දුරකථනය සොයා ගත්තේ ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල් නොවේ” ලෝකයේ ප‍්‍රසිද්ධම සහ ජනප‍්‍රියම නිපැයුම් පිටුපස ඇති ඔබ නොදත් කතන්දර 9ක්

තෝමස් අල්වා එඩිසන්, ජෝන් ලොගී බෙයාර්ඩ්, ගුග්ලි එල්මෝ මාකෝනි වගේ නව නිපැයුම්කරුවන් ගැන ඇති පදම් කතා අපි අහල තියනව. මේ අයගෙ සොයාගැනීම් අදටත් ලෝකයේ භාවිතා වන විශිෂ්ටම නිර්මාණ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. හැබැයි ලෝකය වෙනස් කරපු මේ ගොඩක් සොයාගැනීම් පිටිපස්සෙ සැඟවෙච්ච අභිරහස් කතා එහෙමත් බොහොමයක් තියනව. ඒ වගේම තවත් නව සොයාගැනීම් තියනව අහම්බෙන් මේ ලෝකෙට දායාද වෙච්ච ඒව. මේ සියල්ල ඇතුලුව ලෝකයේ නව සොයාගැනීම් සහ ඒවා පිටුපස ඇති ඔබ අසා නැති කතන්දර ටිකක් තමයි අපි මේ ගෙන එන්නෙ.

1. දුරේක්ෂය ගැලීලියෝ ගැලීලිගේ සොයාගැනීමක් නොවේ

අපි පොඩි කාලෙ ඉඳල අහල තියෙන්නෙ දුරේක්ෂය (Telescope) සොයාගත්තෙ ගැලීලියෝ ගැලීලි කියලයි. ඒත් ඇත්තටම ඒක වැරදි කතාවක්. දුරේක්ෂය සොයාගැනීම ගැන දැනට හමුවී ඇති මුල්ම වාර්තාවේ සඳහන් වන්නේ හාන්ස් ලිපර්ෂේ (Hans Lippershey) නම් ජර්මානු-ලන්දේසි සම්භවයකින් යුත් පුද්ගලයෙක්ගෙ සොයාගැනීමක් හැටියටයි. 1608දී Dutch Perspective Glass නමින් තමයි මේ නිර්මාණය හඳුන්වල දීල තියෙන්නෙ. ගැලීලියෝ ගැලීලි කරන්නේ ලිපර්ෂේගේ නිර්මාණයේ වෙනස්කම් සිදුකරල මුල්වරට තාරකා විද්‍යා ගවේෂණ වලට දුරේක්ෂය යොදාගැනීම පමණයි.

2. ටෙලිෆෝනයේ මුල් අදහස ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ගේ නොවේ

අපි කවුරුත් ටෙලිෆෝනයේ පියා හැටියට ග්‍රැහැම් බෙල්ව හැඳින්වුවත් මුල් වරට ටෙලිෆෝනයේ ක්‍රියාකාරීත්වයට සමාන යන්ත්‍රයක් සොයාගෙන තියෙන්නේ ඉතාලි ජාතික ඇන්තෝනියෝ මියුචි (Antonio Meucci) විසිනුයි. ඔහු මෙය හඳුන්වල තියෙන්නෙ “කතා කරන විදුලි ලිපිය” යන තේරුමකින් යුක්තවයි. කොහොම වෙතත් පසු කාලෙක ආපු දැඩි ආර්ථික අමාරුකම් හින්දා තමන්ගේ මේ සොයාගැනීම සම්බන්ධ බලපත්‍රය අලුත් කරන්නට මියුචිට නොහැකි වී තිබෙනවා. ග්‍රැහැම් බෙල් විසින් 1876දී ටෙලිෆෝනය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගන්නේ ඊට පසුවයි. ටෙලිෆෝනයේ සොයාගැනීමේ අයිතිය සම්බන්ධ සෑහෙන මතභේදාත්මක අදහස් පලවෙලා තිබුණත්. මේ වෙද්දි ටෙලිෆෝනය සොයාගැනීමේ ගෞරවයෙන් කොටසක් මියුචිටත් හිමිවෙලා තිබෙනවා.

3. ටෙස්ලාට එරෙහිව එඩිසන් AC vs. DC ගැටුම

ලෝකයේ විශිෂ්ටතම නව නිපැයුම්කරුවෙක් වන නිකොලා ටෙස්ලා විසින් කරන ලද සොයාගැනීම් ගැන අපිට වෙනම අනිවා ලිපියක් වෙන් කරන්නට සිද්ධ වෙනවා. කොහොම වෙතත් ටෙස්ලා විසින් 1800 ගණන්වලදී ප්‍රත්‍යාවර්තක ධාරාව (Alternating Current – AC) ලෝකෙට හඳුන්වලා දෙනවා. ඒ වෙද්දි සරල ධාරාව (Direct Current – DC) සංකල්පයේ හිටපු තෝමස් එඩිසන් මේ ප්‍රත්‍යාවර්තක ධාරාවේ සොයාගැනීමත් එක්ක තමන්ගෙ සරල ධාරා විදුලියට පහරක් එල්ල වේවිය කියල බයවෙනව. මේ හේතුවෙන් 1880 ගණන් වල ඉඳන් මේ දෙන්නා අතර විදුලිය සම්බන්ධයෙන් සටනක් ඇවිලෙනව. ටෙස්ලාගේ AC විදුලිය භයානක සහ අනතුරුදායක දෙයක් කියල ලෝකෙට ඒත්තු ගන්නන්නට එඩිසන් ඉතාම කෘර පියවර පවා අරගෙන තියනව. විවිධ සතුන්ව මේ විදුලි සැර ලබාදීම මගින් මරණයට පත් කරල තමන්ගේ විද්‍යුත් සංකල්පය තමයි වඩාත්ම හිතකර කියල පෙන්වන්න එඩිසන් උත්සාහ කරල තියනව. මේ සම්බන්ධයෙන් වඩාත්ම ආන්දෝලනයට ලක්වෙච්ච සිදුවීම තමයි 1903දී ටොප්සි කියන ඇතින්නව විදුලිය එල්ල කිරීමෙන් මරා දැමීමේ සිදුවීම.

4. ඩයිනමයිට් සොයාගත්තේ ඇල්ෆ්‍රඩ් නොබෙල්

නොබෙල් ත්‍යාගය කියන්නේ මේ ලෝකයේ ජීවත් වන පුද්ගලයෙකුට දිනාගත හැකි විශිෂ්ටතම සම්මානයක්. මේ නොබෙල් ත්‍යාග පදනම හැදෙන්නෙ ඇල්ෆ්‍රඩ් නොබෙල් කියන ස්වීඩන් ජාතික නිපැයුම්කරුවාගේ අන්තිම කැමැත්තට අනුවයි. ඇල්ෆ්‍රඩ් නොබෙල් කියන්නෙ නව නිපැයුම් බොහොමයක් සිදු කරනු ලැබූ පුද්ගලයෙක්. ඒ උනත් ඒ සියල්ල අතරින් වැඩිපුරම කැපී පෙනෙන සොයාගැනීම වන්නේ 1867දී ඔහු විසින් පේටන්ට් බලපත්‍රය ලබාගත් ඩයිනමයිට් නම් පුපුරන ද්‍රව්‍යයයි.

යුද්ධ කටයුතු වලට උපයෝගී කරගන්නා පුපුරන ද්‍රව්‍ය කම්හල් 100කටත් වඩා තිබ්බ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ නම ලෝක සාම ත්‍යාගයට පවා යොදාගන්න හේතු උනේ මොකක්ද? ඒක ගැන කියවෙන රසවත් කථාවක් තියනවා.

1888 අවුරුද්දෙදි නොබෙල්ගේ එක් සහෝදරයෙක් හෘදයාබාධයකින් මරණයට පත්වෙනවලු. මේ ගැන වැරදි තොරතුරු පැතිරීම නිසා එක පුවත්පතක් වාර්තා කරන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් මැරුණු හැටියටලු. “මරණයේ වෙළන්දා මරණයට පත්වේ” වගේ හැඳින්වීම් ඇතුව ලියපු තමන්ගේ මරණ දැන්වීම ජීවත්ව ඉන්දැද්දිම කියවන්න ලැබෙන නොබෙල් ඒකෙන් ගොඩක් සිත් තැවුලට පත් වෙනවලු. ඊට පස්සේ තමයිලු තමන් ගැන තියන මේ ප්‍රතිරූපය වෙනස් කරන්න කියලා හිතාගෙන තමන්ගේ ධනයෙන් විශාල කොටසක් යොදල නොබෙල් ත්‍යාග අරමුදල පිහිටුවන්නෙ.

5. කවුරුත් නොදන්න ලෝකයේ ශ්‍රේෂ්ඨතම නිපැයුම්කරුවා

යොෂිරෝ නකමට්සු (Yoshiro Nakamatsu) කියන නම් නම් ඔයාල හුඟ දෙනෙක් අහල නැතුව ඇති. ඉතාම අමුතු විදිහෙ සොයාගැනීම් කරල තියන, අමුතු විදිහෙ ජීවිතයක් ගෙවන මේ 88 හැවිරිදි ජපනා ගැනනම් කියන්න දේවල් බොහොමයි. ලෝකයේ ඉහලම නිපැයුම් කරුවන්ගෙ ලැයිස්තු වලට ඇතුලත් නොවුනට යොෂිරෝ විසින් අලුතින් සොයාගෙන තියන නිපැයුම් ප්‍රමාණය 4000ත් පන්නනව කියලයි කියන්නෙ. කාලයක් පරිගණක ලෝකෙ හොල්ලපු ෆ්ලොපි ඩිස්ක් එකේ නිර්මාතෘ හැටියට හඳුන්වන්නෙත් නකමට්සුව තමයි. ඒ විතරක් නෙමෙයි අමුතු විදිහේ සොයාගැනීම් කරල තියන කෙනෙක් හැටියටත් නකමට්සු ප්‍රසිද්ධයි. ඔහුගේ අමුතු නිර්මාණ අතර ආත්මාරක්ෂාවට පාචිච්චි කලහැකි බොරු කොණ්ඩ, අදෘෂ්‍යමාන තනපට, සංගීතය සහිත ගොල්ෆ් පිති, ලිංගික සතුට වර්ධනය කරන්න කාන්දම් යොදපු කොන්ඩම්, මොලේ ක්‍රියාකාරීත්වය වැඩි කරන සිගරට් වගේ දේවල් ගොඩක් තියනවා.

නකමට්සු දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳින තැනැත්තෙක්. මේ දවස්වලදී නම් ඔහුගේ නව පරීක්ෂණ සියල්ල තමන්ගේ මේ රෝගයට බෙහෙතක් සොයාගැනීම සඳහා තමයි ඔහු යොමුකරලා තියෙන්නෙ.

6. අහම්බෙන් සොයාගත්ත වයැග්‍රා

වයැග්‍රා ගැන ඉතින් අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නෑනෙ. හැබැයි කවුරුත් දන්න, ලංකාවෙත් විවිධ පුවත් මවන වයැග්‍රා මේ ලෝකෙට පහලවෙලා තියෙන්නෙ අහම්බයකින් කියලා වැඩි දෙනෙක් දන්නෙ නැතිව ඇති.

හෘදය සම්බන්ධ රෝගයක් (Angina) සඳහා පර්යේෂණ පවත්වන්න තමයි මේ ඖෂධය මුලින්ම යොදාගෙන තියෙන්නෙ. හෘද රෝගීන්ගේ රුධිර නාල ලිහිල් කිරීමට මේ ඖෂධය උපයෝගී කරගන්න උත්සාහ කලත් ඒ පරීක්ෂණ අසාර්ථක වී තිබෙනවා. හැබැයි මේ පරීක්ෂණ වලට ඉදිරිපත් උන පුද්ගලයෝ සමහරක් මේ ඖෂධය නිසා ඇතිවෙන අතුරු ඵලයක් ගැන කැමැත්තෙන් සඳහන් කරල තියනවා. ඒ තමයි මේ මගින් වැඩිපුර ශිෂ්ණය සෘජුවීමක් වෙනවාය කියන එක. ඒ අනුව වැඩිදුර පරීක්ෂණ කිරීමෙන් පසුව තමයි හෘද ප්‍රතිකාරයකට පාවිච්චි කරපු වයැග්‍රා ලිංගික උත්තේජකයක් හැටියට නැවත උපත ලබන්නෙ.

7. ටැටූ මැෂිම හැදෙන්නෙත් එඩිසන්ගේ නිර්මාණයක් ඇසුරින්

ටැටූ කියන්නෙ ගැණු පිරිමි භේදයක් නැතිව කවුරුත් ෆොලෝ කරන ෆැෂන් ට්‍රෙන්ඩ් එකක්නෙ. ටැටූ ගහන ඉලෙක්ට්‍රික් යන්ත්‍රය සොයාගත්ත පුද්ගලයා හැටියට සැලකෙන්නෙ සැමුවෙල් ඕ’ රයිලි නම් වන තැනැත්තෙක්. 1891දී තමයි ඔහු ටැටූ යන්ත්‍රය වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ලබාගන්නෙ. එඩිසන් විසින් පේටන්ට් අරගෙන තිබුණ ඉලෙක්ට්‍රික් පෙන් එකේ වෙනස් කම් කීපයක් කරල මිනිස් සමට තීන්ත කාවද්දන්න පුලුවන් විදිහට සකස් කරල තමයි ඕ’ රයිලි මේ ඉලෙක්ට්‍රික් ටැටූ යන්ත්‍රය නිර්මාණය කරන්නෙ.

8. පොප්සිකලේ හැදුණු හැටි

පොප්සිකල් එහෙමත් නැත්නම් අයිස් පොප් කියලා සමහරු හඳුන්වන සීත කල කැවිල්ල හැදිච්ච හැටි ගැන තියෙන්නෙත් ඉතා රසවත් කතාවක්. ෆ්‍රෑන්ක් එපර්සන් (Frank Epperson) නැමැති 11 හැවිරිදි දරුවෙක් එක හවස් වරුවකදි තමන් බොමින් හිටපු බීම වීදුරුව අමතකවීමෙන් එළිමහනේ තියල ගිහින් තියනවා. පහුවදා උදේ වරුවේ මේ බීම එක දිහා බලද්දි ඒක සීතල කාලගුණය නිසා ගල් වෙලා තියනවයි කියල ෆ්‍රෑන්ක් දැකල තියනවා. බීම එක මිශ්‍ර කරන්න පාවිච්චි කරල තිබුණ ලී කෝටුවෙන් අල්ලල අදිද්දි සීතලෙන් මිදිච්ච බීම කුට්ටිය වීදුරුවේ හැඩේට ගැලවිලා ඇවිත් තියනවා. මේ අහඹු සිදුවීමෙන් පුදුමයටත් සතුටටත් පත් වෙච්ච ෆ්‍රෑන්ක් ඊට දශක එකහමාරකට විතර පස්සෙ තමයි මේ ජනප්‍රිය පොප්සිකල් එක ලෝකෙට හඳුන්වල දීල තියෙන්නෙ.

9. අපේ විශිෂ්ට නිපැයුම්කරු රේ විජේවර්ධන

ලෝක ප්‍රසිද්ධ නිපැයුම්කරුවන් ගැන කියද්දි ශ්‍රී ලාංකික කීර්තිමත් නිපැවුම්කරුවෙක් වුනු රේ විජේවර්ධනයන් ගැනත් සඳහන් නොකර බෑ. ලෝකයේ පළමු රෝද දෙකේ අත්ට්රැක්ටරය නිපදවන්නේත් රේ විජේවර්ධනයි. සැහැල්ලු ගුවන් යානා නිර්මාණය කිරීම රේ ගේ අනෙත් විනෝදාංශයයි. සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වලට පවා රේ ගේ මේ ගුවන් යානා යොදාගෙන තිබෙනවා. තමන් විසින් නිර්මාණය කරන ගුවන් යානා පැදවීමද රේ ගේ ප්‍රධාන විනෝදාංශයක් වී තිබුණා. එක් වරක් ඒ ආකාරයෙන් තමන්ගේ ගුවන් යානාවක් පදවාගෙන සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා බලන්නට රේ විජේවර්ධන ගොස් තිබෙනවා. මේ ගිය ගමනෙදි ගුවන් යානය ගොඩබෑමේදී සිදුවූ වැරැද්දක් නිසා රේ විජේවර්ධනගේ ගුවන් ගමන කෙළවර වෙලා තිබෙන්නෙ ජෙෆ්රි බාවාගේ නිවසේ වහලය කඩාගෙන ඇතුලට පතිතවීමෙනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *