේ ඒ ජීවන රටාව වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් සමග ඈත්වීමයි මට හිතෙන්නේ නිරෝගීකම පිරිහීමට බලපා තිබෙන්නේ.

ඔබ ඔබේ ලස්සන රැක ගන්න මොකද කරන්නේ?

රැක්‍ එකේ වැඩි වෙලාවක් ඉන්න නිසා ශරීරය පිරිසිදු කිරීමෙන් පසුව ශරීරයේ තෙතමනය ආරක්‍ෂා වීමටයි, වියළි බව නැති වීමටයි මෙරට දේශගුණයට ගැළපෙන තත්ත්වයෙන් උසස් මොයිචර්රයිසර් ක්‍රීම් එකක් මුළු ඇඟටම පාවිච්චි කරනවා. නිතරම ගෙදර දොරේ වැඩ කරද්දී පිරිසිදුකාරක සේදුම්කාරක භාවිත කරන නිසා රාත්‍රී නින්දට පෙර මොයිචර්රයිසර් ක්‍රීම් වර්ගයක් භාවිත කර දෑත් හොඳින් පිරිමදිනවා.

අව්වට ගිහින් ආවොත් මම යෝගට් එකකට කස්තුරි කහ ස්වල්පයක් මිශ්‍ර කරලා මුළු ඇෙඟ්ම ගාන්න පුරුදුවෙලා ඉන්නවා. එමගින් අව්වට පිච්චුන සම ඉවත් වී දීප්තිමත් පෙනුමක් ලැබෙනවා. ඒ වගේම කෝමාරිකා මදයක් මුහුණේ ,ගෙලේ සහ අත්පාවල ආලේප කරනවා.

සුමානයකට දවසක් මුදවපු කිරි ස්වල්පයකට කස්තුරි කහ ටිකක් කලවම් කර ආලේප කරලා, විනාඩි 20ක් ඉඳලා සෝදා හරිනවා. මෙය පැක් එකක් ලෙසට මෙන්ම ස්ක්‍රබ් එකක් ලෙසටත් භාවිත කරන්න පුළුවන්. විනාඩි 20කින් පසුව වතුර ටික ටික දමා රවුමට රවුමට පිරිමැද ආලේපනය ඉවත් කරනවා. මෙමගින් මැරුණු සම ඉවත් වී හොඳ දීප්තිමත් පෙනුමක් ලැබෙනවා. ඊට අමතරව රාබු, තක්කාලි වැනි එළවළු හීනියට ගේ‍්‍රට් කර එම ඉස්ම මුහුණේ ආලේප කරනවා. මෙම ස්වභාවික ආලේපනවලින් ඉතාම හොඳ ඉක්මන් ප්‍රතිඵල ලැබෙනවා. ශරීරයට අහිතකර වන්නෙත් නැහැ. දෛනිකව සිදුකරන තවත් දෙයක් තමයි මුළු ඇඟම හොඳට සෝදලා අවසානයට වතුර කෝප්පයකට දෙහි බිංදු කිහිපයක් දාලා ඇඟට දා ගන්නවා. එමගින් ශරීරය පිරිසිදු වෙනවා වාගේම හොඳ නැවුම් බවකුත් ලැබෙනවා.

ම්…. ඊට අමතරව මම කැරට් වැඩිපුර ආහාරයට ගන්නවා. කැරට් ජූස් හදලා බොනවා. නැතිනම් කැරට් සම්බෝලය හදලා කනවා. මේවා ඇඟට හරිම ගුණයි. ඒ වගේම සමත් ලස්සන වෙනවා.

හිසකෙස් ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් මම සැලකිලිමත්. පුළුවන් වෙලාවට පොල්තෙල් දමා හිස මසාජ් කරලා, පැය කිහිපයක් තියලා ෂැම්පු කන්ඩිෂනර් දමා සෝදනවා. මෙනිකියු, පෙඩිකියු කරන දේවල් නම් මම තනියම ගෙදරදීම කර ගන්නවා. මම පේෂල් කරන්න, මේකප් කරන්න සැලෝන් එකකට යන්නේ නැති තරම්. උත්සවයකට කොණ්ඩ මෝස්තර දාන්න විතරයි සැලෝන් එකකට යන්නේ.

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවා ද?

ඔව්. වැදගත්ම ලස්සනටත් වඩා ආකර්ශනීයභාවය, ප්‍රියමනාප බව, හොඳ ගතිගුණ හරිම වැදගත්. මම ලස්සන කියා දකින්නේ කෙනකුගේ බාහිර ලස්සන විතරක් නොවේ. ආධ්‍යාත්මිකවත් අපි ගොඩක් ලස්සන විය යුතුයි. මනස නිදහස් නම් අපි ඉබේම ලස්සන වෙනවා කියලයි මට හිතෙන්නේ. අපි යම් ප්‍රශ්නයක ඉන්නවා නම් ඒ දේ නොදැනුවත්වම අපේ මුහුණෙන් පේන්න ගන්නවා. ඒ දේවල් මේකප්වලින් වහන්න බැහැ.

ඔබ දැකපු ලෝකයේ ලස්සනම කාන්තාව කවුද?

ඓෂ්චර්යා රායි. මම ඇයගේ ලස්සනට, කතාබහට, හැසිරීමට වගේම මුහුණේ පියකරු බවටත් හරිම කැමැතියි.

ඔබ ගොඩක් ලස්සන කෙනෙක්. කෙනෙක් ළඟට ඇවිත් ලස්සන අගය කළොත් හිතට දැනෙන්නේ කුමක් ද?

ඇත්තටම ආඩම්බරනීය සතුටක් හිතට දැනෙනවා.

ඔබ ලස්සනයි කියා ඔබට දැනෙන්න පටන් ගත්තේ කොයි කාලේ ද?

ම්…… වැඩිවියට පැමිණුන කාලේදි වගේ මට මතකයි. ඉස්කෝලේදි මට වඩා වයසින් අඩු පහළ පන්තිවල ඉන්න නංගිලා විවේක කාලයට මගේ පන්තියට ඇවිත් මගේ දිහා බලාගෙන ඉන්නවා ”ලස්සන අක්කාව බලන්න ආවා” කියා. ඒ දවස්වල තමයි මම ඇත්තටම ලස්සනයි කියලා දැනෙන්න පටන් ගත්තේ. ඒ දවස්වලම රූපවාහිනියේ සබන් ඇඞ් එකක් ගියා ප්‍රීති සින්ටා ඉන්න. එතකොට මට ඇඞ්වටීස්මන්ට් ගැන ලොකු අවබෝධයක් නෑ. නළු නිළියෝ දන්නෙත් නෑ. ඒ ඇඞ් එක ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය වුණා. මට ඒ දවස්වල අනේ ඔයා සබන් ඇඞ් එකේ ඉන්න ප්‍රීති සින්ටා වගේ කියලා හැමෝම වගේ කිව්වා. අවුරුදු 11, 12 වගේ වෙනකොට මම ගොඩක් ලස්සන ගැහැනු ළමයෙක් කියලා මට දැනෙන්න පටන් ගත්තා.

ඔබ අද දරු දෙදෙනකුගේ මවක්. තාමත් ලස්සනයි. මවක්, බිරිඳක් විදිහට ලස්සනට ඉන්න එකට ගෙදරින් ලැබෙන අගය කිරීම කොයි වගේ ද?

ස්වාමියා ආඩම්බරයි එයාට ලස්සන වයිෆ් කෙනක් ලැබුණ එකට. සුන්දර මවකට දරුවෝ කැමැතියි නේද? මට හිතෙනවා කාන්තාවක් ලස්සනට ඉන්න එක මුළු ගෙදරම අයගේ හිත් ලස්සන කරන දෙයක් කියලා.

ඕෂධී විලාසිතා කිරීමේදී සැලකිලිමත් ද?

ඔව්. මවක්, බිරිඳක් කියන චරිතයට මුල් තැන දෙනවා. ඊට අමතරව යන තැන, ඇෙඟ් හැඩය ගැන විලාසිතා තෝරා ගැනීමේදී සැලකිලිමත්. මහත කාලයට මහත අඩුවෙන් පේන ඇඳුම් අදිනවා. කෙට්ටු කාලයට ඒවාට ගැළපෙන ඇඳුම් අදිනවා.

ඕෂධීට වඩාත් ගැළපෙන ඇඳුම මොකක් ද?

සාරිය ඇන්දාම ලස්සනයි කියලා ගොඩක් අය කියනවා. ඇහිලා තියෙනවා.

ඇඟට ගොඩක්ම එළිය ලැබෙන පාට මොකක් ද?

සුදු පාට රෝස පාට. ම්….. කහපාට ඇඳුම් ඇන්දාම මාව තව ලස්සන වෙලා පේනවා.

අසුන්තා එදිරිසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *