සුරතලයට ඇති කරන ඔබේ සුනඛයාට කවදාවත් නොකළ යුතු දේවල් 7ක්

ඔබ සුනඛයෙකු ඇති කරන කෙනෙක් නම් කවදාවත් ඔබේ සුනඛ සුරතලාට මේ දේවල් කරන්න එපා. මේ කරුණු 7 හොඳින් හිතට ගන්න.

1) සුනඛයාව ඔබේ වාහනය තුල තනි කර යාම.

මෙය සමහරු සිදු කරන විශාල වරදක්. සුරතලා සමඟ ගමනක් ගොස් යම් ස්ථානයක නතර වීමට සිදු වූ විට සුනඛයාව වාහනය තුල දමා වසා යාමට සමහරු කටයුතු කරනවා. නමුත් මිතුරනේ එය සතාට සෞඛ්‍යමය වශයෙන් හානිකර වෙන්න පුළුවන්. වීදුරු වසා දැමූ වාහනයක් තුල නොදැනුවත්වම හරිතාගාරයක (greenhouse එකක) ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. එමගින් එය තුල ඇති කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහල යාම සහ උෂ්ණත්වය වැඩි වීම සිදු වෙනවා. (මතක් කර බලන්න රස්නේ දවසක වාහනය වසා තබා ගොඩක් වෙලා ගොස් වාහනයට නගින විට ඔබට දැනෙන උණුසුම් හා අපහසුකාරී බව).එනිසා මෙසේ වාහනයක සුරතලා දමා වසා ගිය අවස්තාවකදී ඔබට යම් හේතුවක් මත ඉක්මනින් වාහනය වෙත නැවත පැමිණීමට නොහැකි වුනොත් වාහනය තුල ඇතිවන මෙම ස්වභාවය නිසා සුරතලා බෙහෙවින් අපහසුතාවට පත් වීමටත්, අධික වෙලාවක් ගත වුනොත් (විශේෂයෙන් අධික උණුසුම් දිනකදී නම්) මරණය පවා සිදු විය හැකි බවත් කිව යුතුයි.

මේ ප්‍රශ්නයේ අනික් පැත්ත නම් වීදුරු හැරදමා යාම ද අනතුරුදායක ය. එනම් සුරතලා එයින් ඉවතට පැන මහමගට පිවිසුනොත් වාහන මගින් ද අනතුරු සිදු විය හැක.එබැවින් වඩාත් බුද්ධිමත් විසඳුම නම් සුරතලා සමඟ ගමනක් යාමේ දී තවත් පුද්ගලයෙකු ඔබ සමඟ රැගෙන යාමට වගබලාගැනීමයි. එවිට එම පුද්ගලයාට සුරතලාගේ වගකීම භාරදී ඔබේ අවශ්‍යතා වලට ඉවතට යාමට ඔබට පුළුවන්.එසේ කල නොහැකි නම් සුරතලාවත් රැගෙන වාහනයෙන් ඉවතට පැමිණීමට වගබලාගන්න.

2) දවස පුරාම දම්වැලක් දමා තැබීම.

සුනඛයන් යනු සමාජශීලී සතුන්ය. එවැනි සතුන් දවස පුරාම දම්වැල් දමා ගැටගසා තැබීම විශාල ලෙස මානසික ගැටළු ඇතිකරවීමට සමත් වනු ඇත.එසේම ව්‍යායාම ලැබීමට ඇති ඉඩකඩ අහිමි වීම නිසා සෞඛ්‍ය ගැටළු ද ඇති වනු ඇත. එබැවින් කිසි විටෙකත් මෙය නොකළ යුතුය. නමුත් නොකරම බැරි අවස්තාවක් ආවොත්, අවම වශයෙන් පැය 1-2 කට වරක් වත් සුරතලා සිටින ස්ථානයට ගොස් සුවදුක් බැලීමට වගබලාගන්න. ඒ වගේම අදාළ ස්ථානයේ ප්‍රමාණවත් තරම් ජලය තැබීමටත්, අධික හිරුඑලිය නොවැටෙන පරිදි ආවරණය කර තැබීමටත් වගබලාගන්න.

වඩාත්ම සුදුසු ක්‍රමය නම් සුනඛ සුරතලාට පවුලේ සාමාජිකයෙකු මෙන් නිවැසියන් සමඟ ජීවත් වීමට ඉඩ දීමයි. කූඩුවක තබන සුනඛයෙකුට වුවද දිනකට පැය කීපයක් පවුලේ අය සමඟ කාලය ගත කිරීමට සහ විනෝද වීමට මෙන්ම ව්‍යායාම සඳහාද අවස්තාව ලැබීම අනිවාර්යය.

3) සුනඛයාගේ දන්ත සෞඛ්‍යය පිලිබඳ නොසලකාහැරීම.

බොහෝ දෙනෙක් සුනඛ සුරතලාගේ දන්ත සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්නේ නෑ. එය අපේ රටේ විශාල අඩුපාඩුවක්. සුනඛයන්ටත් දන්ත රෝග ඇති විය හැකියි. එබැවින් වසරකට වරක් වත් පශුවෛද්‍යවරයෙකුට පෙන්වා සුරතලාගේ දත් පරීක්ෂා කරවාගැනීමට සැලකිලිමත් වන්න. එසේම දත් බුරුසුවක් ආධාරයෙන් දත් මැදීම ද හොඳ පුරුද්දක්. ඒ සඳහා කුඩා දරුවන් වෙනුවෙන් සැකසුනු දත් බුරුසු භාවිතා කරන්න පුළුවන්. (නමුත් මිනිසුන්ගේ භාවිතයට ඇති දත්බෙහෙත් [tooth-paste] වර්ග කිසිවිටෙක සුනඛයන් වෙනුවෙන් භාවිතා කරන්න එපා. එය ඔවුන්ට අහිතකරයි). සාමාන්‍ය පරිදි බුරුසුව ජලයෙන් තෙමාගෙන දත් මැදීම ප්‍රමාණවත්. සතියකට වරක් දෙවරක් පමණ මෙසේ කිරීම වුවද ප්‍රමාණවත්.එසේ කිරීම අපහසු නම් අවම වශයෙන් සුරතලාගේ දත් පිරිසිදු වීම සඳහා සැපීමට ලබා දිය හැකි chew toys හෝ chew treats ලබා දීම සිදු කරන්න පුළුවන්.

4) අනවශ්‍ය ලෙස පහරදීම.

සුනඛ සුරතලාට කිසිවිටෙකත් අමානුෂික පහරදීම් සිදු කරන්න එපා. (වැරද්දකදී දඬුවම් කිරීමට සිදුවන අවස්ථා තිබෙනවා තමයි. නමුත් දඬුවමක් සහ අමානුෂික පහරදීමක් අතර වෙනස වටහාගත යුතුය). ඇතැම් සුනඛ හිමිකරුවන් තම සුරතලාගේ සුළු වැරද්දකදී වුවද ඉතා තදබල ලෙස සුරතලාට පහරදීමට පෙළඹෙන අවස්ථා අපි දැක තිබෙනවා. මෙසේ සිදු කිරීම ඇත්තෙන්ම අනවශ්‍ය වන අතර, එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සුරතලා ඔබට ආදරය කරනු වෙනුවට බියෙන් ජීවත් වීමට පෙළඹීමයි.මතක් කර බලන්න. පාසල් සමයේ ඔබ වැඩියෙන්ම ආදරය කලේ ඔබට පොඩි වැරද්දටත් වේවැලෙන් පහරදෙන ගුරුවරුන්ට ද? කරුණාවෙන් අවවාද දෙන ගුරුවරුන්ට ද?” සුරතලුන්ටත් මේ අන්දමටම හැඟීම් ඇති වනු ඇත.)

සැලකිය යුතුයි: මේ කරුණින් කියවෙන්නේ නැහැ ඔබේ සුරතලා කරන ඕනෑම වැරැද්දකට ඉඩ දී හුරතල් කල යුතු බවක්. එහෙම වැරදියට තේරුම්ගන්න එපා. දඬුවම් කර හෝ වැරදි හදාගත යුතු අවස්ථා තිබෙනවා. නමුත් දඬුවමක් සහ අමානුෂික පහරදීමක් අතර විශාල වෙනසක් ඇති බව තේරුම්ගත යුතුය. සුරතලුන් සිදු කරන බොහෝ වැරදි වලට තදින් බැන වැදීම පමණක්ම වුවද බොහෝ විට ප්‍රමාණවත් වෙනවා.

5) සුනඛයන්ට කිසිම හැඟීමක් දැනීමක් නැහැ යයි සිතා කටයුතු කිරීම.

කිසි විටෙකත් මෙසේ සිතා කටයුතු නොකළ යුතුයි. සත්‍ය වශයෙන්ම සුනඛයන්ට ඉතා හොඳින් හැඟීම් දැනීම් ඇති වෙනවා අපට මෙන්. දුක, වේදනාව, පාළුව, වැනි හැඟීම් ඔවුන්ට පැහැදිලිවම ඇති වෙනවා. ඒ වගේම ඔබ සුරතලාට යම් වෙනස්කමක් කලොත් එය ඉතා හොඳින් ඔවුන්ගේ සිතට දැනෙනවා. ඒ පිළිබඳව සිත් වේදනාවක් ඔවුන් තුල ඇති වෙනවා. මේ ගැන දැනගෙන කටයුතු කල යුතුයි. එසේම ඔවුන්ට යමක් හොඳින් මතක තිබෙනවා. සමහරු හිතනවා ඇති “අද කරන දේ බල්ලට හෙට වෙද්දී මතක නෑ” කියලා. ඒත් නිකමට මෙහෙම හිතන්නකෝ. අඳුරන්නේ නැති සුනඛයන් ඔබ වෙත බුරාගෙන එනවා. නමුත් ඔබ එක් වරක් හෝ ආහාරයක් ලබා දුන් සුනඛයෙක්, වසරක් පමණ කාලයක් ගත වීමෙන් පසුව ඔබට නැවත මුණගැසුණු විටත් වලිගය වනනවා. ඔවුන්ගේ මතකය ගැන ඊට වඩා උදාහරණ අවශ්‍ය නෑනේ…

6) ඇතැම් රෝග වලදී පශුවෛද්‍ය උපදෙස් ලබා නොගෙන ගොඩ වෙදකම් කිරීම.

සමහර සුනඛ හිමිකරුවන් හරියාකාර දැනුමක් නොමැතිව සුනඛයන්ගේ ඇතැම් රෝග වලට ගොඩ වෙදකම් කිරීමට පෙළඹෙනවා. එනම් නිවසේදී සාදාගන්නා අත්බෙහෙත් වැනි දේවල් සිදු කරන්නට පෙළඹෙනවා. නමුත් අවසානයේ එයින් සිදු වන්නේ සුනඛයා තුල වඩාත් බරපතල රෝගාබාධයක් තිබුනොත් එය තවදුරටත් උත්සන්න වීමයි. බොහෝ විට සුළු බඩේ අමාරුවක්, වමනයක්, ආදී වශෙයන් පිටතට පෙනෙන්නට තිබෙන රෝග ලක්ෂණ, වඩාත් විශාල රෝගයක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. එබැවින් බුද්ධිමත්ම විසඳුම සුදුසුකම් ලත් පශුවෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමයි. එසේ නොමැතිව හිතුමතේ ඖෂධ වර්ග ඔබම තීරණය කර ලබා දෙන්නට යාම සුරතලාගේ ජීවිතයට හානියක් වනු ඇති. (මිනිසුන් සඳහා භාවිතා වෙන පැනඩෝල් වැනි බොහොමයක් ඖෂධ සතුන්ට විෂ සහිතය).

7) වරදකදී දඬුවමක් ලෙස සුනඛයා කූඩුවට දැමීම.

සුනඛයන් ඇතිකරන බොහෝ දෙනෙක් මෙය නොදැනුවත්ව කරන ඉතාම වැරදිසහගත ක්‍රියාවක්. සුරතලා වැරද්දක් කල සැනින් එයට දඬුවමක් ලබා දීම ගැටළුවක් නොවේ. නමුත් දඬුවම වශයෙන් ‘කූඩුවට දැමීම’ සිදු කලොත් සුරතලාට කූඩුව පේන්නේ සිර කුටියක් ලෙස ය. එවිට කූඩුව දකින වාරයක් පාසා සුරතලාගේ සිතේ ඇති වන්නේ අප්‍රසන්න හැඟීමකි. එවිට වෙන ඕනෑම අවස්තාවකදී වුවද කූඩුවට යාමට අකමැති වීමේ සිතුවිල්ලක් සුරතලාගේ සිතේ තැන්පත් වනු ඇත.එය එසේ නොවිය යුතුය.සත්‍ය වශයෙන්ම කූඩුව යනු සුරතලාගේ නිවස හෝ නිදන කාමරය බවට පත් විය යුතුය. කූඩුවට යාම යනු “සුව නින්දක් ලැබීමට තමන්ගේම නිවසට යනවා” යන සිතුවිල්ල ඇතිකරවන ක්‍රියාවක් විය යුතුය. එබැවින් දඬුවම් දෙන අවස්තාවකදී එයට කූඩුව සම්බන්ධ කරගන්න එපා.

ඉතින් යාලුවනේ, මේ කරුණු 7 හොඳින් හිතට ගන්න. මිතුරන්ටත් දැනගන්න share කරන්න.

උපුටාගැනීම :- PetsLanka.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *