මෙහෙම ගුහාවක් ලංකාවේ තියනවා කියලා ඔබ දන්නවද

මෙය ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් සේම ජෛව විවිධත්ව පාරිසරික සම්පතක් වූ වවුල්පන හුණූගල් ගුහාව අපට හිමි මහගු පාරිසරික දායාදයකි. මෙම ස්ථානය මෙරටට ආවේණික වූ වවුලන් වර්ග 7 ක්ද ඇතුලත්ව වවුලන් ලක්ෂ 10 කගේ පමණ වාසස්ථානය වන අතර, මෙම ස්වාභාවික ගුහාව තුළින් දිය පහරක් ගලා යයි. ගුහාව තුළ පිහිටි අභ්‍යන්තර දිය ඇල්ල අපට ඉතාම සුවිශේෂ වූ අත්දැකීමක් ලබා දේ. මෙය සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්න ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටා ඇත. රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලේබැද්ද තුංතොට හංදියෙන් හැරී බුළුතොට මාර්ගයේ කිලෝ මීටර් 10 ක් පමණ ගමන් කිරීමෙන් පසු මෙම ස්ථානයට ලගා විය හැකිය. එසේම සූරියකන්ද – කොලොන්න මාර්ගයේ බුළුතොට හංදියෙන් හැරී පල්ලේබැද්ද දක්වා වූ මාර්ගයේ ගමන් කිරීමෙන්ද මේ වෙත ලගා විය හැකිය.

ඔබ ගමන් ගන්නා කුමන හෝ වාහනයක් වවුල්පන ගම්මානය තෙක් ගමන් කල හැකි වේ. ඉන්පසු එතැන් සිට ඔබට ගමන් කිරීමට සිදු වන්නේ ඉතා සෞම්‍ය පරිසර පද්ධතියක් තුළ ගස් සෙවන යටින් දිව යන අඩිපාරක් ඔස්සේය. එසේ කිලෝ මීටරයක් පමණ දුරක් ගමන් කිරීමෙන් පසු හුණුගල් ගුහාව පිහිටි ස්ථානයට ලගා විය හැකිය.

මෙම හුණුගල් ගුහාව උප ගුහා 10 කට අධික ප්‍රමාණයකින් සමන්විත වූ ගුහා පද්ධතියකි. මෙහි පිවිසුම් දොරටුව තුළින් මෙම ගුහාව තුළට වවුල්පන දොළ ගලා යයි. ගුහාව තුළට ඇතුල් වන එම දොල උමං මග ඔස්සේ මීටර් 500 ක් පමණ ගලා ගොස් ගුහාවේ පිටවීමේ දොරටුව තුළින් මතු වේ.

මෙම වවුල්පන ගුහාව අභ්‍යන්තරය ඉතාමත් අදුරුය. කිසිදු ආලෝකයක් නොවැටේ. එබැවින් ඒ තුළ සිය වාසස්ථානය කරගත් වවුලන් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් වාසය කරන බව සොයාගෙන ඇත. මෙහි ඇති වවුලන්ගෙන් වවුලන් වර්ග 7 ක් මෙරටට ආවේණික වවුලන් වේ. සවස 6 ට පමණ ගුහාවෙන් පිටත්වන වවුලන් නැවත උදෑසන මෙම ගුහාව කරා ලගාවෙති.

ඔබ මෙම ගුහාව තුළට ගමන් කරන්නේ නම් හොද ආලෝකය ලබා ගැනීමේ මාධ්‍යක් රැගෙන යා යුතුය. මෙම ගුහාව තුළට පිවිසුම් දොරටුවෙන් ඇතුල් වූ පසු එම ගුහාව අඩි 40 – 50 ක් පමණ උසට විහිදී යයි. ඒ තුළ විවිධාකාර දිසාවන්ට විහිදී ගිය උප ගුහා ගනනාවක් දැකිය හැකිය. හුණුගල් වලින් සකස් වී ඇති අපූර්වතම නිර්මාණයක් වන මෙම ගුහාව තුළ හිරිලඹ හා හිරිටැඹ දැකගත හැකි වේ.

විදුලි පන්දම දල්වන සෑම දිසාවකම ඇත්තේ දහස් ගනනින් වවුලන්ය. ආලෝකය ලැබීමත් සමග කලබල වන වවුලන් ගුහාව තුළ ඉගිලී යති. ගුහාව තුළ ඇති හිරිලඹ හා හිරිටැඹ ඉතා අලංකාර දර්ශනයක් ඇති කරයි. මේ කරා ලගාවන අයකුට දැකගැනීමට සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ දසුන් ගනනාවක් දැක ගැනීමේ වාසනාව හිමි වේ.

එසේම ඔබ ගුහාව තුළට ගමන් කිරීමට අදහස් කරන්නේ නම්, ඒ සදහා වෙනම ඇදුමක් හා තොප්පියක් රුගෙන යාමට අමතක නොකරන්න. වවුලන් ලක්ෂ ගනනක් ඔබගේ හිසට ඉහලින් සිටින බැවින් ඔබ මේ තුළට ගමන් කිරීමේදී අදින ඇදුම පිටතට පැමිණි සැනින් සෝදා ගැනීමට ඔබට සිදුවනු ඇත.
එසේම මේ ගුහාව තුළ මීයන් සහ කරපොත්තන් ඉතා විශාල ප්‍රමාණයක් ජීවත් වෙති. ඔබට ඔවුන් හමුවන්නේ ඔබ ගුහාව තුළට ගමන් කරන්නේ නම් පමණි. මේ තුළ ඉතා දුර්ලභ ඇලි කරපොත්තන් (සුදු කැරපොත්තන්) දැකිය හැකි වේ. වවුලන්ගේ මලපහ සහ ජලය මිශ්‍ර වීම නිසා මෙම ගුහාව තුළ වන ගල් ලිස්සන සුළු ‍බවට පත්ව ඇත. එබැවින් ඉතා දුෂ්කර ගමනකින් පසු ඔබට ගුහාව තුළින් ගමන් කර ගුහාවේ පිටවන දොරටුව වෙත ගමන් කිරීමට හැකි වනු ඇත. එසේ ගුහාව තුළින් ගමන් කිරීම අපහසු වන්නේ නම්, නැවත පිටතට පැමිණ ගුහාවේ පිටවන දොරටුව තුළින් නැවතත් ගුහාව තුළට ගමන් කිරීමට හැකි වේ.

මෙම ගුහාව තුළට ගමන් කරනා ඔබට දැක ගැනීම සදහා තවත් ඉතාමත් දුර්ලභ දර්ශනයක් ඇත. එනම් ලංකාවේ දැකගැනීමට ඉතාමත්ම දුර්ලභ වන්නා වූ ගුහාව තුළ පිහිටි අඩි 30 කටත් වඩා උස වූ අභ්‍යන්තර දිය ඇල්ලකි. ගුහාව තුළට වෙනත් දිශාවක ඇති උමගක් තුළින් ඇතුල් වන දිය පහරක් අඩි 30 ක් වැනි උසක සිට පහලට ඇද වැටී ඉතා අලංකාර අභ්‍යන්තර දිය ඇල්ලක් නිර්මාණය කරයි. මෙම දිය ඇල්ල වසරේ සෑම කාලයකම එක හා සමානව ඇද වැටේ. දිය ඇල්ලෙහි ඡායාරූප පැහැදිලි නොමැති නිසා මෙම ඇල්බමයට එකතු කර නොමැත.

මෙහි පිවිසුම් දොරටුවෙන් නැවත පිටපත පැමිණි පසු ඉතා ඉහල අහස කරා යොමු වූ රූක්ෂ ගස් වලින් හෙබි කැලය මැදින් වැටී ඇති මගක් ඔස්සේ මෙම ගුහාවේ පිටවීමේ දොරටුව වෙත ලගා විය හැකිය. ඉතාමත් දැවැන්ත ගස් වලින් හෙබි අලංකාර ස්වාභාවික පරිසර පද්ධතියක් මැදින් ගමන් කිරීමෙන් පසු, ඉතාමත් දුෂ්කර ගමන් මගක් ඔස්සේ මෙම පිටවීමේ දොරටුව වෙත ගමන් කල හැකිය.
පිවිසුම් දොරටුව තුළින් ගුහාව තුළට ඇතුල් වූ වවුල්පන දොල නම් වූ දිය පහර ගුහාව තුළින් ගමන් කර, අභ්‍යන්තර දිය ඇල්ලෙන් එකතු වන ජලයෙන්ද පෝෂණය වී මෙම පිටවීමේ දොරටුව තුළින් පිටතට ගලා යයි. මෙම පිටවීමේ දොරටුව තුළින් දිය පහර මැදින් ගුහාව තුළට ගමන් කිරීමෙන් පසු පෙර කී අභ්‍යන්තර දිය ඇල්ලේ පාමුලට පැමිණිය හැකිය.

එසේ ගුහාව තුළට ගමන් කරන්නේ නම් ඔබගේ ශබ්දයන්ගෙන් අවදි වී ගුහාවේ දොරටුව තුළින් පිටතට පැමිණෙන වවුලන් ශරීරයේ වැදීමෙන් ආරක්ෂා වීම සදහා ගුහාව තුළට ගමන් කල යුත්තේ පිටුපසට ගමන් කරන ආකාරයටය.

එසේම, මෙම ගුහාවේ පිටවීමේ දොරටුව ආසන්නයේ ප්‍රදේශවාසීන් විසින් සත්ව පොසිලයක් යැයි හදුන්වන යමක් පවතී. ගුහාව ආසන්නයේම පසට යටවී ඇති මෙය සමීපව පරීක්ෂා කිරීමේදී එය යම් සතෙකුගේ පොසිලයක් බව නිගමනය කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරු සොයා ගත හැකි වේ. කෙසේ හෝ මෙම ගුහාව ආසන්නයේ හමුවන සාධකයන් හා නිරීක්ෂණය කිරීමේදී මෙම සත්ව පොසිලය වසර දහස් ගනනක් පැරණි විය හැකි බව විශ්වාස කල හැකිය. එසේම ඉන් මදක් ඔබ්බෙහි වූ ගල් පවුරු ආශ්‍රිතව ශාක පත්‍ර පොසිලයන්ද දැක ගත හැකි වේ. මෙම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී වසර දහස් ගනනක ඓතිහාසික තොරතුරු හා සාක්ෂි දැක ගත හැකි වනු ඇත.

එසේම ඔබට මෙම ගල් පවුරු ආශ්‍රිතව වර්ධනය වන හෝ ක්ෂය වී යන කිරිගරුඩ පාශානයන්ද දැක ගැනීමට හැකි වනු ඇත. මෙම ස්ථානයෙන් මෑත් වී මෙම ගුහාව පිහිටි කන්දේ වෙනත් පෙදෙසකට ගමන් කිරීමේදී අපට කිවුල් දිය උල්පත දැක ගැනීමට හැකි වේ. පොලව තුළින් මතුවන අගල් 10 කට වැඩි දිය පහර කිවුල් රසයෙන් යුක්තය. මෙම උල්පතේ ජලය වසරේ සෑම කාලයකදීම කිසිදු අඩු වැඩි වීමක් නොමැතිව එකම ප්‍රමාණයකට ගලා එන බව ප්‍රදේශවාසීන් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *