වෙසක් දන්සැල් 6000 සිට 92ට බසියි………….

ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර රටපුරා වෙසක් දන්සල් සංඛ්‍යාව 92කට සීමා වී ඇතැයි වාර්තා වනවා.

පසුගිය වසරේදී දිවයින පුරා වෙසක් දන්සල් 6000ක් පමණ ලියාපදිංචි කෙරුණු නමුත් මෙවර ලියාපදිංචි වී ඇත්තේ දන්සල් 92ක් පමණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

පසුගිය වසරේ කොළඹ නගරයේ පමණක් දන්සල් 150ක් පැවැත්වූ නමුත් මෙවර එය දන්සල් 04කට සීමා වී තිබෙනවා.

වෙසක් උළෙලට සමගාමීව සංවිධානය කෙරෙන වෙසක් කලාප,තොරං මෙන්ම සීල සමාදාන වැඩසටහන් වලද මෙවර ඇත්තේ කැපීපෙනෙන අඩුවක් ඇති බවයි සංගමය පෙන්වා දෙන්නේ.

කොළඹ නගරයේ වෙසක් කලාප මෙවර නොපැවෙත්වෙන අතර තොරණ හෝ දැවැන්ත පහන් කූඩු එකක් හෝ ඉදිවන බවක් දක්නට නොමැති බවයි සංගමය පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ කොළඹ නගරයේ පමණක් තොරණ 10ක් ඉදිකෙරුණු අතර ”බුද්ධරශ්මි වෙසක් කලාපය”, ”බෞද්ධාලෝක වෙසක් කලාපය”, ”ලේක්හවුස් වෙසක් කලාපය”, ”සිරස වෙසක් කලාපය”, “කොළඹ පුරහල වෙසක් කලාපය” ඇතුළු වෙසක් කලාප ගණනාවක් පැවැත්වුණි.

පාස්කු ඉරිදින සිදු වූ බෝම්බ ප්‍රහාර සමඟ ආරක්ෂක හේතු මත මහජනතාව එක්රැස්වෙන අයුරින් විවිධ උත්සව සංවිධානය කිරීම සීමා කර තිබීම හේතුවෙන් මෙවර වෙසක් කලාප සහ දන්සල් අඩුවී ඇති බව සංවිධායකයින් පවසනවා.

කොළඹ ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ”බුද්ධ රශ්මි” වෙසක් කලාපය මෙවර 13 වන වරටත් පැවැත්වෙන අතර එය ආගමික වැඩසටහන් වලට මූලිකත්වය දෙමින් සංවිධානය කර තිබෙනවා.

වසර 13ක ඉතිහාසයේ පළමු වරට තොරණ හා දැවැන්ත වෙසක් පහන් කූඩු ආදියෙන් තොරව පැවැත්වෙන ”බුද්ධ රශ්මි” වෙසක් කලාපය යටතේ රටට සෙත්පතා පවත්වන සති පිරිත් දේශනයක් ගංගාරාම විහාරස්ත සීමා මාලකයේ සිට වෙසක් පොහෝ දා සිට සතියක් පුරා පැවැත්වීමට නියමිතයි.

කොළඹ, බෞද්ධාලෝක වෙසක් කලාපය ද මෙවර ප්‍රතිපත්ති පූජාවන්ට පමණක් මූලිකත්වය දෙමින් පවත්වන බව එම සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල සඳහන් කර සිටියා.

ජයන්ත සමරකෝන් සහ ඩයනා උදයන්ගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *