ලංකාවේ එල්ලුම් ගස් ගිය දරුණු අපරාධකාරයෝ, අහිංසකයෝ සහ නූලෙන් බේරුණ වාසනාවන්තයෝ

පි අද උත්සාහ කරන්නෙ එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුද නැතිද කියන කාරණය ගැන සාකච්ඡා කරන්න නෙමෙයි. වසර 40කින් පමණ ක්‍රියාත්මක නොවුණු එල්ලුම් ගසට නියමවුණු පුද්ගලයින් කිහිප දෙනෙක් ගැන නොදත් කරුණු ඔබ වෙතට ගෙන එන්නයි.

ලංකාව භීතියට පත්කල අපරාධකරුවන් වගේම නිරපරාදේ පළිගැනීම්වලට ලක්ව එල්ලුම් ගස් ගිය අයද, වාසනාව නිසා අන්තිම මොහොතේ එල්ලුම් ගසෙන් ගැලවුණ කිහිප දෙනෙක්ද මේ ලයිස්තුවට ඇතුළත් වෙනවා.

1. මරුසිරා

එල්ලුම් ගහ කිවුවම හුඟ දෙනෙකුගෙ මතකයට මුලින්ම නැගෙන නම තමයි මරු සිරා. මරු සිරා කියල හැඳින්වුවත් ඔහුගේ සැබෑ නම තමයි ඩී.ජේ. සිරිපාල. “සිරිපාල සහ රන්මැණිකා” සහ “මරුවා සමග වාසේ” කියල චිත්‍රපටි දෙකකටම පාදක වෙන්න තරම් සිදුවීම් වලින් පිරි ජීවිතයක් ගත කරපු සිරිපාලගෙ මරණයත් ඔහුගේ ජීවිතය තරම්ම ආන්දෝලනාත්මකයි.

අසාධාරණයට එරෙහිව නැගී සිටින “හොඳ හිතකින්” යුක්ත පුද්ගලයෙක් හැටියට සිරිපාල දන්නා හඳුනන අය අතර ප්‍රසිද්ධයි. නරක ආශ්‍රය නිසා වැරදි මඟට යොමුවන සිරිපාල දිවයිනේ නමගිය අපරාධකරුවෙක් සහ මිනීමරුවෙක් බවට පත්වනවා. අවසානයේ 1975 වර්ෂයේ අගෝස්තු 5වැනිදා ඔහුට පෝරකය උරුමවනවා.

කොතරම් ප්‍රචණ්ඩත්වයෙන් පිරි ජීවිතයක් ගත කලත් සිරිපාල මරණ දඬුවමට ඉමහත් බියක් දැක්වූ පුද්ගලයෙක් ලෙසටයි සඳහන් වන්නේ. සිරමැදිරියේදී ලැබෙන නිදිපෙති හොරෙන් එකතු කරගෙන එල්ලා මැරීමට පෙර දින එකවර පානය කරන සිරිපාල මරණ දඬුවම දෙන මොහොත වනවිට මියගොස් සිටි බව කියැවෙනවා.

එල්ලුම් ගසට ගිය පුද්ගලයෙක්ගේ සිරුරක් ගොඩගෙන අධිකරණ වෛද්‍යවරයෙක් විසින් පරික්ෂා කරන ලද එකම අවස්ථාව ලෙසට සැලකෙන්නේද සිරිපාලගේ මළසිරුරයි.

2. කැළැත්තෑවේ ඇල්ෆ්‍රඩ් සොයිසා

ලංකාවේ අපරාධ ගැන උනන්දුවක් ඇති අයෙකුනම් කැලැත්තෑවේ ඇල්ෆ්‍රඩ් සොයිසා ගැන අසා ඇතිවාට සැකයක් නැහැ. විදෙස්ගතව වෛද්‍ය විද්‍යාව හදාරා නැවත ලංකාවට පැමිණෙන ඇල්ෆ්‍රඩ් සොයිසා අනුරාධපුර ප්‍රදේශයේ නමගිය වෛද්‍යවරයෙක් බවට පත්වෙනවා. රෝගීන්ට ප්‍රතිකාර කරන අතරතුර තුවාල ලද නීති විරෝධී අපරාධකරුවන්ටද රහසේම ප්‍රතිකාර කරන සොයිසා ඔවුන් හා සමීප සම්බන්ධතා ගොඩනගාගන්නවා. මත්පැන් ව්‍යාපාරයට යොමුවෙන්නත් විවිධ නීති විරෝධී අපරාධ රැසක් මඟින් බලවත් අපරාධකරුවෙක් බවට පත්වෙන්නත් සොයිසාට මඟ පෑදෙන්නේ මේ හිතවත්කම් මඟින්.

සොයිසාට පෝරකය උරුම වන්නේ කැළැත්තෑවේ මිනීමැරුම් නමින් ලංකාව පුරා ප්‍රසිද්ධියට පත් පී.කේ.ඩී පෙරේරා සහ ජුලියන් සන්ද්‍රසාගර යන අයගේ මිනිමැරුම් වලට වරදකරු වීමෙන්. සොයිසාගේ සේවකයින් දෙදෙනෙක් වූ මොවුන් දෙදෙනාව ඝාතනය කරන්නේ වැටුප් පිළිබඳව ඇතිවූ ආරවුලක් නිසාවෙන්. මේ ගැන සොයාබලන රහස් පොලීසිය විසින් සොයිසාගේ තවත් අපරාධ රැසක්ම එළිදරවු කරගනු ලබනවා.

ඝාතනය කල අයගේ මෘත ශරීරයන් නොමැතිව මිනීමැරුමක් අධිකරණයදී ඔප්පු කල දුර්ලභ අවස්ථාවක් ලෙසටත් මේ කැළැත්තෑවේ මිනීමැරුම් හඳුන්වනවා.

ධනය බලය යොදාගෙන නීතියේ රැහැනිනුත් එල්ලුම් ගසෙනුත් ගැලවීමට කල සියලු උත්සහයන් ව්‍යර්ථ කරමින් 1971 ජනවාරි 5දා සොයිසාව එල්ලා මරණු ලබනවා. මරණයට බියෙන් අවසාන කාලයේ යාඥා කරමින් ගත කරන සොයිසා සිය කතෝලික ආගමික ගීතිකා ගයමින් පෝරකය වෙත ගිය බව පැවසෙනවා.

3. තල්දූවේ සෝමාරාම

බණ්ඩාරනායක මහතා අගමැති ධූරයට පත්වීමත් සමග එතුමා විසින් එල්ලුම් ගහ අත්හිටුවනු ලබන අතර 1959 වසරේදී සිදුවූ එතුමාගේ ඝාතනයෙන් පසු එල්ලුම් ගහට යළි පණ ලැබෙනවා. ඒ බණ්ඩාරනායක අගමැති ඝාතනය කල සෝමාරාම එල්ලා මැරීමට.

කැළණිය විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමිගේ කුමන්ත්‍රණයකට සහය වෙමින් බණ්ඩාරනායක මහතාට වෙඩි තබා ඝාතනය කරන සෝමාරාම එල්ලා මරණු ලබන්නේ 1962 ජුලි 6 වැනිදායි. බෞද්ධ හිමිවරයෙක් වශයෙන් හිඳිමින් බණ්ඩාරනායක ඝාතනයට හවුල් වන සෝමාරාම එල්ලුම් ගසට යන්නේ කිතු දහම වැළඳගත් අයෙකු ලෙසටයි.

සෝමාරාමව කිතුනු ආගමට හැරවූ පුද්ගලයා හැටියට සැලකෙන්නේ පසුකාලෙකදී ලංකාවම හෙල්ලූ ඝාතනයක් කරන මැතිවු පීරිස් පියතුමා විසින් යැයි පැවසෙනවා. එකල මරණීය දණ්ඩනයට නියම වූවන්ට ආගමික දේශනා පැවැත්වීමට පැමිණෙන පූජකයා වූ මැතිව් පීරිස් පියතුමාටද පසුකලෙක මරණ දඬුවම හිමිවීමත් ඉතාම දෛවෝපගත සිදුවීමක්. කෙසේ නමුත් එල්ලුම් ගස් නොයා දීර්ඝ සිරදඬුවමකට ලක්ව ඔහු නිදහස් වනවා.

4. කහවත්තේ උන්නාන්සේ

පෝරකයට ගිය භික්ෂුව ලෙසට සෝමාරාම ප්‍රසිද්ධියට පත්වුවත් එල්ලුම් ගස මඟින් මරණයට පත්කල පළමු භික්ෂුව වන්නේ සෝමාරාම නොවේ. 1800 ගණන් තරම් ඈතට දිවයන ඒ සිදුවීමට ලක්වන්නේ කහවත්තේ උන්නාන්සේ නම් හිමිනමක්. 1820 ගණන්වලදී ඉංග්‍රීසින්ට විරුද්ධව සිදුකල කැරැල්ලකට දායකත්වය සැපයීම නිසා තමයි කහවත්තේ හිමිට මරණීය දණ්ඩනය නියම වන්නේ.

5. හොඳ පපුවා සහ පී. එම්. ජයවර්ධන- එල්ලුම් ගස් ගිය අවසන් දෙදෙනා

එල්ලුම් ගස දීර්ඝ නිහැඬියාවකට ලක්වීමට පෙර අවසන් වරට වැලිකඩදී එල්ලා මරන ලද පුද්ගලයා වන්නේ හොඳ පපුවා හෙවත් ජේ. ඒ. චන්ද්‍රදාස නැමැති පුද්ගලයායි. සිය බිරිඳ මැරීමේ වරදටයි චන්ද්‍රදාස එල්ලුම් ගසට නියම වන්නේ. 1976 ජුලි 23 වැනිදා ඔහුව එල්ලුම් ගස මඟින් මරණයට ලක්කොට තිබෙනවා.

බෝගම්බරදී අවසන් වරට එල්ලා මරණු ලැබ ඇත්තේ පී. එම්. ජයවර්ධන නැමැති පුද්ගලයෙකුවයි. ඒ එකල රටක්ම කැළඹූ “තිස්මඩ මිනීමැරුම” නමින් ප්‍රසිද්ධියට පත් අපරාධයේ හවුල්කරුවෙක් වීම නිසාවෙන්. 1975 නොවැම්බර් 22දා ජයවර්ධන මරණ දඬුවමට ලක්වෙනව.

6. ඉංගිරියේ කලු අප්පු සහ ඩිංගිරි මැණිකා – එල්ලුම් ගස නියම වූ මුල්ම පුරුෂයා සහ කාන්තාව

ඉංගිරියේ කලු අප්පු සහ ඩිංගිරි මැණිකා ඉතිහාසගත වන්නේ මෙරට පෝරකයට නියම වන පළමු පුරුෂයා සහ කාන්තාව වශයෙනුයි.

1812 පෙබරවාරි 10 දා පෑලියගොඩදී තනන ලද එළිමහන් පෝරකයක තමයි කලු අප්පුව එල්ලා මරණයට පත්කර තිබෙන්නේ. ඉංග්‍රීසීන්ට එරෙහිව නැගීසිටීම තමයි ඔහු කල වරද ලෙසට දක්වා තිබෙන්නෙ.

ඩිංගිරි මැණිකා පෝරකය හිමි වූ පළමු කාන්තාව වුවත් ඒ දඬුවමින් ගැලවීමට ඇය වාසනාවන්තව තිබෙනවා. මරණ දඬුවමට නියම කරන විට ඇය ගැබිණියක් බවත්, ඉන් දෙමසකට පසු එල්ලා මැරීමට නියම කලත් කුඩා දරුවා නිසා අනුකම්පාවෙන් ඇගේ මරණ දඬුවම අවලංගු කර තිබෙනවා.

7. හිතුමතේ ජීවිතේ – ඩී.බී සුමතිපාල

හිතුමතේ ජීවිතේ හෙවත් කළුතර ඩී.බී. සුමතිපාලගේ ජීවිත කථාව චිත්‍රපට කථාවක් වගේ ත්‍රාසජනකයි, විටෙක හද සසල කරන සුලුයි.

අපේ මේ ලයිස්තුවේ සුමතිපාල විශේෂ වන්නේ සිව් වතාවක්ම එල්ලුම් ගසට නියම වී එයින් ගැලවුණු පුද්ගලයෙක් හැටියටයි. මරු සිරා සමග එකට හිරබත් කෑ පුද්ගලයෙක් වන සුමතිපාල එල්ලුම් ගසට නියම වන්නේ සිය නැගණිය මරා දැමූ පුද්ගලයන්ව මරණයට පත් කිරීම නිසා. එල්ලා මැරීම සඳහා ගෙලට තොණ්ඩුවද දමා තිබියදී අග්‍රාණ්ඩුකාරවරයාගේ සමාව ලැබීමට තරම් වාසනාවන්ත වූවෙක් තමයි සුමතිපාල හෙවත් හිතුමතේ ජීවිතේ කියන්නෙ.

8. පොළොන්නරුවේ සුමතිපාල

සුමතිපාල නම සහ වාසනා ගුණය යන දෙක අතර කිනම් හෝ සම්බන්ධයක් තිබේදැයි සිතෙන්නේ පොලොන්නරුවේ සුමතිපාලත්ද සිව් වරක්ම එල්ලුම් ගසට නියමවී බේරුණු අයෙක් වීම හේතුවෙන්.

තමන්ගේ ප්‍රේමයට විරුද්ධ වූ පෙම්වතියගේ සොයුරන් දෙදෙනාව ඝාතනය කිරීම නිසා තමයි සුමතිපාලට මරණ දණ්ඩනය හිමිව තිබෙන්නේ. ඔහුව පළමු වර එල්ලා මැරීමේ දිනය විදෙස් රාජ්‍ය නායකයකුගේ ආගමනයක් නිසා කල් යන අතර දෙවැනි වර එල්ලා මරණ දිනය මහානායක හිමිවරයෙකුට අක්තපත්‍ර ප්‍රදානය කරන ආගමික දිනයක් වීම හේතුවෙන් නැවත කල්ගොස් තිබෙනවා. තුන්වැනි වර නියත මරණය දැක සුමතිපාල සියදිවි නසාගැනීමට උත්සාහ කොට තිබෙනවා.

රෝහල් ගතව නැවත පැමිණෙන ඔහුට සිරිමා බණ්ඩාරනායක මැතිණිය සමයේ ජනරජ දින සැමරුම නිසා මරණ දඬුවමින් නිදහස ලැබෙනවා. පසු කාලයකදී සමාව ලැබ සිරභාරයෙන්ද නිදහස ලබාගන්න සුමතිපාලට වාසනාව ලැබෙනවා.

කෙසේ නමුත් මරණ දණ්ඩනයෙන් කිහිපවරක්ම නිදහස ලැබුවත්, වැඩි කලක් වාසනාව ඔහු හා රැදෙන්නේ නෑ. පසු කලෙක විවාහ වී ඩොලර් ෆාම් ගොවිපොලේ සේවය කරමින් සිටින අතර ඇතිවන කොටි ප්‍රහාරයකින් සුමතිපාල කපා කොටා ඝාතනයට ලක්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *