මගීන් බේරා ගැනීමට ගොස් තම දිවි පිදු වීර ගුවන් සේවිකාවෝ කිහිපදෙනෙක් ගැන ඔබ නොඇසූ කතා මෙන්න

ගුවන් යානාව ලෝකයේ සුරක්ෂිතම ගමනාගමන ක්‍රමයයි.ඊට ප්‍රධාන හේතු අතර ගුවන් මාර්ග තදබද නොමැතිවීම,නවීන ගුවන් යානා ඉහළම තාක්ෂණික උපකරණ වලින් සමන්විත වීම ,හදිසි අවස්ථාවකදී ගුවන් යානාවක් බේරා ගැනීමට හැකි ක්‍රම හා විධි ගැන මනා පුහුණුවක් ඇති නියමුවන් සිටීම ආදිය ප්‍රධාන වේ.

එහෙත් මේ නියමුවන්ට අමතරව මගීන්ගේ නිරුපද්‍රතාවය රැක ගැනීමට දිවා රෑ වෙහෙස වෙන තවත් කණ්ඩායමක් සිටී.මොවුන් හදුන්වන්නේ Air Hostess නොහොත් Air Stewardess යනුවෙනි.ගුවන් යානයට නගින සෑම මගියෙකුම සිනහ මුහුණින් පිළිගෙන,ඔවුන්ට ගුවන් යානයට නැගීමට උදව් කරමින් මගීන්ට නිසි වේලාවට ආහාර පාන වලින් සංග්‍රහ කරමින් ඉතා ඉවසීමෙන් හා සිනහමුසු මුහුණින් ඔවුන් තම රාජකාරිය ඉටු කරයි.

නමුත් ගුවන් සහායිකාවන්ගේ නියම වටිනාකම පිළිබද තේරුම් ගැනීමට හැකි වන්නේ ගුවන් යානාවක් තුල හදිසි අවස්ථාවක් ඇතිවූ විටය.හදිසි අනතුරකදී ගුවන් නියමුවන් ගුවන් යානය බේරා ගැනීමට බලවත් වෑයමක යෙදෙද්දී යානයේ මගීන්ගේ ජීවිතය රැක ගැනීමේ සම්පුර්ණ වගකීම පැවරෙන්නේ ගුවන් සහායක සහායිකාවන්ටය.මෙම ලිපියෙන් විස්තර කෙරෙනුයේ හදිසි අවස්ථාවන්හිදී මගීන්ගේ ජීවිත බේරා ගැනීමට ගොස් සිය ජීවිතය පිදු ගුවන් සහායිකාවන් කිහිප දෙනෙකු පිලිබදවයි.

1968 අප්‍රේල් මාසයේ 8 වැනිදා මගීන් 116ක් සමග BOAC 712 අංකය සහිත බෝයින් 707 ගුවන් යානය ලන්ඩන් හීන්රෝ ගුවන් තොටුපලින් ගුවන් ගත වෙද්දී එහි එක එන්ජිමක් පොළොවට කඩා වැටුණි.ගුවන් නියමුවන් තිදෙනා හදිසි කවුළුවට නැග කඹයක ආධාරයෙන් බිමට පැන ගත්හ. ගිනිගත් ගුවන් යානයේ මගීන් නිරුපද්‍රිතව එලියට ගැනීමේ බරපතල වගකීම තිබුනේ ගුවන් සහායිකාවන් 11 දෙනාටය. ඔවුන් වහා තමන්ට නියමිත හදිසි දොරටු භාරගෙන Emergency Chute ක්‍රියාත්මක කළහ.

වම් පැත්තේ ඉදිරි හදිසි දොරටුව භාරව සිටියේ 31 හැවිරිදි ගුවන් සහායිකා ජේන් හැරිසන්ට ය.ඉදිරි පෙළ සිටි මගීන් බොහෝ දෙනා ඇගේ දිරිමත්කිරීම මත රබර් බෝට්ටුවට පැන ජීවිත බේරා ගත්හ.යානය තුලට කළු දුම වැදී හුස්ම ගැනීමටත් අපහසු වූ විට බිම සිටි ගිනි නිවන හමුදා නිලධාරීන් ඇයට බිමට පනින ලෙස කෑගැසීය.ඇය බිමට පනින්නට ගොස් අවසාන වරටත් යානය දෙස බැලුයේ වැරදීමකින් හෝ එක් මගියෙක්වත් ඉතුරු වී ඇත්දැයි දැන ගැනීමටයි.එවිට ඇයට ඇසුනේ “අනේ අපිව බේරගන්න” යනුවෙන් කුඩා දරුවෙකු කෑ ගසන හඩයි.වහා යානයේ ඈත කොනට ඇස් යොමු කල ඇය දුටුවේ ආසන පෙළක හිරවී ගින්නට දැවෙන්නට ඔන්න මෙන්න කියා සිටින කාන්තාවන් දෙදෙනෙකු හා කුඩා ගැහැණු දරුවෙකුය.මෙය දුටු ජේන් මොවුන් තිදෙනා කෙසේ හෝ මරණින් ගලවා ගැනීමේ චේතනාවෙන් ගිනිගෙන දැවෙන යානය තුලට නැවත දිවුවාය.මහත් පරිශ්‍රමයකින් ගින්න නිවා යානයට ඇතුළු වූ ගිනි නිවන භටයින්ට කාන්තාවන් දෙදෙනා හා පුංචි දියණිය සමග ජේන් හැරිසන්ගේ සිරුරු එක තැන තිබී හමුවිය.

මගීන් තිදෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට ගොස් තම ජීවිතය පිදු වීර ගුවන් සහායිකා ජෙනී හැරිසන්ට බ්‍රිතාන්‍යයේ සිවිල් වැසියෙකුට ලැබෙන ඉහළම ගෞරවය වූ ජෝර්ජ් ක්‍රොස් සම්මානය හිමි විය.

ගුවන් යානා ඉතිහාසයේ වීරතම ගුවන් සහායිකාව ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත්තේ Pan Am ගුවන් සමාගමේ සේවය කල 22හැවිරිදි පන්ජාබ් ජාතික Neerja Bhanot නම් තරුණියගේ නමයි.1986 සැප්තැම්බර් 5 වනදා ඇය සිය රාජකාරිය සදහා පිටත්ව ගියේ දින දෙකකින් එළබෙන තම උපන්දින උත්සවයට නැවත පැමිණීමේ චේතනාවෙනි.බොම්බායේ සිට ඇමරිකාව බලා යන Pan Am 73 ගුවන් යානයේ සේවය සදහා ඇය සහභාගී විය. බොම්බායෙන් පිටත් වූ එම ගුවන් යානය කරච්චියේ ටික වේලාවකට නැවැත්වීය.

ගුවන් යානයේ අමුත්තන්ට සංග්‍රහ කරමින් සිටි නිර්ජා හදිසියේම දුටුවේ තුවක්කු,පතොරම් හා පිහි ඔසවා ගත් ත්‍රස්තවාදීන් හතර දෙනෙකු යානය කරා දුව එමින් සිටින බවයි.පුහුණු කාලයේ ඉගන ගත් අන්දමට ඇය වහාම ඉන්ටකොම් දුරකථනය හරහා රහස් වචන කිහිපයකින් ගුවන් නියමුවන්ට සිදුවන්නට යන පැහර ගැනීම පිලිබදව දැනුම් දුන්නාය.මෙවැනි අවස්ථාවලදී නියමුවන්ට උපදෙස් ලැබී තිබෙන්නේ ත්‍රස්තවාදීන්ට ගුවන් යානය වෙනත් රටකට ගෙන යාමට නොහැකි වන ලෙස යානය අතහැර පලා යන ලෙසයි.ඒ අනුව ත්‍රස්තවාදීන් යානයට එන්නට පළමුව නියමු කුටියේ රහස් කවුළුවෙන් වහලයට නැග කබයක ආධාරයෙන් බිමට පැන පලා යන්නට නියමුවන් තිදෙනා සමත් විය.

ගුවන් යානයට ඇතුළු වූ ත්‍රස්තවාදීන් නිර්ජා හැර අනෙක් ගුවන් සහායිකාවන් දස දෙනාම ආසනවල බැද දැමීය.එම නිසා භීතියට පත්ව සිටි මගීන් 379 දෙනා අස්වැසීමටත් ඔවුන්ට කෑම බීම සැපයීමටත් තනිකරම කරන්නට සිදුවුයේ නිර්ජාටය.ත්‍රස්තවාදීන් ඇය හරහා පාකිස්ථානයට තම නියෝගය ඉදිරිපත් කළේය.ඒ සිරභාරයේ සිටින අල්කයිඩා සංවිධානයේ සාමාජිකයින් සියලු දෙනාම වහා නිදහස් නොකළහොත් පැය භාගයකට වරක් ඇමරිකන් මගියෙකුට වෙඩි තබා මරණ බවටයි.පකිස්ථානය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල නිසා ඔවුන් අහිංසක ඇමරිකන් මගියෙකුට වෙඩි තබා මරා දැමීය.ඉන්පසු ඔවුන් නිර්ජාට අණ කලේ සියලුම මගීන්ගේ පාස්පෝර්ට් එකතු කරන ලෙසටයි.ඇමරිකන් ජාතිකයින්ට අත්වන ඉරණම පිලිබදව හොදින් තේරුම් ගත් නිර්ජා පාස්පෝර්ට් එකතු කරන අතරේ ඉතා සුක්ෂම ලෙස ඇමරිකන් පාස්පෝර්ට් 41ක් ආසන යට හා කුණු බක්කිවල සැගවූවාය.

භීතියට පත් මගීන්ට වතුර බෙදන අතරේ ඇය එක දොරක් අසල වාඩි වී සිටි ශක්තිමත් පුරුෂයෙකු අමතා “ඔබතුමාට දැන් කම්මැලි ඇතිනේ.මේක කියවන්න” යනුවෙන් පවසා සගරාවක් ඔහු අත තැබීය.සගරාවේ පිටු අතර ඇය ගුවන් යානාවේ උපදෙස් මාලාවේ පොතෙන් ඉරා ගත් පිටු කිහිපයක් සගවා තැබීය.

පැය 16ක් ධාවන පථයේ නවතා තිබු ගුවන් යානයේ විදුලි ජනක යන්ත්‍රයේ තෙල් ඉවරවීම නිසා විදුලිය ඇන හිටියේය. තව මොහොතකින් පකිස්ථාන කමාන්ඩෝ භටයින් යානයට කඩා වදීයයි සිතු ත්‍රස්තවාදීන් යානාවේ මගීන් හා සේවක මණ්ඩලය මරාගෙන මැරෙන්නට තීරණය කළේය.ඒ අනුව ඔවුන් අදුරේම ගුවන් යානයේ හතර අතට වෙඩි තබන්නට විය.ඒ අවස්ථාවේ නිර්ජා ත්‍රස්තවාදීන්ට නොපෙනෙන ලෙස ආසන්නයේම තිබු හදිසි දොරටුව විවෘත කළාය.වෙඩි නොවැදුණු මගීන් එතනින් පහලට පැන දිවි බේරා ගත්හ. නිර්ජා හදිසි දොරටුව තුලින් මගීන් එකිනෙකා තල්ලු කරනු දුටු ත්‍රස්තවාදීන් ඇයගේ හිසට වෙඩි වරුසාවක් එල්ල කළේය.ඒ සමගම පකිස්ථාන කමාන්ඩෝ භටයින් යානය තුලට කඩා වැදුනි.නමුත් ඒ වන විටත් අහිංසක මගීන් 19 දෙනෙකු මිය ගොස් සිටියහ. නිර්ජාට පින්සිදු වන්නට මගීන් 359 දෙනෙකුගේ ජීවිත බේරුනි.නිර්ජාද ජීවිතයෙන් සමුගෙන තිබුණි.

නිර්ජාගේ මේ වීරකම පිලිබදව ලෝකයම කතා කල අතර ඉන්දියාවේ ඉහලම සිවිල් සම්මානය ඇයට පිරිනැමිණි. නිර්ජා වෙනුවෙන් විශේෂ අනුස්මරණ මුද්දරයක් ද ඉන්දියාව නිකුත් කරන ලදී.පාකිස්තාන් රජයද ඇයට වීර සම්මානයක් පුද කළේය. 2016 වසරේදී බ්‍රිතාන්‍ය ද ඇයට භාරත් ගෞරව සම්මානය පුද කළේය.

ගුවන් සහයිකාවන් තම දිවි පරදුවට තබා හෝ මගීන් බේරා ගන්නා පිරිසක් බව එදා ජේන් හැරිසන් හා නිර්ජා හාර්කොට් එදා මුළු ලොවටම පෙන්නුම් කළේය.

එම සත්‍ය සිදුවීම අළලා පසුගිය වසරේ චිත්‍රපටියක්ද එළිදැක්විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *