ඔබ නොදත් එහි තේරුම මෙන්න……………….

‘ආච්චිට හාල් ගරනවා’ යන්න අප කාහටත් එදිනෙදා ජීවිතයේදී ඉතා හොඳින් හුරුපුරුදු පිරුළකි. කිසියම් වැදගත් කාරියක නිරත විය යුතුව තිබියදී එය අතහැර වෙනත් නොවැදගත් කාරියක නිරත වීම මුල්කොට යෙදෙන උපහාස භාෂණයක් වන මෙය කිහිප අයුරකින් භාවිතයට ගැනෙයි.
‘‘කියන වැඩේ වෙලාවට කරන්න බැරි නම් ගිහින් ආච්චිට හාල් ගරපන්’’ කිසියම් හාම්පුතකු තම සේවකයකුට එසේ කීම එම හාම්පුතා විසින් සේවකයාට පවරන ලද කාරිය නිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධ අවලාද නැගීමක් සේ අපට වටහාගත හැකිවනු ඇත.

‘‘මෙච්චර වැඩ ගොඩගැහිලා තියෙද්දී එහාට වෙලා ආච්චිට හාල් ගරනවද මන්දා’’ යනුවෙන් එම පිරුළ පැවසුවහොත් එය කළ යුතු වැදගත් කාරියක් පසෙක ලා වෙනයම් නොවැදගත් කාරියක යෙදීම සම්බන්ධයෙන් නැගෙන ප්‍රබල අපහාසාත්මක භාෂණයක් ලෙස පහසුවෙන් හඳුනාගත හැකිය.
එමෙන්ම ‘ආච්චිට හාල් ගැරීම’ යන මෙම ක්‍රියාව නොවැදගත් සේ සැලකෙනුයේ වියපත් කාන්තාවන් හෙවත් ආච්චිලාගේ මුවෙහි දත් නොමැති වීම මත බත් කෑමේදී ඔවුනට එහි තිබී ගල් වැලි සැපීමට ඉඩක් නොමැති නිසාද විය හැක. ඒ අනුව ඔවුන්ට ගල්, වැලි සහිත බත් කෑමේ ප්‍රශ්නයක් නැතැයිද එකල සමහරු සිතන්නට ඇත.

සාමාන්‍යයෙන් අප විසින් භාවිතයට ගනු ලබන බොහෝ පිරුළු හා සබැඳි කිනම් හෝ පුරාණෝක්තියක්, ජනකතාවක් ඉස්මතු කර ගැනීමට පුළුවන. එහෙත් මෙම ‘ආච්චිට හාල් ගරනවා’ යන පිරුළ මත පදනම් වූ සියවස් කිහිපයක අතීතයක් හිමි එබඳු ජනකතාවක් ඇති බවක් නොපෙනෙයි.
නමුදු මීට වසර නවයකට පෙර මා විසින් කරන ලද සංචාරයකදී මධ්‍යම සහ සබරගමු පළාත් මායිමේ තිබූ, ආච්චිලාට හාල් ගැරීම’ සම්බන්ධ අප්‍රකට මූලාශ්‍රයක් මතු කර ගැනීමට මට හැකි විය.

මධ්‍යම සහ සබරගමු පළාත්වලට අයත් අලගල්ල කඳුවැටියෙන් ගලා බසිනා වළගොඩ ඔය නම් කුඩා ජල මූලාශ්‍රයක් තිබේ. වළගොඩ, ඉහළ කෝට්ටේ හරහා ප්‍රපාතාකාර බෑවුමක් ඔස්සේ පහළට බසින එය එම බෑවුමට පහළින් ඇති නිම්නයේ දී තලගොල්ල ඔයට එක් වී පසුව මා ඔය හා සම්බන්ධ වෙයි. එම වළගොඩ ඔය ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ දී මීයන්ඇල්ල නම් පර්වතය ඔස්සේ පහළට ඇදහැළීම නිසා සමහරු එයට මීයන්ඇල්ල ඔය කියාද කියති. වර්තමානයේ පරිපාලනමය බෙදීම්වලට සම්බන්ධ නොවූවද, අතීතයේ මෙම මීයන්ඇල්ල පර්වතය මැද රට සතර කෝරලයේ සීමාවක්ව තිබූ බවට මෙම පැරණි කඩඉම් කවිය කදිම නිදසුනකි.

මීයන්ඇල්ල බලනේ කඩවත් ඇතුළේ-කඩුගන්නාව පිට සේසත කෙටූ ගලේ
මාවෙල උඩුපිලින් ලගමුවද පසු කළේ-මලකුණුවලට මැද රට සතර කෝරළේ

කෙසේ හෝ ශ්‍රී ලංකාවේ දියඇලි අතරේ කිනම් හෝ විශේෂිත තැනක් හිමිකර ගත යුතුව තිබූ මෙම මීයන්ඇල්ල අද වන විට අඩුම තරමින් ශ්‍රී ලංකාවේ දියඇලි ලැයිස්තුවටත් එක්කර ගත නොහැකිව ඇත්තේ අප රට පාලනය කළ ඉංග්‍රීසින් විසින් එම දියඇල්ල දෙකට පළා වනසා දමා අැති බැවිනි. ඒ අනුව ඔවුන් විසින් කොට ඇත්තේද ‘ආච්චිට හාල් ගැරීමක්’ ද යන්න තීරණය කිරීමට ඔබට භාර කරමින් සුද්දන් මීයන්ඇල්ල දෙකට පැළීමේ කතාව ද කෙටියෙන් හෝ ඔබට මෙසේ කියමි.

කොළඹ සිට මහනුවර හරහා දුම්රිය මාර්ගය ඉදිකළ ඉංග්‍රීසින් එය අලගල්ල පර්වත පාදමේ සිට කිලෝ මීටර් කීපයක් තුළ දී එහි මඳ උසක් දක්වා ඉහළට ගෙන ඒමට කටයුතු කොට ඇත. ඒ එම ප්‍රදේශය එවක කෝපි වගා රජදහනක්ව තිබූ බැවිනි. අගනුවර සිට කිලෝ මීටර් අනූ එකක් දුරින් පිහිටි අංක 05 දරන බිංගෙය අද්දරින් අලගල්ල කන්දේ පාදමට පිවිසෙන උඩරට දුම්රිය මාර්ගය එතැන සිට තවත් කිලෝ මීටර් දෙකක් පසු කිරීමත්, අනතුරුව අඩි දාහේ සමෝච්ඡ රේඛාව පසුකරයි. ඒ මෙම මීයන්ඇල්ල පර්වතය අද්දරිනි. මෙම ස්ථානය හරියටම කිවහොත් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට මීටර් තුන්සියයක් පමණ මෙපිටින් පිහිටා තිබේ.

එහෙත් එම දුම්රිය මාර්ගය එතැනින් ඉදිරියට ගෙන යාමට නම් එම මීයන්ඇල්ල පර්වතය විද අඩි දහසකටත් වඩා දිග බිංගෙයක් නිර්මාණය කළ යුතු බව වටහාගත් ඉංග්‍රීසීහු එම කටයුත්ත ඊට වඩා ‘ගොඩින් බේරා ගැනීමට’ පහසු ක්‍රමයක් ගැන කල්පනා කළහ. එනම් එම මීයන්ඇල්ල ඇදහැලෙන මීයන්ඇල්ල පර්වතයේ කෙළවරකින් කට්ටයක් කපා ඒ ඔස්සේ දුම්රිය මාර්ගය තැනීමය. මෙම මීයන්ඇල්ල පර්වතය පිහිටියේ අඩි හයසීයක පමණ ප්‍රපාතාකාර බෑවුමක් ඉස්මත්තේය. ඒ කෙසේ හෝ මෙම කට්ටය කපා තනන දුම්රිය මාර්ගයට ඉහළින් ඇදහැලෙන මීයන්ඇල්ල ඒ කට්ටය ඔස්සේ දුම්රිය ගමනාගමනයට ප්‍රබල බාධකයක් වන බව වටහාගත් ඉංග්‍රීසීහු ඊට ද එක්තරා උපායක් යෙදූහ. එනම් එම අලගල්ල කඳුවැටියෙන් අැදහැලෙන දියඇල්ල එම මීයන්ඇල්ල පර්වතය මුදුනේද දෙකඩ කොට එය එම දුම්රිය පාර තනා ඇති පර්වත කට්ටයට සමීපයේ කළුගල් සිරස් අතට කපන ලද තවත් ‘කඩක්කර’ හෙවත් කට්ට දෙකක් තුළින් පහළට වෑහෙන්නට සැලැස්වීමය.

අනාදිමත් කාලයක සිට නිදහසේ ගලාහැලුනු මීයන්ඇල්ල එම පර්වතය මතදී දෙකට බෙදී එම පර්වතයේ කට්ටය මගින් වැටී ගත් දුම්රිය මාර්ගය අද්දරින් කුඩා දියඇලි දෙකක් ලෙස පහතට ඇදහැලෙන්නට පටන්ගෙන ඇත්තේ සුද්දන්ගේ මෙම ක්‍රියාව නිසාය. එමෙන්ම එවක උඩරට දුම්රිය මාර්ගයේ විශේෂිත ස්ථානයක් ලෙස සැලකූ මෙම මීයන්ඇල්ල දුර්ගය මීයන්ඇල්ල යනුවෙන් උච්චාරණය කළ නොහැකි ඉංග්‍රීසින් විසින් එය හඳුන්වා දුන්නේ මීන්ගල්ල දුර්ගය (Meengalla pass) යනුවෙනි. කෙසේ හෝ ප්‍රායෝගික පක්ෂය නොවිමසා ඔවුන්ගේ පොතපතින් ලත් කරුණු පමණක් පදනම් කොට ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය පිළිබඳ සිංහලයෙන් පොතපත ලියූ ඇතැම් ලේඛකයෝද එය මීන්ගල්ල ලෙසින්ම හඳුන්වා තිබීම හාස්‍යයට කරුණකි.

කෙසේ හෝ එම මීයන්ඇල්ල පර්වතයේ ප්‍රපාතාකාර බෑවුමේ කට්ටයක් කපා ඒ මතින් දුම්රිය පාර තැනීම සහ එම දියඇල්ල දෙකට පලා එහි බලය අඩුකිරීම සාර්ථක විසඳුමක් නොවූ බව ඉංග්‍රීසින්ට පසුව තේරුම්ගොස් තිබේ. විශේෂයෙන් නිරිතදිග මෝසම් සමයට අලගල්ල කඳු ප්‍රදේශයට ඇදහැලුණු මහ වැසිවලින් සුද්දන් දෙකට කැපූ මීයන් ඇල්ල කොටස් දෙක පොහොසත් වීමත් සමග පර්වත කට්ටය මතින් වැටී ඇති දුම්රිය මගට නොනිසි බලපෑම් එල්ල වී තිබේ.
මෙම ලිපියෙහි සිරස්තලයේ ආ ආච්චිලාගේ හාල් ගැරීමට තුඩුදෙන සංසිද්ධිය පිළිබඳ හෝඩුවාව අපට මුල්වරට දැනගත හැකි වූයේ ඉහළ කෝට්ටේ විසූ වයෝවෘද්ධ එච්. පී. සේදරා මහතාගෙනි. ඒ 2010 වසරේදීය. එවකට ඔහුගේ වයස අවුරුදු අනූනවයකි.

මම ඉපදුනේ එක්දහස් නවසිය එකොළහේ. මගේ තාත්තා ඉපදුණු අවුරුද්ද නම් මට මතක නැහැ. ඒත් තාත්තා ඉස්සර කියලා තියෙනවා ඔය මීයන්ඇල්ල හරහා නුවර පැත්තට යමින් තිබුණු කෝච්චියක් එහි වැහි කාලෙක පහළට පෙරළුණා කියලා කතාවක් තිබුණා. ඒක බඩු කෝච්චියක්. එහෙමපිටින්ම තිබිලා තියෙන්නේ හාල්. ඉතින් ඒ කෝච්චියේ තිබුණු හාල් ගෝනි සේරම පුපුරලා ඔය තලගොල්ලේ ඔයට එකතු වෙලා තියෙනවා. කෝච්චියක හාල් කිව්වම පොඩි පහේ සෙල්ලමක්ද? ඉතින් මේ පළාතේ හිටපු වයසක ආච්චිලා ඔය තලගොල්ල ඔයේ ගහගෙන යමින් තිබුණු හාල් ගෙනල්ලා වේලලා ගල් වැලි යන්න ගරලා පිටිකරලා තියෙනවා. එක එක කෑම හදන්න. උන්දලා මාස ගාණක් මේ වැඩේ කරන්න අැති. අන්න ඒ කාලේ මේ පැත්තේ හිටපු කොල්ලන්ට තව එවුන් අපහාසෙට කිව්වලු, මෙතන රස්තියාදු වෙන්නෙ නැතිව වෙන වැඩක් නැත්නම් ගෙදර ගිහින් ආච්චිට හාල් ගරපන් කියලා. කොහොම හරි අපේ තරුණ කාලෙත් ඔය ආච්චිට හාල් ගරපන් කතාව මේ පැතිවල හරියට ජනප්‍රියයි.

ඒ කෙසේ හෝ එම දුම්රිය අනතුරින් පසුව එම මීයන්ගල්ල දුර්ගයේ පවතින අන්තරායකාරී බව සැලකූ ඉංග්‍රීසි ජාතිකයන් 1905 දී පමණ එම මීයන්ඇල්ල පර්වතය විද මීටර් 413.33 හෙවත් අඩි 1307 ක බිංෙගයක් තනා තිබේ. සේදරා මහතා අප හා කී අන්දමට තම පියාණන්ද එම බිංගෙය තැනීමේ ව්‍යාපෘතියේ කම්කරුවකු ලෙස සේවය කොට තිබේ. අද වන විට එම බිංගෙය 5ඒ වශයෙන් නම්කොට ඇත්තේ එය දෙවනුව ඉදිකරන ලද්දක් බැවිනි.

‘‘ඔය බිංගේ හදනකොට එක එක අනතුරුවලින් මිනිස්සු සෑහෙන පිරිසක් මැරිලා තියෙනවා’’ කී සේදරා මහතා එසේ මළ එක් කම්කරුවකුගේ පුතෙකුගේ මුවින් පැවසුණු ශෝකාලාපයක් ලෙසින් පබැඳුණු මෙම ජන කවියද මා හා කීයේ මගේ සිත තුළ ද සියුම් සංවේගයක් ජනිත කරවමිනි.

අනේ මගේ අපුච්චියා
ගල් බිංගේ වැඩට ගියා
කන්ට අරන් මං යනකොට
ගල උඩ මැරිලා හිටියා

තිලක් සේනාසිංහ

aruna.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *