උසස් පෙලෙන් පස්සේ මේ දේවල් ටික කරලා බලන එකෙන් වාසිය ඔබට ම තමා

උසස්පෙළ විභාගයට ලිව්වට පස්සේ ගොඩක් අපේ යාළුවො කරන්නේ, තමන්ගේ අනාගතේ කොහොම වෙන්න උවමනාද කියන කාරණාවට ඔත්තු එක්කාසු කරන එක කියලා කිව්වොත් මම හිතන්නේ වැරදි නැතිවෙයි. මේකට ප්‍රධානතම හේතුව වෙන්නේ විෂය ධාරා අල්ප ගණනක් හැරුනාම අනෙක් කිසිම විෂයක තමන්ගේ එදිනෙදා ජීවිතය හැඩගස්වා ගන්නේ කොහොමද කියන එක ගැන කිසිම අදහසක් ලබා නොදෙන එක.

ඉතින් මේ ඔත්තු දහය ගැන ඔයා කල්පනා කරලා ඒ අනුව ක්‍රියාකරන්නත් පුළුවන් නම් ඔබ ට මුළු ජීවිතේම නොවුනත් ජීවිතේ සමහර කොටස් වත් තමන්ට ඕනේ හැටියට හැඩගස්වා ගන්නට ඉඩ හසර ලැබේවි.

1. වාහනයක් නැතත් ලයිෂන් එක ගන්න

ලංකාවේ ගොඩක් පවුල් වලට සිහිනයක් තියෙනවා තමන්ටම කියලා වාහනයක් ගන්න. එහෙත් මේ වෙනකොට නම් ඉතින් ඒක ලේසියෙන් පාසුවෙන් ඉටුකරගන්න පුලුවන් හීනයක් නම් නෙමෙයි. එහෙත් තවමත් අපිට වාහන නැතත් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි කාර් එකක් ගන්න කලින් තමන්ගේ වාහන ධාවන බලපත්‍රය ලබාගන්න එක. මොකද ඔබට කොයි වෙලාවක හරි වාහනයක් ගන්න හෝ ධාවනය කරන්න හරි ඉඩ ලැබුනොත් ලයිෂන් එක නැතිනම් ඔයාට වෙන්නේ ලජ්ජාවෙන් පැත්තකට වෙලා ඉන්න තමයි. ඒ නිසා ඉක්මනටම ලයිෂන් එක ගන්න.නැහැ මම වාහනයක් අරගෙනම ලයිෂන් එක ගන්නවා කියලා හිතාගෙන ඉන්න අය අපි අතරේ ඕනෑ තරම් ඉන්නවා. ඒක වරදක් නෙවෙයි. එහෙත් අනාගතේදී රැකියාවට සහ වෙනත් හේතු නිසා කාර්ය බහුල වුනාට පස්සේ ලයිෂන් එකක් ගන්න අදහස යට යන්නේ නොදැනුවත්ව ම.

අනික තමන්ට ලයිෂන් තියෙනවා කියල දැනුනම තමන් නිකම්ම නිකම් පොඩි එකෙක් නෙවෙයි කියලා දැනෙන්න ගනීවි.ආන්න හරි ඒ දැනෙන්නේ, තමන්ටත් වගකීමක් ගන්න පුළුවන් වැඩිහිටියෙක් කියලා දැනෙන සිතුවිල්ලේ බර තමා. අනික අතිරේකව ලයිෂන් එක ඔයාට අයිඩෙන්ටිටි කාඩ් එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන් නිසා වාසි දෙකයි.

2. පාස්පෝර්ට්? ඔව් අන්න ඒකත් ඕනේ

ලයිෂන් එක ගත්තා වගේම, ඕනෙම වෙලාවක තමන්ගේ සංචාරක ලිපිගොනුව යාවත් කාලින කරගෙන ඉන්න එකෙන් ඔයා බොහොම ක්‍රියාශීලි තරුණයෙක්/තරුණියක් බවට ඉබේම පත් වෙනවා. කවුද දන්නේ හදිසියෙවත් කොහේ හරි රටකට වත් යන්න ලෝකේ දකින්න අවස්ථාවක් ලැබුනොත්, ඒ අල්ලපනල්ලේ ඔයාට පාස්පොර්ට් හද හදා ඉන්න බැහැනේ. කොහෙවත් ගියේ නැතුවට කමක් නැහැ, පාස්පොර්ට් එකත් ඔය සුනංගුවේම හදලා තියාගන්න.අනික ඉස්සර වගේ දැන් පාස්පෝර්ට් ෆෝම් ගන්න කොළඹ එන්න ඕනේ නැහැ. මෙන්න මේ ලින්ක් එකේ තියෙන තොරතුරු කියවලා ෆෝම් එකේ PDF එක අරගෙන ප්‍රින්ට් කරලා පුරවලා, එහි ඉල්ලලා තියෙන ලිපිගොනු සහ පින්තුර එක්ක ලඟම සිටින ග්‍රාමසේවක මහත්මයා වෙතට බාර දෙන්නකෝ.

3. හදිස්සියට කෑමක් උයාගන්න ඉගෙන ගන්න:-ලංකාවේ තරුණයෝ බහුතරයක් තවමත් තමන්ගේ කෑම එක මේසේ මතට තමන්ගේ අම්මලා ගෙනල්ලා දෙනකම් බලා ගෙන ඉන්නවා. හවසට පන්ති, වැඩට එහෙම ගිහින් ඇවිල්ලා කුස්සියෙන් ඇතුලට එබිලා “අද මොනාද කන්න තියෙන්නේ?” කියලා අහපු අවස්ථා, ඔබ ලාංකිකයෙක් නම් ඔබට නැති වෙන්නට විදිහක් නැහැ. එහෙත් කීයෙන් කී දෙනාද “ අම්මට උදව්වක් එහෙම ඕනෙද?” කියලා අහන්නේ කියන එක නම් ප්‍රශ්නයක්.

අම්මලත් කවදාවත් එහෙම තමන්ගේ දරුවන්ගේ උදව් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම උදව් ගත්තම ඔවුන්ට පාඩම් වැඩ කරන්න තියෙන වෙලාව අඩු වෙනවා කියලා හිතලා. හැබැයි දරුවන්ව මෙහෙම හදලා ඔවුන් අසරණ වෙන්නේ තනියම අධ්‍යාපනය ලබන්න පිට රටකට හෝ දුර බැහැරකට ගියවිට, එවිට සිහිවේවි, අම්මාට උදව්වක් නොදීමේ, තනිවම කෑමක් උයා ගන්නට නොහැකි වීමේ අවාසිය. අන්න ඒ නිසා ගෙදර සිටින මේ කාලේ හැමදාම උයන අම්මා වෙනුවෙන් ඔයා කෑම වේලක් හදන්න උත්සහ කරලා, එයාගෙන් කොමෙන්ට් එකක් ගන්න උත්සහ කරන්න. එක හරි කදිම රසවත් අත්දැකීමක් වේවි.

මේක කොතනින් හරි පටන් ගන්න ඕනේ නිසා අනිවා අපි ඔයාට පොඩි හෙල්ප් එකක් දෙන්නම්. මුලින්ම පොඩි පොඩි පහසු කෑම හදන්න පටන් අරගෙන පස්සේ ටිකක් සංකීර්ණ එව්වා වෙතට ගියා නම් ඔය උයන පිහන වැඩේ හරි ආතල් එකක් වෙන්නේ ඔයාටත් නොදැනීමයි.

4. ඉපැයීම ආරම්භ කරන්න හොඳම කාලේ

ඉස්සර වගේ නෙවෙයි දැන් අර්ධකාලීන රැකියාවක් එහෙම හොයාගන්න එක එච්චර අපහසු වෙන්නේ නැහැ. මොකද වර්තමානයේ විවිධ සමාගම් පෙරට වැඩිය තරුණ හැකියාවන් ගැන විශ්වාසය තබන නිසා.ඒ වගේම ඔබට පුළුවන් බොහොම පහසුවෙන්ම ස්වයං රැකියාවක් හෝ තමන්ටම කියලා පොඩි freelance බිස්නස් එකක් ආරම්භ කරන්නත්. අනික් අතට රැකියාව ආරම්භ කරනකොට හෝ ඔයාගෙම බිස්නස් එකක්, ස්වයං රැකියාවක් කරනකොට ලැබෙන්නේ උපයන්නේ බොහොම අඩු මුදලක් වුනත්, උසස් පෙළින් පසුව නිකං ගෙදරට වෙලා ඉන්නවට වඩා, අඩුගානේ තමන්ගේ එදිනෙදා වියදම් වලට වත් මුදල් ගෙදරට කරදර නොකර හොයාගන්නට හැකියාවක් තියෙනවා නම් හරිම වටිනවා නේද?

5. ඒ එක්කම බැංකු ගිණුමකුත්!!

මේ වගේ මුදල් හම්බු කරලා ඒ මුදල් මාසේ අන්තිම වෙනකොට සතේට හිඳෙන්න වියදම් කරන එක නෙවෙයි දක්ෂ කම. තමන් උපයන මුදලෙන් කොටසක් තමන්ගේ ඉතුරුම් විදියට තියාගන්න එකයි. ඔයා දැනටමත් පාසල් ගිණුම් පොත් හිමියෙක් නම් ඉතුරු කරනවා කියන්නේ තවදුරටත් රොකට් සයන්ස් නොවෙන බව දන්නවා ඇතිනේ.ඒ වගේම තමන් ඉතිරි කරන හෝ උපයන මුදලෙන් කොටසක් තමන්ගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ගිණුමක ඉතුරු කරගන්නට හැකියාවක් තියෙනවා නම් කිසිම ගැටළුවක් නැතිව ඔබට අනාගතය ගැන පියවරක් ගන්නට හොඳ ආරම්භයක් තියන්න හැකියාව තියෙනවා. වැඩිය උවමනා නැහැ. උපයන මුදලෙන් 10% ක් ඉතුරු කරන්න පටන් ගන්න. ලොකු මුදලක් නොවෙන්න පුළුවන්, එහෙත් කාලයත් එක්ක මුදල් ටිකෙන් ටික එකතු වෙලා ගිණුම තර වෙනකොට ඒ සතුට අමුතුම එකක් බව ඔයාට දැනෙන්නට ගනීවි. ලාබාල තරුණ අවධියේම ගිණුමක් ඇරඹීම මගින් කල්යත්ම වැඩිවන පොලී සහ ඉතුරුම් වල වාසියද ඔබටම තමයි හිමිවන්නේ.

6. 10 කිව්වොත් 10 තමා

වෙලාවට වැඩ කරනවා කියන්නේ, ඔබ අනෙකාට ගෞරව කරනවා කියන එකට යොදන තවත් වචනයක්. වැඩිදුරටත් මේ කාරණාව පැහැදිලි කරනවා නම්, කුමක් හෝ හමුවීමක් යොදාගෙන ඔබ කෙනෙකුට 10ට හමුවිය යුතුයි කියා කතා වුනා නම්, ඔබ කෙසේ හෝ 10ට ඔවුන්ව හමුවන්න හිතට ගන්න. වෙලාවක් කිව්වා නම් වෙලාවට හමුවෙන එක හොඳ හිත දිනාගැනීමේ එක ක්‍රමවේදයක් බව මෙතැනදී නොකියා ම බැහැ.එහෙම වෙලාවට වැඩ කරන එකේ වාසියක් තියෙනවා ඒ තමයි, කෙනෙක් ඔබ ගැන තියන විශ්වාසය වැඩිවීම. ඔබට භාරදෙන වැඩේ මොකක් වුනත් මේ මනුස්සයා වෙලාවට වැඩ කරන කෙනෙක් නිසා ඒ දේ නියමිත විදියට වෙලාවට භාරදේවී කියන විශ්වාසය ඔවුන් තුල වැඩේවි. වෙලාවට වැඩ කිරීම වගේම නිවැරදිව විශ්වාසනීය ආකාරයට තමන් කරන කටයුත්ත නිම කිරීමටත් මේ අවධියේ සිටම පුරුදු පුහුණු වීම ඉතා වැදගත්. එය ඔබේ අනාගත වෘත්තීයමය ජීවිතයටත් ධනාත්මක අයුරින් බලපාන සාධකයක් වනු නොඅනුමානයි.

7. ඔබේ විලාසිතාව ඔබම තනාගන්න

තමන්ගේ ජීවිතේ තුන්වෙනි දශකය පහු කරන ගොඩක් අපේ මිතුරන් මේ වෙනකොට තමන් පිලි පදින්නට උවමනා වෙන්නේ මොන වගේ මෝස්තරද, පිරිසිදුකම් මොනවාගේද කියන ගැටලුවට මුහුණ දෙනවා. එහෙම වෙන්නේ අපි මේ කියන කාලෙදි මේ ගැලපෙන විලාසිතාවලට අවධානය යොමු නොකිරීම නිසයි.

අපි අපේ උසස්පෙළ අවසාන වූවායින් පසුව 20 වැනි වියට පා තබන කොට ම අපිටම අනන්‍ය එහෙත් අනෙකාට ඔබව විහිළුවක් බවට පත් නොවන විලාසිතාවක් හොයාගෙන අනුගමනය කිරීම අනිවා උත්සාහ කල යුතු දෙයක්. විලාසිතා කියන දේ ඔබට නොගැලපෙනවා කියලා හිතෙනවා නම් අඩු ගානේ පිරිසිදු ඇඳුමින් සැරසිලා, බොහොම පිළිවෙලට, සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින්නට පුලුවන්නම්, ඒ තරම් තවත් විලාසිතාවක් වෙන කොයින්ද?ඒ වගේම කවුරුත් කරන විලාසිතා වැරදි සම්බන්ධයෙන් දැනුවත්වෙලා තමන්ටම කියලා අනන්‍යතාවක් සොයා ගන්නට පුලුවන්නම් කිසි අවුලක් නැතිව ඔයාව අඩු වයසින් වුනත් සමාජයේ කැපිලා පෙනෙන්නට පටන් ගනීවි.

8. රටේ තොටේ සංචාරේ:-මේ කාලය බොහොම නිදහසේ ඉන්න කාලයක් ඉතින් එහෙම කාලෙක තමන්ගේ යාලු මිත්‍රයෝ ටිකත් එක්ක එකතු වෙලා තමන් බලන්න යන්නට හිටපු තැන් වල යන්න එහෙම හොඳම කාලේ තමා මේක. මොකද තව ටික කාලෙකින් ඔයා වැඩිදුර අධ්‍යාපන සහ රැකියා ලෝකේ අභියෝග වලට මුහුණ දෙන්න පටන් ගන්නකොට සමහර වෙලාවට මේ සඳහා වෙලාව ඉඩ නැතිවෙන්නත් පුලුවන්. ඉතින් මෙන්න මේ නිසා, කාලය අපතේ යවන්නේ නැතුව ඔයා කැමති කැමති තැන්වල තමන්ගේ ආරක්ෂාව තමන් ම රැකගෙන සංචාරය කරන්න, අත්දැකීම් ලබන්න පසුබට වෙන්න එපා.

9. අලුත් බසක් ඉගෙන ගන්ට

ලාංකිකයින්ට දෙවැනි භාෂාවක් විදිහට ඉංග්‍රීසි භාවිතා වුනත් තවමත් බහුතරයකගේ ව්‍යාකරණ සහ වාග් කෝෂය නොදියුණු පවතින බව නම් කියන්නට පුළුවන්. නගරාශ්‍රිත ජීවත්වන තරුණයන්ට සාපේක්ෂව ග්‍රාමීය තරුණ තරුණියන් අතර මේ ගැටලුව වඩාත් වැඩියෙන් දක්නට ලැබෙනවා.ඉංග්‍රීසි දැනුම දුර්වල අයට ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්නටත්, ඉංග්‍රීසි දැනුමින් යුක්ත අයට අලුත් භාෂාවක් ඉගෙනැගනීමටත් මේ හොඳම කාලයක්. එසේ ඉගෙන ගන්නා අලුත් භාෂාව හරහා තමන්ට අලුත් සංස්කෘතියක්, අලුත් ලෝකයක් වගේම සමහරවිට අලුත් රැකියා අවස්ථාත් විවර වෙන බව නම් නොකියාම බැහැ.

10. යහකාර්යයකට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන්න

ඔබ කවදා හෝ ස්වෙච්චා සේවකයෙක් වෙලා ඉඳලා තියෙනවද? එහෙම නැතිනම් මේ තමා හොඳම කාලේ එවැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා අත්දැකීම් ලබන්න. අන්තර්ජාලය තුල පුංචි සෙවුමක් දාලා බලන්න පුලුවන්නම් ලංකාව තුල ක්‍රියාත්මක වෙන එවැනි ව්‍යාපෘති බොහොමයක් හොයාගන්න හැකියාවල් ලැබේවි. එවැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා විවිධ පුද්ගලයින් සමාජ ස්ථර වල මිනිසුන් ඇසුරු කරලා ජීවිතය සහ තමන්ගේ අනාගතයට වැදගත් වෙන අපුරු අත්දැකීම් ගොන්නක් ම ඔබට ජීවිතේට එකතු කරගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *