නිතර නිතර දකින බෝඩ් අපේ අය තේරුම් ගන්න හැටි |

ලංකාවේ අපි වෙනස්. ඒ කියන්නේ ඕනෑම දෙයක හැංගුණු තේරුමක් දකින්න ලංකාවේ අපි දක්ෂයි. මේ කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ අපිට හැංගුණු තේරුම් දෙන ලෝකයේ තියෙන විවිධ සංකේත ගැන.

1. No Smoking

මෙහෙම සාමාන්‍යයෙන් පොදු ස්ථාන වල ගහලා තියෙනවා. කඩවල් වලත් ගහලා තියෙනවා. අපේ සිගරට් එකක් බොන අය්යා කෙනෙක්ට ඕක පේන්නේ පොඩ්ඩක් එහාට ගිහින්, නැත්නම් කඩේ පිටිපස්සට ගිහින් සිගරට් එක බිව්වට කමක් නෑ කියන තේරුමෙන් තමයි!හැබැයි No Smoking කියල ගහගෙන සිගරට් විකුණන්නේ මොකටද කියලා කඩේ මුදලාලිගෙන් අහපු අපේ උන්දැලත් ඉන්නවා!

2. වැඩිහිටියන්ට පමණයි

 

ඔය පොඩ්ඩක් සාරිය එහෙ මෙහෙ වෙලා පේන මහත දෙහෙත නිළියක් කටවුට් එකේ ඉන්නව නං ගොඩක් වෙලාවට කටවුට් එකේ යට කුරුමිණි අකුරෙන් දකින්න පුලුවන් ‘වැඩිහිටියන්ට පමණයි’ කියලා. අන්න ඒ චිත්‍රපටියක් පෙන්නන හෝල් එකකට ගිහින් බලන්න. හෝල් එක පුරවලා ඉස්කෝලේ කට් කරලා ආපු පොඩිහිටියෝ!

3. මිනිසුන් උඩ වැඩ

මෙහෙම බෝඩ් එකක් ගහලා තියෙන තැනක සමහර වෙලාවට දකින්න පුලුවන් එතනටම ගිහින් උඩ බලාගෙන ඉන්න අංකල් කෙනෙක්. ඒ කියන්නේ බෝඩ් එකක් දැක්ක පලියට විස්වාස නොකරන්න, දෑසින්ම දැක්කට පස්සේ, එහෙමත් නැත්නම් උඩින් ගඩොල් කැටයක් හරි තීන්ත බාල්දියක් හරි ඔලුවට කඩා වැ‍ටුනට පස්සේ විතරක් ‘මිනිසුන් උඩ වැඩ’ කියලා විස්වාස කරන අපේ උතුම් ගුණය ගැන!

4. Beware of Dogs

අපි දන්න අංකල් කෙනෙක් හිටියා ආධාර පත්තරකාරයන්ගෙනුයි, සේල්ස් රෙප්ලාගෙනුයි බේරෙන්න බැරි තැන ඔහොම බෝඩ් එකක් ගේට්‍ටුවෙ ගහල තියපු. අංකල්ට බල්ලෙක් නෑ, හැබැයි හිටපු ගමන් බල්ලෙක් බුරනවත් ඇහෙනවා. බලනකොට අංකල් බල්ලෙක් බුරන සද්දේ කැසට් එකකට රෙකෝඩ් කරන් ඇවිත්.

හැබැයි හිතුවද අපේ අය්යලා ඔහොම බෝඩ් එකක් දැක්කහම අත අරී කියලා. එතකොට ගේට්‍ටුවට තට්‍ටු කරල අහනවා “අංකල් බල්ල බැඳලද” කියලා. අංකල්ට ඊලඟට ගහන්න වෙන්නේ “බල්ලාගෙන් ප්‍රවේසම් වනු. පූසා, ගිරවා සහ කිඹුලාද ෂුවර් නැත” කියල තමයි!

5. තණකොළ පාගන්න එපා

තණකොළ පාගන්න එපා කියලා බෝඩ් එකක් ගහලා තියනකොට ඔන්න අපිට එනවා පොඩි කුතුහලයක්. ඇයි එහෙම කියන්නේ කියලා. ඇයි ඔය තණකොළ වල මොකක් හරි විශේෂයක් තියෙනවද කියලා එතකොට පාගලා බලන්නම හිතෙනවා!

6. Wet Paint

ලංකාවේ වැඩි දෙනෙක් මේ වගේ බෝඩ් එකක් දැක්ක පලියට විශ්වාස කරන්න යන්නෙ නෑ. ඒක ජාතියේ හොඳ ගුණාංගයක්. ඒ කට්ටිය අල්ලලා බලනවා ෂුවර් එකටම තීන්ත වේලිලාද කියලා. ඊට පස්සේ බෝඩ් එක ගහපු එකාටත් බැණ බැණ යනවා!

7. මෙහි කුණු දැමීම තහනම්

මෙහෙම බෝඩ් එකක් ගහලා තියෙනවනම් ඒ කියන්නේ අනිවා මෙතන තමයි කට්ටියම කුණු දාන තැන කියලා සලකගන්නේ. කුණු දැමීම තහනම් බෝඩ් එක වැහෙනකල් අන්තිමට කුණු ගෙනැත් දානවා. ඊට පස්සෙ ඉතින් ඔතන බෝඩ් ගහන්න වෙනවා “මෙහි කුණු දැමීම බල්ලන්ට පමණයි” කියලා. ඒත් කුණු දානකොට තව බෝඩ් එකක් ගහන්න වෙනවා “කුණු දැම්මොත් ගුටි, අපි හැංගිලා ඉන්නේ” කියලා. එතකොට හැංගිලා ඉන්න එවුන්ව බලාගන්න තියෙන කුතුහලේටම තව කුණු ගෙනත් දානවා!

උපුටාගැනීම:-Aniwa.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *