පිරිමි හයි හීල්ස් දාපු,ටී ෂර්ට් එක යට ඇඳුමක් හැටියට සලකපු අතීතයක් තිබ්බා කියල දන්නවද දන්නෙ නැත්නම් මේක කියවන්න

ඉස්සර අපේ සමහරකගෙ මතයක් තිබ්බනෙ ඉංගිරිස් කතාව බැරිනම් කලිසන් අඳින්න ඔට්ටු නෑ කියලා. ඔන්න අපිනම් ඒ වගේ කතා අනුමත කරන්නෙ නැහැ කියල මුලින්ම කියන්නෝනෙ. කලිසම්, සරොං, මිනි ස්කර්ට් බැරිනම් වෙන ඕනෑම ඇඳුමක් තැනට සහ තමන්ගේ ඇඟට පතට ගැලපෙන විදිහට තෝරගෙන ඇඳගෙන යනවට අනිවා අපේ කිසි විරෝධතාවයක් නැහැ ඕං. හැබැයි එකක්. ඉංගිරිස් දැන නොගත්තත්, අඩුම තරමේ අපි ඇඳන් යන ඇඳුම් කෑල්ලක ඉතිහාසේ ගැන එහෙම පොඩ්ඩක් දැන කියාගත්තට වරදක් හෙම නැහැ නෙව. අන්න ඒ නිසා අපි මේ ගෙන එන්නේ අපි කවුරුත් දන්න කියන ඇඳුම් පැළඳුම් විලාසිතා කීපයක් මේ ලෝකෙට පහලවුණ හැටි ගැන තමයි.

1. ටී ෂර්ට් – යට ඇඳුමක් හැටියට පටන්ගෙන මාලන් බ්‍රැන්ඩෝ හරහා ප්‍රසිද්ධියට

ටී ෂර්ට් හොයාගෙන නැති ලෝකයක් ගැන හිතාගන්නවත් පුලුවන්ද? කොල්ලන්ට වගේ කෙල්ලන්ටත්, සරල විදිහට වගේම පොෂ් විදිහට ෆැෂන් කරන අයටත් නැතිවම බැරි ඇඳුමක්නෙ ටී ෂර්ට් එක කියන්නෙ. මේ වෙද්දි ලෝකේ ජනප්‍රියම ඇඳුමක් උනාට මොකද ටී ෂර්ට් එකට එච්චර දීර්ඝ ඉතිහාසයක් නම් නැහැ. ඔය පරණ බටහිර චිත්‍රපටි එහෙම බලනකොට ඔයාල දැකල ඇති කලිසමයි කමිසෙයි එකට යාවුන විහිලුසහගත පෙනුමක් තියන යට ඇඳුමක්. “යුනියන් සූට් (Union Suit)” කියන නමින් හඳුන්වපු මේ ඇඳුම හරහා තමයි ටී ෂර්ට් එකේ බිහිවීමට පදනම වැටෙන්නෙ. යුනියන් සූට් එකේ උඩුකය කොටස බොත්තම් රහිතව, ශරීරයට සුවපහසු, සැහැල්ලු සහ ඇදෙනසුලු රෙද්දකින් නිර්මාණය කරල තමයි ටී ෂර්ට් එක නිමවෙන්නෙ. හැබැයි මේක මුලින්ම හඳුන්වාදෙන්නෙ “Bachelor Undershirts” නැමැති පිරිමි යට කමිසයක් හැටියටයි. Bachelors එහෙමත් නැත්නම් තනිකඩ පිරිමින්ට බොත්තම් සහ ඉරුණු තැන මහන්න එච්චර පුරුද්දක් නැති නිසයි ටී ෂර්ට් එක ඒ විදිහට වෙළඳපොලට එන්නෙ.

මේ තියෙන්නේ ඒ මුල්ම ටී ෂර්ට් දැන්වීම.

මේ විදිහට වෙළඳපොලට ආපු යට කමිසවල විශාලම ගැණුම්කරුවා වෙන්නෙ ඇමරිකානු නාවික හමුදාවයි. නාවික සෙබලුන්ගෙ නිල ඇඳුමට යටින් අඳින්නට යොදාගත්ත ටී ෂර්ට් එක පස්සෙ කාලෙක කම්කරුවන් අතරත් ප්‍රචලිත වෙලා තියනව. ගොවීන්, පතල්කරුවන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරුවන් වගේ විශාල පිරිසක් අතරත් මේ සැහැල්ලු කමිස හරි හරියට භාවිතාවට ගැනෙනව. මේ කමිස වර්ගය ටී ෂර්ට් නමින් හැඳින්වෙන්න පටන් අරන් තියෙන්නෙ 1920 ගණන් වලදීයි. කොහොම වෙතත් යට ඇඳුමක් හැටියට වඩාත් පිලිගැනීමක් තිබ්බ ටී ෂර්ට් එක බාහිර විලාසිතාවක් හැටියට ලෝ පුරා ප්‍රචලිත කරන්න වැඩිම මෙහෙවරක් කලේ මාලන් බ්‍රැන්ඩෝ කියල කියන්න පුළුවන්. 1951 දී තිරගත වෙච්ච “A Streetcar Named Desire” චිත්‍රපටයේ ඔහු ටී ෂර්ට් වලින් සැරසිලා කරපු රංගනයන් නිසා එවක ටී ෂර්ට් අලවිය දැවැන්ත විදිහට ඉහල යන්නටත්, විවිධ මෝස්තර සහ වර්ණයන්ගෙන් යුතු ටී ෂර්ට් බිහිවෙන්නටත් අඩිතාලම වැටුණා කියලයි කියන්නෙ.

2. අඩි උස සපත්තු (High Heels) – මුලින්ම පිරිමි තමයි මේව දැම්මෙ

දැන් කාන්තා විලාසිතාවක් හැටියට හැඳින්වුනාට මොකද දුර ඈත අතීතයෙදි නම් අඩි උස සපත්තු වැඩිපුරම දාල තියෙන්නෙ පිරිමි තමයි. ක්‍රි. පූ 3500 වගේ ඈත අතීතයකට දිවයන පුරාණ ඊජිප්තු බිතු සිතුවම් වල පවා අඩි උස සපත්තු පැළඳගත්ත වංශවතුන්ව දකින්න ලැබෙනව. ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර වලත් අඩි උස සපත්තු ප්‍රසිද්ධ වෙලා තියනව. මුල් කාලෙදි නම් විලාසිතාවකට වඩා එදිනෙදා කටයුතු වලදි ප්‍රායෝගිකව වැදගත් වෙන විදිහට තමයි මේ සපත්තු පැළඳගෙන තියෙන්නෙ. මස් මරන්නන්නට සතුන්ගේ මළසිරුරු සහ ලේ කකුල් වල නොගෑවී වැඩ කරන්න, දුනුවායන්ට වැඩි උසක ඉඳන් පහසුවෙන් එල්ලය ගන්න, නළුවන්ට ප්‍රේක්ෂකයන් ඉදිරියේ කැපිල පේන්නට මේ අඩි උස සපත්තු උදවු වෙලා තියනවා. මීට අමතරව වංශවතුන් තමන්ගේ උසස්කම ප්‍රදර්ශනය කරන්නත් අඩි උස සපත්තු දාල තියනවා. හැබැයි කාන්තාවන් අතරේ අඩි උස සපත්තු වැඩිපුරම ප්‍රචලිත වෙන්න අරන් තියෙන්නෙ එක්දාස් හයසිය ගණන්වල විතර. ඒ කාලෙ වෙද්දි බොහොමයක් යුරෝපීය කාන්තාවො ‘ශක්තිමත්’ පෙනුම මතුකෙරෙන විදිහේ විලාසිතා සහ හැසිරීම් රටා අනුගමනය කරන්න පටන් අරගැනීමයි ඊට හේතුව. මේ ප්‍රවණතාවයත් එක්කම පිරිමින් වගේ කොණ්ඩය කොටට කපන්න, දුම් පානය කරන්න වගේම අඩි උස සපත්තු පැළඳගන්නටත් කාන්තාවො යොමු වෙලා තියනව. කාන්තාවො එන්න එන්නම අඩි උස සපත්තු පළඳින්න පටන් ගැනීමත් එක්ක තවදුරටත් උස සපත්තු වලින් තමන්ගෙ තත්ත්වෙ පෙන්නන්න බැරිවෙන පිරිමි මේ විලාසිතාව අතහරිනව. ඊට කාලෙකට පස්සෙ කාන්තාවන් අතරිනුත් අඩි උස සපත්තු විලාසිතා මැකිල යනව.

කාලයක් තිස්සේ විලාසිතා ලෝකෙන් ඈත්වෙලා තිබුණ අඩි උස සපත්තු වලට ආයෙත් කාන්තාවන්ගෙ ඇඳුම් පැළඳුම් අතරට එන්න අවස්ථාව උදාවෙන්නෙ අසභ්‍ය ප්‍රකාශන (Pornography) හරහා තමයි. 19 වැනි සියවසේ මැද භාගෙදි අඩි උස සපත්තු පැළඳගත් නිරුවත් කාන්තාවන්ගෙ ජායාරූප තිබ්බ තැපැල්පත් පැතිරීයාමත් එක්ක ක්‍රම ක්‍රමයෙන් ආයෙමත් අඩි උස සපත්තු කාන්තා ලෝකෙ ආක්‍රමණය කරන්න පටන් අරගෙන තියෙනවා.

3. මිනි ස්කර්ට් – මිනි කූපර් ලෝලියෙක් සොයාගත්ත මිනි ස්කර්ට් එක

60/70 ගණන්වලදි ලෝකෙ පුරාම රැල්ලක් ඇතිකල, ලංකාවේත් ජනප්‍රිය වුණු මිනි ඇඳුම් ගැන තමයි මේ කියන්න යන්නෙ. මිනි ස්කර්ට් නමින් හඳුන්වන කෙටි සායවල් 60 දශකයේදි විතර ඉහල ජනප්‍රියත්වයක් ලැබුවත්, ක්‍රි. පූ 5400-4700 අතර කාලයකට අයත් කියල සැලකෙන මිනි සායවල් ඇඳගත් ඉපැරණි පිළිම යුරෝපයෙන් හමුවෙලා තියනව කියලත් තියනව. කොහොම උනත් 1960 ගණන් වලට කලින් 1920 ගණන් වෙනකොටත් යුරෝපයේ කාන්තාවන්ගෙ සායවල් ක්‍රමයෙන් කෙටි වෙන්න පටන් අරගෙන තියනවා. 1950 ගණන් වෙද්දි බිහිවෙච්ච අනාගත කාල විද්‍යා ප්‍රබන්ධ ටෙලි චිත්‍රපට වල එහෙමත් ඉතාම කෙටි මිනි සායවල් ඇඳගත්තු නිළියො චරිත නිරූපණය කරල තියනව. හැබැයි මේක මිනි ස්කර්ට් නමින් ජනප්‍රිය විලාසිතාවක් වීම ඇරඹෙන්නෙ 60 ගණන් වලදි තමයි.

60 දශකය වෙද්දි තරුණ කාන්තා පරපුර මිනිගවුම් සහ මිනි සාය විලාසිතා අනුගමනය කරන්න ගන්නෙ විලාසිතාවකටත් වඩා දේශපාලනික අදහසක් ප්‍රකාශ කරන්නට කිවුවොත් වැරදි නැහැ. දෙමවුපියන්ගේ නීති රීති සහ සමාජ සම්ප්‍රදායන්ගෙන් කොටු වෙලා, පිරිමින්ට වඩා වෙනස් විදිහකට සැලකුම් ලබන කාන්තා ප්‍රතිරූපය අභියෝගයකට ලක් කරන්නටත්, කාන්තා නිදහස වඩ වඩාත් දිනාගන්නටත් කාන්තාවො පෙරට ආපු මේ කාලෙ කෙටි ඇඳුම් විලාසිතා ඒ අයගෙ නිදහස සංකේතවත් කරන එක අංගයක් වෙන්න සමත්වුණා. මේ කාලෙ හිටපු මෝස්තර නිර්මාණ ශිල්පිණියක් වෙච්ච මේරි ක්වන්ට් (Mary Quant) අලුතින් බිහිවුණ නිදහස්කාමී කාන්තාවන්ට ගැලපෙන ඇඳුම් විලාසිතා නිර්මාණය කරන්න උත්සාහ කල තැනැත්තියක්. දණහිසටත් වඩා අඟල් කීපයක් කෙටිවූ ඇඳුම් නිර්මාණය කරන්නට පටන් ගත්ත ඇයට තමයි මිනි සාය නිර්මාණය කිරීමේ වැඩි ගෞරවය හිමිවෙන්නෙ. මේරි ක්වන්ට් මිනි කූපර් කාර් වලට දැඩි කැමැත්තක් දක්වපු නිසාවෙන් ඇගේ සාය විලාසිතාව මිනි ස්කර්ට් නමින් හැඳින්වුවා කියලයි කියන්නෙ.

4. ඩෙනිම – ජනප්‍රියම විලාසිතාවක් වූ කම්කරුවන්ගේ කලිසම

ඩෙනිම් රෙද්දෙන් මහපු ජීන් එක. එහෙමත් නැත්නම් ඩෙනිම කියල හඳුන්වන කාන්තා පිරිමි දෙපාර්ශවයේම ජනප්‍රියම විලාසිතාව ගැනයි මේ කතාව. සර්ජේ ඩි නිම්ස් (Serge de Nîmes) කියන ප්‍රංශ නමින් කැඩිල ආපු ඩෙනිමට ඒ කාලේ එතරම් තැනක් තිබිල නැහැ. මේක දුප්පත් කම්කරුවන්ගේ ඇඳුමක් හැටියට තමයි සැලකුණේ. ඇත්තටම ඩෙනිම් කලිසම බිහිවෙන්නෙත් හරිම අපූරු විදිහකට තමයි.

1870 ගණන් වල නේවාඩා වල හිටපු ඇඳුම් මහන්නෙක් වන ජේකබ් ඩේවිස්ව හම්බුවෙන්න එන කාන්තාවක් ඔහුගෙන් අපූරු ඉල්ලීමක් කරනවා. ඇය ඉල්ලන්නෙ කම්කරුවෙක් වන ඇගේ සැමියාට වැඩ පල කරද්දි අඳින්න ඉරෙන්නෙ, ගෙවෙන්නෙ නැති සවි ශක්තියෙන් යුක්ත කලිසමක් මහල දෙන්න කියලයි. මේ ඉල්ලීමට අනුව ඩෙනිම් රෙද්දකින් කලිසමක් මහල නිමකරන ඩේවිස් සාක්කු වඩාත් ශක්තිමත් කරන්න කියල තමන් ගාව තිබුණ රිවට් ඇණත් ඒවට යොදනව. මේ විදිහට නිර්මාණය කරපු ඩෙනිම් කලිසම ගැන ආරංචි පැතිරිලා වැඩි කාලයක් යන්න කලින් බරපතල වැඩ වල නිරතවෙන බොහෝ කම්කරුවන් මේ විදිහෙ කලිසම් මහගන්න ඩේවිස් ගාවට එනව. එන්න එන්න වැඩිවෙන ඉල්ලුමත් එක්ක තමන් මැහුවෙ එසේ මෙසේ ඇඳුමක් නෙමෙයිය කියල තේරුම් ගන්න ඩේවිස් කරන්නෙ තමන් ඩෙනිම මහන්න රෙදි සහ ඇණ මිලදීගත්ත ස්ට්‍රවුස් සමාගමත් එක්ක එකතුවෙලා මේකට පේටන්ට් ගන්න එක. ස්ට්‍රවුස් සහ ඩේවිස්ගේ එකතුවෙන් යුතුව ඇරඹිලා ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රියතාවයේ හිනි පෙත්තටම යන්න ඩෙනිම සමත්වෙනවා. කම්කරුවාගේ ඇඳුමක් හැටියට ඇරඹිලා, පස්සෙ කාලෙකදි ලෝ ප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ අතටත් යන ඩෙනිම පරම්පරා ගණනාවක් තිස්සේ තාරුණ්‍යයේ ජනප්‍රියම කලිසම් විලාසිතාව බවට පත්වෙලා ඉවරයි.

5. තනපටය – ලේන්සු දෙකක් එකට මැසීමෙන් නිර්මාණය කරපු නවීන තනපටය

මීට අවුරුද්දකට දෙකකට කලින් ලංකාවේත් රැළිසුලි නංවාපු ඇඳුමක්නෙ තනපටය කියන්නෙ. ඉතින් අපි ඒකෙ ඓතිහාසික කරුණු කාරණාත් දැනගෙන ඉන්න එකේ වරදක් නෑ. ලෝකයේ තනපටයක් ගැන තියන පැරණිම සාක්ෂිය හම්බුවෙන්නෙ ග්රීසියේ ක්රීට් දූපතේ බිතු සිතුවමකිනුයි. ක්‍රි.ව. 4 වැනි සියවසේ මිනෝවන් ශිෂ්ටාචාරයේ කාන්තා ක්රීඩිකාවන් පිරිසක් තමයි මේ තනපට ඇඳගෙන ක්රීඩා කරන සිතුවමේ සටහන් වෙලා තියෙන්නෙ. ඒ විදිහට ගත්තහම දැනට හමුවෙලා තියන පැරණිම තනපටය ස්පෝර්ට්ස් බ්රා එකක් කියල හඳුන්වන්න පුලුවන්. පස්සෙ කාලෙකදී, ඒ කිවුවේ 1500 ගණන් වගේ වෙද්දි බටහිර රටවල ඉහල සහ මධ්යම පාන්තික කාන්තාවො අතර තනපටය වෙනුවට පාවිච්චි වුණේ කෝර්සෙට් එක තමයි. කාන්තා පපුව උලුප්පා දක්වල ශරීරයේ හැඩය ඉස්මතු කරන්න භාවිතාවෙච්ච මේ ඇඳුම නිසා කාන්තාවන්ට විවිධ අපහසුතා සහ ආබාධ වලට මුහුණ දෙන්නට අවදානමක් තිබුණත්, කෝර්සෙට් භාවිතාවේනම් අඩුවක් වෙන්නේ නැහැ.

මේ අතරේ 1910 අවුරුද්දෙදි උත්සවයකට යන්න ලකලෑස්ති වන මේරි ෆෙල්ප්ස් ජේකබ්ස් කියන තරුණියකට හරිම අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උත්සවේකට යන්න කියල තෝරාගන්නා දුහුල් ගවුමට යටින් අඳින කෝර්සෙට් එක ඉලිප්පී පෙනීම නිසා ඇගේ ඇඳුම අවලස්සන වෙනවා කියල ඇයට හිතෙනවා. මේකට පිළියමක් හැටියට ඇය කරන්නෙ ඇගේ මෙහෙකාරියගෙත් උදවු ඇතිව ලේන්සු දෙකක් සහ රිබන් එකක් ආධාරයෙන් තනපටයක් නිර්මාණය කරගන්න එක. කෝර්සෙට් එක වෙනුවට මේ තනපටය ඇඳගෙන අදාල උත්සවේට ගිය ඇයගේ ඇඳුම සහ තනපටයට උත්සවයේ සිටි කාන්තාවන් රැසකගේ අවධානය යොමුවීමත් එක්ක ඒ අයටත් මේ විදිහේ තනපට මහන්නට ඇයට පැවරෙනවා. ඒ ලැබුණු ජනප්‍රියතාවය කෙළවර වෙන්නේ මේරි විසින් 1914 අවුරුද්දේදී ඇගේ තනපට නිර්මාණයට පේටන්ට් ලබාගැනීම මගිනුයි. ඒ වෙද්දි වෙළඳපොලේ වෙනත් තනපටත් තිබුණත්, මේරිගේ නිර්මාණයේ තිබ්බ පිටුපස නිදහස් සැහැල්ලුකම නිසා වඩාත්ම ජනප්‍රියත්වයට පත්වන්නේ එයයි.

මේරි විසින් හොයාගත්ත තනපටයේ වෙළඳාම ඉහල යන්න තවත් අමුතුම කාරණයක් ඉවහල් වෙනවා. පළවෙනි ලෝක යුද්ධය ඇවිලීගෙන යද්දි 1917 දී ඇමරිකාවේ උග්‍ර ලෝහ හිඟයක් ඇතිවෙනවා. යුද්ධ කටයුතු වලට ලෝහ අවශ්‍ය නිසා එරට රජය විසින් කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරනවා ලෝහ වලින් සාදන කෝර්සෙට් මිලදී ගන්න එකෙන් වැළකෙන්න කියල. මේ කතන්දර අස්සේ දෙවැනි ලෝක යුද්ධය නිමාවෙන කාලෙ වෙනකොට කෝර්සෙට් අලවියත් නැත්තටම නැතිවෙන තත්ත්වෙට පත්වෙලා තියෙන්නෙ සැහැල්ලු තනපටයට වෙළඳපොලේ ජයග්‍රහණය හිමිකර දෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *