හිඟන්නොත් නව තාක්ෂණයටම හිගාකන කාසි නෝට්ටු භාවිතය මියෑදෙමින් පවතින චීනය ගැන අපූරු කතා ටිකක් මෙන්න

එතරම් ජනාකීර්ණ නැති නගරයක ප්‍රධාන වීදියක්‌ කෙළවර ඇන තබාගෙන සිටිනා සපත්තු මහන්නෙකි. පැරැණි සපත්තු, අලුත් සපත්තු අඩි, තංගුස්‌ නූල් රෝල්, ගම් බෝතල් ඔහු වටා විසිරී ඇත. සපත්තු මසන්නා ලහි ලහියේ සපත්තුවක්‌ අලුත්වැඩියා කරයි. ගනුදෙනුකරුවා අසල සිටගෙන ඔහු දෙස එබීගෙන බලා සිටිනා තරුණයෙකි. ඉක්‌මනින් තම කාර්යය නිම කරනා සපත්තු මහන්නා සපත්තුව ගනුදෙනුකරුවාට බාර දෙයි. ඉක්‌මනින් වැඩය හමාර වීම ගැන සතුටින් එය රැගෙන පැළඳගන්නා තරුණයා කිසිවක්‌ විමසා තම ජංගම දුරකථනය ගෙන සපත්තු මහන තැන කණුවක එල්ලා තිබෙන QR කෝඩ් එකක්‌ සටහන් කර ඇති කාඩ්බෝඩ් කැබැල්ලකට එහි කැමරාව අල්ලයි. ඉන්පසු එහි තිරය මත කිසිවක්‌ සටහන් කරන තරුණයා එතැනින් පිට ව යයි. පසෙක තිබූ තම දුරකථනය අතට ගෙන එය දෙස බලන සපත්තු මහන්නා එය පසෙක තබා නැවතත් තමා කලින් කරමින් සිටි වැඩය පටන් ගනියි. මුදල් හුවමාරුවක්‌ ගැන කිසිවකුට වගක්‌ නැති ගාන ය.

මේ අනාගතය ගැන කියෑවෙන සිනමා පටයක දර්ශනයක්‌ නො වේ. චීනයේ ඕනෑ ම නගරයක අද වන විට දක්‌නට හැකි දර්ශනයකි. ග්‍රාමීය එළවළු පලතුරු විකුණන පොළකට ගියත් ඒ කුඩා කඩවල යායට එල්ලා තිබෙන QR කේත දැකිය හැකි ය. කුඩා තේ කඩයකට ගොස්‌ උදේ ආහාරයට යමක්‌ මිල දී ගත්තත් ඒ සියල්ලට ගෙවීම් කරන්නට ඉදිරිපත් කරන්නේ QR කේතයකි. කාසි හා නෝට්‌ටුවලින් ගෙවීම් කරනා හෝ ගෙවීම් ලබා ගන්නා කෙනෙක්‌ දකින්නටත් දුෂ්කර ය. ඉඳහිට තාක්‌ෂණයෙන් මඟහැරුණු වයසක කෙනකු පමණක්‌ නෝට්‌ටුවලින් ගෙවීම් කරනු දැකිය හැකි වුවත් ඔවුන්ට බඩු මිල දී ගත හැකි කඩවල් ප්‍රමාණය ඉතා සීමිත ය. මිල දී ගත්තත් ඉතුරු මුදල් ලබා ගැනීමට ඔවුන්ට විශාල සටනක්‌ දෙන්නට සිදු වෙයි.

මේ චීනයේ වෙළෙඳපොළේ නූතන හැඩරුවයි. කාසි හා මුදල් නෝට්‌ටුවල භාවිතය දැනටමත් අභාවයට ගොස්‌ ඇති ගාන ය. ණයවර කාඩ්පත් ද ගනුදෙනු සඳහා ඉදිරිපත් කරනවා දකින්නට ලැබෙන්නේ ඉඳහිට ය. ලෝකයේ ලොකු ම ආර්ථික බලවතා වන්නට පෙරුම් පුරනා චීනයේ ජනතාව තම ගනුදෙනු කටයුතු කරගැනීමට මේ සියල්ලට වඩා පහසු විකල්පයක්‌ සොයාගෙන තිබේ. ඒ ඔවුන්ගේ අතේ ඇති ජංගම දුරකථනයයි.

චීනය ලෝකයේ මුදල් රහිත සමාජ ක්‍රමයකට හුරු ව ඇති පළමු රට බවට පත් ව තිබේ. තාක්‌ෂණයේ පෙරගමන්කරුවන් ලෙස සැලකෙන බටහිර රටවල් තවමත් සාම්ප්‍රදායික ගනුදෙනු ක්‍රමවල සිර වී සිටිනා අතර චීනය ඔවුන්ට වඩා පියවරක්‌ ඉදිරියෙන් තබමින් ජංගම දුරකථනය තම ප්‍රධාන ගනුදෙනු මාධ්‍යය බවට පත් කරගෙන ඇත. 2016 වසරේ ජංගම දුරකථන හරහා සිදු වූ සමස්‌ත වෙළෙඳපොළ ගනුදෙනු ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 5.5කි.

චීනයේ දුරකථන, ගනුදෙනු සඳහා භාවිතය ජනප්‍රිය වන්නට එක්‌ ප්‍රධාන හේතුවක්‌ ව ඇත්තේ ඉතා පහසු මිලට ස්‌මාර්ට්‌ ජංගම දුරකථනයක්‌ ඕනෑ ම කෙනකුට මිල දී ගත හැකි වීමයි. චීන භාෂාවෙන් ම ජංගම දුරකථනයේ සියලු කටයුතු සිදු වන බැවින් වයස්‌ගත පුද්ගලයන්ට වුව ද පහසුවෙන් එය භාවිත කළ හැකි ය. අනෙක්‌ කාරණය වන්නේ ඔවුන් බොහෝ දෙනකු අත, ණයවර කාඩ්පත් නොමැති වීමයි. ආණ්‌ඩුව පනවා ඇති දැඩි නීති රෙගුලාසි, ණයවර කාඩ්පත් ජනප්‍රිය නො වීමට එක්‌ හේතුවක්‌ වී ඇති අතර එය එක්‌ අතකින් චීනයට ආශිර්වාදයක්‌ වී තිබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ලෝකයේ අනෙක්‌ රටවල් නෝට්‌ටු භාවිතයෙන් ණයවර කාඩ් භාවිතයටත් එතැනින් ජංගම දුරකථන ගෙවීම් ක්‍රමවලටත් මාරු වෙමින් පවතිද්දී චීනය ණයවර කාඩ්පත් භාවිතය මඟහැර කෙළින් ම නෝට්‌ටුවලින් ජංගම දුරකථනවලට මාරු වීමයි.

චීනයේ ජංගම දුරකථන ගෙවීම්වලින් සියයට 90ක්‌ ම සිදු වන්නේ අලි පේ (Ali pay) සහ වීචැට්‌ පේ (Wechat pay) යන දැවැන්ත දුරකථන යෙදුම් දෙක හරහා ය.අලි පේ යනු චීනයේ සිටින ධනවත් ම ව්‍යාපාරිකයා වන ජැක්‌ මා ගේ අලිබබා (Alibaba) සමාගමට අයත් මුදල් ගනුදෙනු සඳහා නිර්මාණය කළ දුරකථන යෙදුමයි. ඔවුන් විසින් මෙය හඳුන්වා දෙන ලද්දේ 2004 වසරේ දී ය. වීචැට්‌ පේ යනු අලිබබාහි ප්‍රධාන තරගකරුවා වන ටෙන්සෙන්ට්‌ස්‌ (Tencents) සමාගමට අයත් වී චැට්‌ පණිවිඩ හුවමාරු යෙදුමට එම සමාගමේ ම ටෙන්පේ යෙදුම එක්‌ කරමින් සකසන ලද මුදල් ගනුදෙනු යෙදුමයි. ෆේස්‌බුක්‌, වට්‌ස්‌ ඇප් වැනි සමාජ ජාලා මෘදුකාංග භාවිතය චීනයේ තහනම් හෙයින් චීනයේ ෆේස්‌බුක්‌ ලෙස භාවිත වන්නේ වීචැට්‌ යෙදුමයි.

බොහෝ කාලයක්‌ තිස්‌සේ චීනයේ ජංගම දුරකථන මඟින් ගෙවීම් සිදු කිරීමෙහි ලා අලි පේ මුල් තැන ගත්තත් ඊට වසර දහයකට පමණ පසු එනම් 2014 වසරේ දී නිර්මාණය වූ වීචැට්‌ පේ යෙදුමට නව ප්‍රචාරණ ප්‍රවේශයක්‌ හරහා ජංගම දුරකථන ගෙවීම් වෙළෙඳපොළේ ආධිපත්‍යය තමා වෙත නතු කරගැනීමට හැකි විය. එම සිදුවීම චීනයේ රතු ලියුම් කවර විප්ලවය ලෙසින් ද හැඳින්වෙයි. චීනයේ අවුරුද්දේ පළමු දින ආයතන ප්‍රධානීන් සේවකයන්ට රතු ලියුම් කවරයක මුදල් ත්‍යාගයක්‌ පිරිනැමීමේ Hangbao නම් සිරිතක්‌ පවතියි. සිංහල අලුත් අවුරුද්දේ ගනුදෙනු චාරිත්‍ර කරනවාක්‌ මෙන් චීනයේ නෑදෑ හිතමිතුරෝ ද මෙලෙස රතු ලියුම් කවරවල මුදල් ත්‍යාග හුවමාරු කරගනිති. සැම අවුරුද්දක ම පළමුවැනි දා තම සමාගම් ප්‍රධානීන් ගෙන් මෙලෙස රතු ලියුම් කවර ලබාගැනීමට දිගු පෝලිම්වල සිටගෙන සිටීම සාමාන්‍ය දර්ශනයක්‌ විය. මේ තත්ත්වය හඳුනාගත් ටෙන්සෙන්ට්‌ස්‌ සමාගම 2014 වසරේ දී වීචැට්‌ පේ හරහා මේ චාරිත්‍රය ජංගම දුරකථනය හරහා සිදු කරගැනීමේ ක්‍රමයක්‌ හඳුන්වා දුන් අතර එහි ප්‍රතිඵලයක්‌ වූයේ ජංගම දුරකථන යෙදුම් හරහා මුදල් හුවමාරු කරගැනීම චීනයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය රැල්ලක්‌ බවට පත් වීමයි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස චීනයේ ජංගම දුරකථන මඟින් ගෙවීම් කිරීමේ වෙළෙඳපොළ විශාල ලෙස පුළුල් වූ අතර එහි විශාල කොටසක්‌ අත්පත් කරගැනීමට ද ටෙන්සෙන්ට්‌ස්‌ සමාගමට හැකි විය. ජැක්‌ මා විසින් පසු ව තම තරගකරුවාගේ එම උපක්‍රමය අගය කරමින් එය හඳුන්වා දී තිබුණේ ජංගම දුරකථන ගෙවීම් වෙළෙඳපොළේ පර්ල් හාබර් මොහොත ලෙසයි. 2017 වසරේ දී වීචැට්‌ පේ මඟින් සක්‍රිය ලෙස ගනුදෙනු කරන පාරිභෝගිකයන් මිලියන 600ක්‌ වූ අතර අලි පේ හරහා ගනුදෙනු කරන්නන් මිලියන 450ක්‌ විය. කෙසේ වෙතත් වීචැට්‌ පේ, සමස්‌ත වෙළෙඳපොළ ගනුදෙනුවලින් සියයට 37කට (37%) හිමිකම් කියන අතරේ අලි පේ සියයට 54ක්‌ (54%) හිමි කරගනිමින් තවමත් ඉදිරියෙන් සිටියි.

ජංගම දුරකථන හරහා ගෙවීම් සිදු කිරීමේ දී ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක්‌ භාවිත වේ. ඒ NFC (near field communication) සහ QR කේත භාවිතයයි. NFC ක්‍රමයේ දී සිදු වන්නේ දැනට අප සතු ව පවතින ක්‍රෙඩිට්‌ (ණයවර) කාඩ්පතක හෝ ඩෙබිට්‌ කාඩ්පතක තොරතුරු ජංගම දුරකථනයට ඇතුළු කොට ඒ හරහා ගෙවීමයි. මෙහි දී ක්‍රෙඩිට්‌ කාඩ්පත් ගෙන යැම තවදුරටත් අවශ්‍ය නො වන අතර ජංගම දුරකථනය සෘජු ව ම මුදල් ලබාගන්නා උපකරණය වෙත ළං කිරීමෙන් අවශ්‍ය ගෙවීම සිදු කළ හැකි ය. කෙසේ නමුත් මේ සඳහා ව්‍යාපාරිකයන් ඊට අදාළ උපාංග මිල දී ගෙන තිබිය යුතු ය. කෙසේ නමුත් QR ක්‍රමය භාවිත කිරීමට ව්‍යාපාරිකයන්ට මෙවැනි උපාංග රහිත ව ද ගෙවීම් පිළිගත හැකි ය. කෙළින් ම දුරකථනයට බාගත කරන ලද අලි පේ හෝ වීචැට්‌ පේ වැනි යෙදුමකට ලියාපදිංචි වීම මඟින් පාරිභෝගිකයන්ට හා ව්‍යාපාරිකයන්ට තමන්ගේ බැංකු ගිණුමක කාඩ්පතක්‌ දුරකථනයට සම්බන්ධ කළ හැකි ය. ඉන්පසු ව්‍යාපාරිකයන්ට තම ගිණුමට අදාළව QR කේතයක්‌ නිර්මාණය කර එය ප්‍රදර්ශනය කර තැබිය හැකි අතර පාරිභෝගිකයන්ට එය තම ජංගම දුරකථනයේ කැමරාවෙන් ස්‌කෑන් කිරීම හරහා ව්‍යාපාරිකයාගේ ගිණුමට කෙළින් ම සම්බන්ධ විය හැකි ය. ඉන් පසු තමාට ගෙවීමට ඇති මුදල තම යෙදුම හරහා අන්තිම සතයට ගෙවා දැමිය හැකි ය. මීට අමතර ව තමා ගෙවීමට අදහස්‌ කරන මිලට අදාළ ව QR කේතයක්‌ නිර්මාණය කර එය ස්‌කෑන් කිරීමට ඉඩ සැලැස්‌වීම හරහා ද, ව්‍යාපාරිකයා විසින් මිලට අදාළ ව නිර්මාණය කරනු ලබන QR කේතයක්‌ ස්‌කෑන් කිරීම හරහා ද ගෙවීම් සිදු කළ හැකි ය. සාමාන්‍ය සරල ගනුදෙනුවලට අමතර ව විවිධ විශාල ව්‍යාපාරවලට ද ගැළපෙන අන්දමින් තම යෙදුම වැඩි දියුණු කර ඉදිරිපත් කිරීමට අලි පේ හා වීචැට්‌ පේ වැනි සමාගම් කටයුතු කර ඇත.

මෙලෙස කිසිදු උපාංගයක්‌ මිල දී නො ගෙන හුදෙක්‌ ජංගම දුරකථනය භාවිතයෙන් පමණක්‌ QR කේත යොදාගනිමින් ගනුදෙනු කිරීමට හැකි වීම චීනයේ සුළු පරිමාණයේ වෙළෙන්දන් අතර මේ ගනුදෙනු ක්‍රමය විශාල ලෙස ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක්‌ වී තිබේ. මේ වන විට චීනයේ කුඩා තේ කඩයේ සිට සුඛෝපභොගී අවන්හල් දක්‌වා ඕනෑ ම තැනකින් ජංගම දුරකථනයෙන් ගෙවීම් සිදු කළ හැකි ය. බොහෝ වෙළෙඳසල්වලින් මුදල් නෝට්‌ටු හා ක්‍රෙඩිට්‌ කාඩ්පත් තවදුරටත් නො පිළිගැනීමේ ප්‍රවණතාවක්‌ නිර්මාණය වී ඇති හෙයින් චීනයේ සියලු දෙනා ම සම්පූර්ණයෙන් ම ජංගම දුරකථන ගෙවීම්වලට නැඹුරු වෙමින් සිටිති. චීනයේ කුලී රථ සේවාවන් බොහොමයක්‌ මුදල් ලබාගන්නේ ජංගම දුරකථන ගෙවීම් හරහා ය. ගමන අවසානයේ ගමන් ගාස්‌තුවට අදාළ ව කේතයක්‌ තිරයක දිස්‌ වන වන අතර එය ස්‌කෑන් කිරීමෙන් ගෙවීම් සිදු කළ හැක. වතුර හා විදුලි බිල්පත් ගෙවීම, බස්‌රථවල කෝච්චිවල ටිකට්‌ පත් ලබාගැනීම, පොලීසියට දඩ ගෙවීම, කෑම ඇණවුම් කිරීම, ටියුෂන් ගාස්‌තු ගෙවීම ආදි මෙකී නොකී සැම ගෙවීමකට ම ජංගම දුරකථනය භාවිත කළ හැකි ය. මේ පිළිබඳ ව කළ එක්‌ සමීක්‌ෂණයක දී චීනුන් සියයට අසූවක්‌ ම කියා තිබුණේ තම මුදල් පසුම්බිය නො මැති ව ගමන් යැමේ කිසිදු අපහසුවක්‌ නොමැති බවයි. ඔවුන් බිය පළ කර තිබුණේ දුරකථනයේ බැටරි බැසීම පිළිබඳ ව පමණි.

ජංගම දුරකථන හරහා ගනුදෙනු කිරීම මඟින් පහසුවෙන් ගනුදෙනු ක්‍රියාවලිය ඉටු කරගැනීමට හැකි වීමේ වාසිය ලැබෙන අතර ම එම වාසිය එතැනට සීමා නො වේ. සාමාන්‍ය මුදල්වලින් යමක්‌ මිල දී ගැනීමේ දී මුදල් හුවමාරුවෙන් පසු විකුණුම්කරු හා ගැනුම්කරු අතර සබඳතාව අවසන් වන නමුත් වීචැට්‌ පේ වැනි යෙදුම් හරහා එම සබඳතාව දිගට ම පවත්වාගැනීමේ හැකියාව පවතී. ඒ හරහා පාරිභෝගිකයන්ට තමාට නැවත මිල දී ගැනීමක්‌ අවශ්‍ය වූ විට එම වෙළෙන්දා සොයාගැනීමටත් අවශ්‍යතාවක්‌ ඇති අන් අය හා එම සබඳතාව බෙදාගැනීමටත් හැකි ය. එමෙන් ම වෙළෙන්දන්ට තම නව නිෂ්පාදන පිළිබඳ ප්‍රවර්ධන කටයුතු කිරීමටත් වට්‌ටම්, කූපන් ආදිය ඔවුන් වෙත බෙදා දෙන්නටත් මෙමඟින් ඉඩ ලැබේ.

මෙලෙස ජංගම දුරකථන හරහා ගනුදෙනු කිරීම් සිදු කිරීමේ දී සිදු වන එක්‌ අතුරු ප්‍රතිඵලයක්‌ නම් පාරිභෝගිකයන් ගේ මිල දී ගැනීම් රටාවන් පිළිබඳ ව තොරතුරු මේ යෙදුම් හිමි සමාගම්වලට ලැබීමයි. මෙමඟින් කිසියම් පුද්ගලයකුගේ ස්‌වභාවය හා රුචිකත්වය පිළිබඳ ව චිත්‍රයක්‌ ගොඩනඟාගැනීමේ හැකියාව මේ සමාගම්වලට ලබා දෙයි. එය එක්‌ අතෙකින් වඩා හොඳ සේවාවක්‌ ලබා දීම සඳහා භාවිත කළ හැකි අතර ම අනෙක්‌ අතින් ගත් කල එය බරපතළ පෞද්ගලික තොරතුරු නිරාවරණය කිරීමක්‌ ලෙස ද සැලකිය හැකි ය. විශේෂයෙන් දැඩි පාලන රටාවක්‌ පවත්වාගෙන යන චීන රජයට මෙවැනි තොරතුරු සියල්ල ලබා දීමට චීන සමාගම් බැඳී තිබේ. බටහිරයෝ නම් මෙවැනි පෞද්ගලික තොරතුරු රජය හෝ වෙනත් පාර්ශ්වයන් හෝ අතට පත් වීම බරපතළ කාරණයක්‌ ලෙස සලකති. මෙවැනි යෙදුම් බටහිර ලෝකයේ වේගවත් ජනප්‍රියත්වයක්‌ අත් කර නො ගැනීමට මෙය ද එක්‌ හේතුවකි. එහෙත් චීනුන් සම්බන්ධයෙන් ගත් කල පෙනෙන්නට තිබෙන්නේ ඔවුන් තම පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරු රජය විසින් පිරික්‌සා බැලීම එතරම් ගණනකට නො ගන්නා බවයි. තමන් අපරාධයක්‌ කර නැතිනම් එවැනි තොරතුරු පිරික්‌සා බැලීමක්‌ පිළිබඳව බිය විය යුතු නැති බව ඔවුන් බොහොමයක ගේ අදහස වී තිබේ.

චීනයේ මේ ජංගම දුරකථන ගෙවීම් ඇබ්බැහිය නිසා වෙනත් රටවලට ද ජංගම දුරකථන ගෙවීම් සේවා ලබා දෙන පරිදි තම ව්‍යාපාර කටයුතු ප්‍රතිසංවිධානය කරන්නට සිදු ව ඇත. ඊට හේතුව චීන සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට මෙවැනි පහසුකම් ලබා දීමට ඔවුන්ට සිදු වීම ය. ජපානය, තායිලන්තය වැනි චීන සංචාරකයන් බහුල ව පැමිණෙන රටවල් මේ වන විටත් තම ව්‍යාපාරික ස්‌ථානවල මේ පහසුකම් වේගයෙන් වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් සිටියි.

ඉන්දියාව ද දැන් දැන් ජංගම දුරකථන ගෙවීම්වලට වේගයෙන් යොමු වෙමින් පවතින රටකි. නෝට්‌ටු වෙනුවට මෙවැනි විකල්පයක්‌ පැමිණීම ආර්ථිකය මනා ව හසුරුවාගැනීමට උදව්වක්‌ ද වන බැවින් මේ සඳහා ඉන්දීය රජයේ අනුග්‍රහය ද විශාල ලෙස ලැබේ යෑයි අපේක්‌ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ ආයතන කිහිපයක්‌ ද මේ වන විට මෙලෙස ජංගම දුරකථනය හරහා මුදල් ගෙවීමේ යෙදුම් කිහිපයක්‌ ප්‍රචලිත කරන්නට වෙහෙසෙනු දැකිය හැකි ය. මේ ක්‍රමය කටයුතු පහසු කරවන්නක්‌ බවට විවාදයක්‌ නොමැති වුවත් මෙවැනි නව ප්‍රවේශයක්‌ වෙළෙන්දන් හා පාරිභෝගිකයන් අතරට ගෙන යැමට නම් විශාල ආකල්පමය අරගලයක්‌ කළ යුතු වීම සාමාන්‍ය ස්‌වභාවයයි. චීනයේ රතු ලියුම් කවර විප්ලවය වැනි වෙළෙඳ ප්‍රචාරණ උපක්‍රමයක්‌ සොයාගත හැකි නම් අපට ද කාසි නෝට්‌ටු භාවිතය අත හැර දැමූ ජාතියක්‌ බවට පත් වන්නට බැරිකමක්‌ නැත.

දමිත නිපුණජිත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *