පාපතර මිනිසුන්ගේ වෙඩිල්ලෙන් යාල හැඩ කල‘මිස්සක‘ අවසන් ගමන යයි – ‘අන්තිම මොහොතේ අමාරුවෙන් වැඩිහිටිකන්ද පේන ඔන්ඩච්චි වැවට උඹ එන්න ඇත්තේ.. ‘

යාල ජාතික වනෝද්‍යානයේ වාසය කළ මිස්සක නම් හස්තියා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් මෙම ඇතා ඊයේ (19දා) උදෑසන මියගොස් ඇත.

සති දෙකක කාලයක් මිස්සක මෙම තුවාලය හේතුවෙන් පීඩා විඳ ඇති අතර ඇතාගේ ඉදිරි වම් පාදයේ හා වම් ඇස ආසන්නයේ තුවාල ඇතිව තිබේ.මිස්සක අවුරුදු 35ක් පමණ වයස බව කියැවෙයි.වම් ඇස ආසන්නයේ ඇතිව තිබෙන තුවාල වෙඩි තැබීම හේතුවෙන් ඇතිව තිබෙන බව යාලේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ ඡායාරූප ශිල්පී කුෂාන් ජයසුන්දර මේ පිළිබඳව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළකල සටහනයි.

‘‘මිස්සක නම අහල තිබ්බට දැකල තිබ්බේ නෑ.. දකින්න පුදුම ආසාවකින් හිටියේ.. අන්තිමේදී මගෙ ඇස් උඹව දකින්න පින් කරල තිබ්බා හැබැයි ඒ මහා පව්කාර විදියකට, ඒ උඹව පන පිටින් දකින අන්තිම කෙනෙක් විදියට. මිස්සක උඹ විතරක් නෙවෙයි, අපිත් පව් කරලා තියනවා මේ සුන්දර කාලකණ්නි රටේ ඉපදෙන්න.. අහල නෑ උඹ කාටවත් කරදරයක් කරා කියලවත්.. එත් මේ මනුසතා කියන බුද්ධිමත් තිරිසන්නු උඹ වගේ කාටවත් කරදරයක් නැති, වැඩිය එලියටවත් එන්නේ නැති අහින්සකයෙක්ටවත් ඉන්න දුන්නේ නෑ. සියැසින් දැක්ක හින්ද දන්නවා උඹ කොච්චර අමාරුවකින්ද හිටියේ කියල..

ඔන්ඩච්චි වැවේ වැටිලා ඉද්දි උඹ ආපහු නැගිටින එකක් නෑ කියල හැමෝම කියද්දී.. මම ඔට්ටු ඇල්ලුවා උඹ හවස් වෙද්දී නැගිටිනවා කියල.. උඹ මට ලැජ්ජා කරේ නෑ .. මම කිව්වා වගේම ආපහු නැගිට්ටා.. උඹ ආපහු නැගිට්ට වෙලාවේ මට ආපු සතුට,, ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නෑ.. එත් දැන් උඹ අපිව දාලා ගිහින්.. අන්තිම මොහොතේ අමාරුවෙන් වැඩිහිටිකන්ද පේන ඔන්ඩච්චි වැවට උඹ එන්න ඇත්තේ.. මොකක්ද උඹ කරපු වැරැද්ද කියල අහන්න මෙහෙම කරන්න.. වැඩහිටි කන්දේ දෙයියෝ නෑ බන් ඒ වැඩහිටියේ ඉස්සර .. පොලොවේ මිනිස්සුත් නෑ බන් දැන් ඉන්නේ තිරිසන්නු .. නැත්නම් උඹට ඔහොම වෙන්න දෙන්නේ නෑ. නිවන්සුව මිස්සක.. ආපහු අපි අතරේ ඉපදෙන්න එපා‘‘..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *