කොළඹවත් නැති නවීන සන්නිවේදන මෙවලම් චන්ද්‍රිකා රූපවාහිනී නොමිලේ බැලීමේ පහසුකම්

කොළඹවත් නැති නවීන සන්නිවේදන මෙවලම්චන්ද්‍රිකා රූපවාහිනී නොමිලේ බැලීමේ පහසුකම්
ඕනෑම දෙයක් කළ හැකි සයිබර් ශූරයන්පසුගිය පාස්කු ප්‍රහාරය සිදු වූ දින සිට අද දක්වා නිරතුරුවම කතාබහට ලක් වන නගරයක් වන්නේ කාත්තන්කුඩියයි. නැඟෙනහිර පළාතේ පමණක් නොව, ශ්‍රී ලංකාවේම වැඩිම ජන ඝනත්වයක් ඇති නගරය වන්නේද කාත්තන්කුඩියයි.

මීගමුව පුංචි රෝමය ලෙස හඳුන්වනවා මෙන්ම කාත්තන්කුඩිය ‘පුංචි සිංගප්පූරුව’ ලෙස හැඳින්වීමට දශක දෙකකට පමණ පෙර සිටම අම්පාරේ සිට පොලොන්නරුව දක්වා ජනතාවෝ පෙලඹ සිටියහ. ඒ එතරම්ම නවීන දේ එහි තිබුණු නිසාය. යුද වාතාවරණය පවතිද්දී වුවද පළමු ස්මාට් දුරකතනය ගැන අපට අසන්න ලැබුණේ කාත්තන්කුඩියෙනි. එසේම පළමු ඩ්‍රෝන කැමරාව ගැනද වාර්තා වන්නේ කාත්තන්කුඩියෙනි.

එවන් තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටි කාත්තන්කුඩිය අරාබිකරයේ නාගරික ලක්ෂණ පෙන්නුම් කරමින් සෙසු නගරවලට වඩා ප්‍රධාන වෙනස්කමක් දැක්වූවාක් මෙන්ම කොළඹ නගරය මෙන් කාත්තන්කුඩි 1, 2, 3 වශයෙන් වෙන් කර තිබීම තවත් ප්‍රධාන ලක්ෂණයක් විය. මේ කරුණු සියල්ලට වඩා කාත්තන්කුඩිය හරහා ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි කරුණු රැසක් පසුගිය දා අපට දැනගන්න ලැබිණි. ඒ නිසා අපි ඒ ගැන සොයා බැලීමට කාත්තන්කුඩිය කරා ගියෙමු. ඒ පසුගිය 18 වැනිදාය.

අප මුලින් පැවසූ පරිදි ‘පුංචි සිංගප්පූරුව’ යනුවෙන් හැඳින්වෙන, නව තාක්ෂණයෙන් නිරතුරුවම පෙරමුණේ සිටි කාත්තන්කුඩිය දිවයිනේම සුපිරි තාක්ෂණයක් සහිතව මෙන්ම තාක්ෂණය සොරාගන්නා නගරයක් බවටද කරුණු වාර්තා වී තිබිණි.

අපි ඒ සම්බන්ධව සොයා බැලීම පිණිස කාත්තන්කුඩිය නගරයේ ඇවිද යන්නට සිතුවෙමු. එහෙත් මේ තාක්ෂණය දන්නා අය ඒ තාක්ෂණය කිසි විටෙක ප්‍රසිද්ධියේ එළියට නොදෙන බවද අපට දැනගන්න ලැබුණේය. එබැවින් අපි දන්නා-හඳුනන අයකු සමඟ නගරයේ ජංගම දුරකතන අලුත්වැඩියා කරන හා උපාංග අලෙවියේ යෙදෙන අලෙවිසල් කිහිපයක් වෙත ගියෙමු. ඒ ලැප්ටොප් යන්ත්‍රයක්ද සමඟය.

අපි කාත්තන්කුඩියේ වෙරළ පාරේ (Beach Road) ආරම්භයේම පිහිටි දුරකතන උපාංග අලෙවි සලකට ගියෙමු.

“ලැප්ටොප් එකේ පාස්වර්ඩ්-එක මතක නැහැ, මේක ඕන් කරල දෙන්න පුළුවන්ද?” අපි විමසීමු.

ද්‍රවිඩ භාෂාවෙන් එකිනෙකා සමඟ කතා කළ ඔවුන් අවසානයේ අප හට පැවසුවේ මුරපද (‘පාස්වර්ඩ්’) නොදන්නේ නම් එය ක්‍රියාත්මක කළ නොහැකි බවත්, අවශ්‍ය නම් ලැප්ටොප් පරිගණකයේ අඩංගු දත්ත සම්පූර්ණයෙන්ම මකා දමා (‘ෆෝමැට්’ කර) එය ක්‍රියාත්මක කර දිය හැකි බවත්ය.

අපි ඊළඟ අලෙවි සලටද ගියෙමු. එතැනින්ද ලැබුණේ ඒ හා සමාන පිළිතුරකි.

“ෆෝන්-එකක් නම් ‘අන්-ලොක්’ කරල දෙන්න පුළුවන්. ඒත් ලැප්ටොප්වල පාස්වර්ඩ් අයින් කරන්න අපට බැහැ.”

“මේ වැඩේ මෙහෙම කරල හරි-යන්නෙ නැහැ. අපි මේ පැත්ත ගැන දන්න කෙනෙක් එක්ක යමු. අප සමඟ ගිය පුද්ගලයා කීය. ඒ අනුව අපි වෙරළ පාරේ කෙළවරම පිහිටි පල්ලියක් අසල සිටි ඔහු දන්නා අයකු හමු වී ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කළ නොහැකි බව පැවසුවේය.

“ඇයි? ලැප්ටොප්-එක කාගේද?” ඔහු ද්‍රවිඩ භාෂාවෙන් විමසුවේය.

“මේ ලැප්ටොප්-එක මෙයාගෙ පුතාගෙ. ඒක වැරැදිලා ගෙනැත් තියෙන්නෙ. පුතාට කතා කරල පාස්වර්ඩ්-එක අහගන්න විදිහක් නැහැ. තාම ඉස්කෝලෙ නේ…” අපගේ මිතුරා ද්‍රවිඩ භාෂාවෙන්ම පිළිතුරු සැපයීය.

මඳ වේලාවක් අප දෙස බලා සිටි පුද්ගලයා ඇතුළට ගොස් පැමිණ නිහඬවම අප සමඟ වෙරළ පා‍රේ ආපසු එන්නට විය.

අප ගිය පළමු අලෙවි සල් වෙත නොගොස් වෙරළ පාරේ පිහිටි තුන්වන අලෙවි සල වෙත අප ගියේ වෙරළ පාරේ සිට අප සමඟ ආ පුද්ගලයාද සමඟය.

“මේ අය හදිසියෙ වැරදිලා පුතාගෙ ලැප්ටොප් එක ගෙනැල්ල තියෙන්නෙ. එයා ඉස්කෝලෙ ඇරිල එනකල් මේකෙ පාස්වර්ඩ් එක දැනගන්න විදිහක් නැහැ. කරුණාකරල මේක අන්ලොක් කරල දෙන්නකො.”

ඔහුගේ ඉල්ලීම් පිට තුන්වන අලෙවිසලේ අයෙක් ලැප්ටොප් පරිගණය අතට ගත්තේය.

“පාස්වර්ඩ්-එකේ ලෙටර්ස් (අකුරු) කීයක් තියෙනවද?”

“අකුරු 4යි කියල නම් දන්නවා” මම මිතුරා හරහා පැවසුවෙමි.

හිස වනා ලැප්ටොප් පරිගණකය සමඟ ඇතුළට ගිය ඔහු විනාඩි 10කට අඩු කාලයකදී ආපසු පැමිණියේ එය ක්‍රියාත්මක කරගෙනය.

අප මේ පැවසුවේ එක් කතාවකි. අප මුහුණ දුන් පසුගිය 18 වැනිදා වූ මේ සිදුවීම හරහා අප උගත යුතු මෙන්ම අවබෝධ කරගත යුතු පාඩම කුමක්ද?

මේ ආකාරයෙන් නව තාක්ෂණය සූක්ෂ්ම ලෙස හා නීතිවිරෝධි ලෙස භාවිත කිරීම කාත්තන්කුඩියේ තැනින් තැන සිදු වේ.

කාත්තන්කුඩියේ ජංගම දුරකතන අලෙවි සල් හා අමතර උපාංග අලෙවිසල්හි ඒ වෙළෙඳාමට අමතරව සාමාන්‍ය තත්ත්වයට එහා ගිය තාක්ෂණික මෙවලම් භාවිතය හා ක්‍රියාකාරිත්වයක් සිදු කරනු ලබන බවට මේ අප මුහුණ දුන් අත්දැකීමම ප්‍රමාණවත්ය. සියලු අලෙවි සල් ඒ ක්‍රියාදාමයේ නිරත නොවූවත් ස්ථාන කිහිපයක මේ ආකාරයේ අධිතාක්ෂණික මෙවලම් මඟින් විවිධාකාර අකටයුතුකම් සිදු කරනු ලබන බව මේ වන විට පසක් වී ඇත.

එහෙත් කිසිදු අයුරකින් තමන්ට විශ්වාස නොවන අයට මේ නව මෙවලම් මඟින් කිසිදු කාර්යයක් හෝ සේවාවක් ඔවුන් විසින් සිදු නොකරනු ලබන අතර, ඔවුන් සතු ඒ නීති විරෝධි තාක්ෂණය මඟින් සිදු වන දේ ඇතැම් විට සිතාගැන්මටත් බැරි තත්ත්වයක පවතී.

අකුරු හෝ අංක 5ට අඩු මුරපද (පාස්වර්ඩ්) ඉතා කෙටි කාලයක් තුළදි සොයාගන්නට ඔවුන්ට හැකියාව ඇත. අකුරු හෝ අංක 5ට වැඩි 8කට අඩු මුරපද දිනක පමණ කාලයකදී මේ අයට සොයා ගැන්මට හැකියාව තිබෙන බව වාර්තා වේ.

එසේම ඕනෑම අයකු විසින් ස්මාට් දුරකතනයකට ස්ථාපිත කර ඇති ආරක්ෂිත රටාව දුරකතනය අතට ගෙන තත්ත්පර කිහිපයක් තුළදී වෙනස් කිරීමට හෝ එම රටාව හඳුනාගැනීමේ තාක්ෂණයන්ද ඔවුන් සතුව ඇත.

මෙය ආරක්ෂාව අතින් රටකට භයානක තත්ත්වයක් වන අතර, අප මෙහිදී කාත්තන්කුඩියේදී ලබාගත් මේ ඡායාරූපවල දැක්වෙන පරිදි සාමාන්‍ය වෙළෙඳ සල් ලෙස ඒවා පවත්වාගෙන යෑම හේතුවෙන් ඒවායේ ක්‍රියාකාරිත්වය හා සිදු වන්නා වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැනද දන්නේ ඔවුන්ම පමණකි.

එක් ජාතීන් පිරිසක් පමණක්ම වෙසෙන බැවින් අනෙක් ජාතික ජනතාව අතරට මේ තාක්ෂණය නොයන හෙයින් ඒවා හුදෙක්ම වෙනත් පෞද්ගලික සමාජයක තාක්ෂණික දත්ත බවට පත්ව ඇත.

මේ ක්‍රියාකාරකමේ භයානකම අංගය ලෙස වාර්තා වන්නේ ජංගම දුරකතන සිම්පත් පවා මේ ඇතැම් වෙළෙඳසල් විසින් නිපදවීමයි. මෙරට දැනට ක්‍රියාත්මක ජංගම දුරකතන ජාල අතර ඇති මොබිටෙල්, ඩයලොග්, හච්, එටිසෙලාට්, එයාර්ටෙල් වැනි ජංගම දුරකතන සේවාවලට අදාළ අංක හිමි සිම්පත් මේ අයට නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙන බව වාර්තා වේ. අපට එවන් අත්දැකීමකට මුහුණ දීමට සිදු නොවූවත් ඒ තත්ත්වය සැබෑවක් බවට මේ වන විට දැනගන්නට ඇත. එවන් සිම්පත් ලබාගත් අය ගැනද අපට දැනගත හැකි විය.

සිම්පතක් නැති වූ විට අප අදාළ ආයතනයෙන්ම හෝ ඔවුන්ගේ බලය ලත් ආයතනයකින් ඒ සිම්පත ලබාගත යුතුය. එය වෙනත් ආයතනයකට ලබා දිය නොහැකිය. එහෙත් මේ අයට අදාළ සමාගමේ කිසිදු අවසරයකින් තොරව ඔවුන් විසින්ම නිෂ්පාදිත සිම්පත් අලෙවි කිරීමේ හැකියාව පවතී.

වෙනත් අයකු සතුව ඇති සිම්පත් උදෙසා සිම්පත් නිෂ්පාදනය කිරීම්ද මේ අනුව කළ හැකි වනු ඇත. මේ සියල්ල ඔවුන්ගේ තාක්ෂණයක් වන අතර, ‘පුංචි සිංගප්පූරුව’ යන නාමයද ඉක්මවා යන තරමේ තාක්ෂණික මෙවලම් මේ වන විට කාත්තන්තුඩියේ තිබෙන බවට මේ සාධක පෙන්වා දෙයි.

මේ තාක්ෂණය භාවිත කිරීම හරහා සිදු කළ හැකි දේ බොහෝය.

යුද සමයේ ජිහාඩ් කල්ලි විසින් විවිධ තාක්ෂණික මෙවලම් භාවිත කරමින් ත්‍රස්තවාදීන් අතර සිදු වූ පණිවිඩ හුවමාරුවලට සවන් දුන් ආකාරය ගැන අපට සිහියට නැගේ. ඒ මිට වසර 15කට පමණ පෙර සිටය. අද යුද්ධයක් නැත. එහෙත් තාක්ෂණය බොහෝ දියුණුය. ඒ නව තාක්ෂණය සමඟ කළ හැකි දේද බොහෝය.

එහෙත් ඒ තාක්ෂණය අපගේ දියුණුවට මිස ව්‍යසනයට හේතු නොවිය යුතුය. කාත්තන්කුඩියේ මේ වන විට සිදු වන අරාබිකරණයටත් වඩා භයානක විපතක් මේ නීත්‍යනුකූල නොවන තාක්ෂණික ක්‍රියා හේතුවෙන් ඉදිරියේදී සිදු විය හැකිය.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රූපවාහිනී නාලිකා නැරැඹිය හැකි උපාංගද කාත්තන්කුඩිය පුරා දක්නට ඇත. එහෙත් මේ වන තෙක් කිසිදු නීති ක්‍රියාමාර්ගයක් හෝ ඒ වෙනුවෙන් ගෙන නැත. ආරක්ෂාව පිණිස කඳවුරු යෙදවූවත් අධි-තාක්ෂණික පහසුව ඇති අයට ඒ කිසිවක් ගැටලුවක් නොවනු ඇත. මුදල් ගෙවා නැරැඹිය යුතු රූපවාහිනී නාලිකා නොමිලේ ලබා දෙන තාක්ෂණය අනුව ඔවුන් කටයුතු කරන්නේ කෙසේද?

මෙහිදී අප අවධානය යොමු කළ යුත්තේ සිම් කාඩ්පත් ලබා දීම හෝ රූපවාහිනී නාළිකාවක් නැරඹීම දෙස නොව, මේ නීත්‍යනුකූල නොවන අධි-තාක්ෂණය භාවිතයෙන් ඔවුන්ට කළ හැකි වෙනත් දේ ඇත්දැයි සොයා බැලීමය.

අපට බොහෝ දේ වැරදුණේ නිසි වේලාවට පිළියම් නොයෙදීම නිසාය; ඒ බව දැක-දැකත් නොදැක්කා සේ සිටීම නිසාය; ඒවා සරල සිද්ධි ලෙස සලකා බැහැර කිරීම නිසාය.

ලෝක යුද්ධ දෙකක්ම අපේ ඉතිහාසයේ ඇති වූ නමුත් ඉදිරියේදී යුද්ධයක් ඇති වන්නේ නම් ඒ සයිබර් යුද්ධයකි. දත්ත විනාශ කරන යුද්ධයකි. කාත්තන්කුඩියේ මේ අධි තාක්ෂණය මෙන්ම තාක්ෂණය නීත්‍යානුකූල නොවන ලෙසින් පරිහරණය පෙන්වා දෙන්නේද සඟවා ඇති දත්ත එළියට ගැනීමකි.

අනෙක් අයගේ බැංකු කාඩ්පත් දත්ත සූක්ෂ්ම ලෙස ලබාගෙන හෝ ඇතැම් විට කුඩා චිප් එකකින් එම විස්තර ලබාගෙන බැංකු ඒටීඑම් කාඩ්පත් පවා ක්ෂණිකව හදන්නට හැකි තාක්ෂණයෙන් යුක්ත ශ්‍රී ලංකාව වැනි රටක මෙවන් ක්‍රියා සිදුවීම එක් අතෙකින් පුදුම විය යුතුද නැත. එහෙත් ඒ තාක්ෂණික භාවිතය රටේ ආරක්ෂාවට මෙන්ම ගෝලීය වශයෙන්ද ඉතා අහිතකරය.

එය සහරාන්ගේ ප්‍රහාරයටද වඩා භයානක වනු ඇත. සහරාන්ට ඉස්සර වන්නට හැකි වූයේ, ඔහුගේ ප්‍රහාර දියත් කරන්න හැකි වූයේ 2007 වසරේ සිට ඔහුගේ ක්‍රියා දත් අය ඒ බව දන්වා සිටියද, ඒ සම්බන්ධව සිදු කළ පැමිණිලි නොසලකා හැරීම නිසාය.

දැන් අප සහරාන්ටත් වඩා භයානක මේ ව්‍යසනය නොසලකා කටයුතු කළ හොත් රටේ ආර්ථිකය ඇතුළු සමස්ත පද්ධතියම බිමට ඇදවැටෙනු ඇත.

ඊට පෙර මේ නීතියට පිටින් පරිගණක හා ජංගම දුරකතන ආශ්‍රිතව වංචාකාරිව සිදු කරනු ලබන මුරපද මාරුව මෙන්ම ඒ හරහා සිදු කළ හැකි අනෙක් කටයුතුද, සිම්පත් නිෂ්පාදනයද වහා නතර කිරීමට පියවර ගත යුතුය.

සිම් කාඩ්පතක් නැති වූ විට බොහෝ ආයතන ඒ කාඩ්පත යළි නොමිලයේම ලබා දෙන ඇතැම් සමාගම් ඉතා සුළු මුදලක් ඒ සදහා අය කරයි.

එවන් තත්ත්වයක් මත කෙනකු සිම් කාඩ්පත් වෙනම නිෂ්පාදනය කරනවා නම්, එය අලෙවි කොට ලබාගත හැක්කේ රුපියල් 10ක් 15ක් වැනි ඉතා සුළු ලාභයකි. එබැවින් මේ සිම් කාඩ්පත් නිපදවීම හුදෙක් ව්‍යාපාරික ලාභයක් ඉපයීම උදෙසා සිදු කරන්නක් ලෙස සිතිය නොහැකිය.

ඇස් පියාගෙන නොව, ඇස් ඇරගෙන කාත්තන්කුඩිය දෙස බලන්න දැන් හෝ බලධාරීන් කටයුතු කළ යුතුය.

තාරක වික්‍රමසේකර
සිළුමිණ
විශේෂාංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *