වැලිකඩ බන්ධනාගාරයේ ඇති අමුතු සංස්කෘතියේ ඔබ නොදත් කතාව මෙන්න

සිරකරුවෝද මනුෂ්‍යයෝය.ඒ වැලිකඩ බන්ධනාගාරය අසලින් යන එන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන සේ එහි තාප්පයේම සිරකරුවකු විසින් නිර්මාණය කරන ලද වැකියකි. ඒ සිරකරුවෝ එම බන්ධනාගාරය තුළ අපූරු සංස්කෘතියකට උරුමකම් කියති. ඇතැම් බන්ධනාගාර නිලධාරීහුද එම සංස්කෘතියේ කොටස්කරුවෝය. මේ සිරකරුවෝ සිරගතව ඇත්තේ සමාජ විරෝධී අමානුෂීය දේ සිදුකිරීම වෙනුවෙන් වුවද බන්ධනාගාරය තුළදීද ඔවුන් ඒ ක‍්‍රියාකාරකම්වල නිරත වීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ සඳහා ඇතැම් නිලධාරීන්ගෙන් ලැබෙන පිටුබලයද සුළුපටුනොවේ.

රටේ නමගිය අපරාධකරුවන්ට සම්බන්ධ ගෝලබාලයන් කලින් යහමින් බන්ධනාගාරගතව සිටින නිසා එම නමගිය අපරාධකරුවා අවසන් මොහොතේ බන්ධනාගාරයට පැමිණෙද්දී ඔහු ඒ තුළ හැසිරෙන්නේ රජෙකු ලෙසය. ඔහු වෙනුවෙන් කිහිප වරක්ම ගෝල බාලයන් බන්ධනාගාරතවීමට ඉදිරිපත් වෙන අතර අවසන් මොහොතේ බැරිම තැන නායකයා ඇතුළට පැමිණෙයි. එවිට ගෝල බාලයන්ගෙන් නායකයාට නිබඳ ආරක්ෂාව සැලසේ. එසේ පැමිණෙන නායකයන්ගෙන් නිලධාරීන්ට කරදර අඩු නිසා නිලධාරීහු ද බොහෝ විට ඔවුනට සමීප වෙති. නිතර නිතර වැරැදි සඳහා බන්ධනාගාරගතවන අපරාධ කරුවන්ගෙන් නිලධාරීන්ට කරදර වැඩි නිසා සාමාන්‍යයෙන් නිලධාරීහු හැම විටම ගන්නේ ඉහත කී දරුණු ගණයේ අපරාධකරුවන්ගේ පැත්තය.

බන්ධනාගාරයෙන් පිටත සමාජයේ තිබෙන කුඩු, අබිං, ගංජා, ටැබ්ලට් වැනි බොහෝ මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළ ද බහුලය. ඒවා බොහෝ විට එන්නේ රැඳවියන් බැලීමට එන ඔවුන්ගේ හිතවතුන් මාර්ගයෙනි. කෙසෙල් ගෙඩි තුළ, බත් පාර්සලයේ, මස් කැබලි තුළ එසේත් නැතිනම් රැඳවියන්ට රැගෙන එන රබර් සෙරෙප්පු තුළ සඟවාගෙන මෙම මත්ද්‍රව්‍ය ඇතුළට පැමිණේ. තවත් සමහර අවස්ථාවල බන්ධානාගාරයේ තාප්පයට ඉහළින් වනාතමුල්ල වැනි ප‍්‍රදේශවලින් ටෙනිස්බෝලවල හෝ ඇපල් ගෙඩි තුළ සඟවා විසි කිරීමෙන් බන්ධනාගාරය තුළ සිටින රැඳවියෝ ලබාගනිති. එලෙස තාප්පයට ඉහළින් ඒවා එවන වේලාව පිටස්තරයන් විසින් ජංගම දුරකථන මාර්ගයෙන් රැඳවියන්ට කලින් දැනුම් දෙනු ලබති. ජංගම දුරකථනද රැඳවියන් අත ඉතාම බහුලයි.

නිලධාරීහු කෙතරම් පරීක්ෂා කළ ද ඒවා සූක්ෂමව බන්ධනාගරය තුළට ගෙන්වා ගැනීමට හා පරිහරණයට රැඳවියෝ ඉතාම දක්ෂයෝය. මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා ඇතැම් නිලධාරීහු සම්බන්ධ වන බවද බන්ධනාගාරය තුළ ප‍්‍රසිද්ධ රහසකි. හිමිදිරි පාන්දර 4.00ට වැනි නිලධාරීන්ගේ අවධානය අඩු වේලාවල්වල මේවා තාප්පයට ඉහළින් බන්ධනාගාරය වෙත පතිත කරගැනීම රැඳවියන්ගේ සාමාන්‍ය සිරිතය.

මහා පරිමාණයේ කුඩු ජාවාරමකට සම්බන්ධ නායකයකු බන්ධනාගාරගතවූ විට එම ජාවාරමට සම්බන්ධ වී බන්ධනාගාරගතවී සිටින වෙනත් අපරාධකරුවන් ඔහුට සමීප වීම සාමාන්‍ය තත්ත්වයකි. එසේ සමීප වී යම් රැඳවියකුට මත්කුඩු පානය කිරීමට අවශ්‍ය වූ විට ඊසි කෑෂ් මගින් එළියේ අදාළ පුද්ගලයාගේ ගිණුමට මුදල් බැරකළ පසු මත්කුඩු ලබාදීම සිදුවෙයි. මේ කටයුතු සිදුවන්නේ ද ජංගම දුරකථන මාර්ගයෙනි. එම දුරකථන භාවිතයට වැටකඩොලූ බැඳීම නිලධාරීන්ට අපහසුවී ඇත්තේ එක් රැඳවියකු සතු ජංගම දුරකථනය නිලධාරීන් පරීක්ෂාවට පැමිණෙද්දී ඊට පෙර බන්ධනාගාරය තුළම සිටින ඔහුගේ ගෝල බාලයින්ගේ අතින් අතට මාරු කිරීම නිසාය. නිලධාරීන්ට සියලූම රැඳවියන් එකවර පරීක්ෂා කිරීම ප‍්‍රායෝගිකව අපහසුය.

සාමාන්‍යයෙන් ධනවත් පුද්ගලයකු යම්කිසි වරදකට බන්ධනාගාරගත වූ විට ඔහුට සාමාන්‍ය සිරමැදිරියක කල් ගෙවීම අපහසු නිසා බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකුගේ සහයෝගය ලබාගෙන ව්‍යාජ අසනීපයක් පෙන්වා වෛද්‍යවරයාගේ නිර්දේශය මත බන්ධනාගාර රෝහලට ඇතුළත් වීමද යහමින් සිදුවෙයි. ඒ වෙනුවෙන් අදාළ ධනවතා අල්ලස් ලබා දීමට ද පෙළඹීම සාමාන්‍ය සිරිතය. ඒ පුද්ගලයාගේ රෙදි සෝදා දීමේ සිට සියලූ සත්කාර සිදුවන්නේ නිලධාරීන්ගේ බලපෑම මත වෙනත් සිරකරුවන් අතිනි. ඔහු වෙනුවෙන් පිටතින් ගෙනෙන රසමසවුළු උදේට එක් සිරකරුවකුගේ නමටත් දවාලට තවත් සිරකරුවෙකුගේ නමටත් රාත‍්‍රියට වෙනත් කෙනෙකුගේ නමටත් බන්ධනාගාරයට ගෙන්වා ගැනීමට නිලධාරීහු සහය වෙති. ඒ සිරකරුවන්ට අමුත්තන් හමුවීමට ලබාදී ඇති දවසේ අවස්ථා තුනේදීය. ඉරිදා දිනයේ අමුත්තන්ට එසේ රැඳවියන් හමුවීමට ඉඩ කඩ සලසා නොමැති බැවින් සෙනසුරාදා දිනයේ එම ධනවතා වෙනුවෙන් කල්තබාගෙන ආහාරයට ගත හැකි කෑම බීම ගෙන්වා දීමට ද නිලධාරීහු උනන්දු වෙති.

මීට අමතරව දීර්ඝ කාලීනව අපරාධ සඳහා අච්චු ලබා සිටින අපරාධකරුවන් ඇහැට කනට පෙනෙන තරුණ වයසේ කඩවසම් සිරකරුවන් සමලිංගික කටයුතු සඳහා තබා ගැනීමද බන්ධනාගාරය තුළ කැපී පෙනේ. එම තරුණ සිරකරුවන් වෙනත් සිරකරුවන් හා කතාබහ කිරීම ද ඉහත සඳහන් කළ අපරාධකරුවන්ට නුරුස්සයි. මේවා පාලනය කිරීම නිලධාරීන්ට අපහසු වී ඇත්තේ එම කටයුතු සිදුවන්නේ රාත‍්‍රී කාලයේ සිරමැදිරි තුළට ඔවුන් කොටු වූ අවස්ථාවලදී වීම නිසාය. සාමාන්‍යයෙන් එසේ රාත‍්‍රියේ සිරමැදිරි පරීක්ෂාවට නිලධාරීන් සහභාගි නොවන නිසා එම කටයුතුවලට අපරාධකරුවන්ට පහසුය. අනෙක් අතට මෙම අපරාධකරුවෝ බන්ධනාගාර භුමියේ දකිනා යකඩ කෑල්ලක්, කම්බි කූරක් කුස්සි පාටියේ සිටින තවත් අපරාධකරුවෙකුට බීඩියක්, සිගරට්ටුවක් වැනි අල්ලසක්දී ආත්මාරක්ෂාව සඳහා ආයුධයක් සේ සකසා ගැනීමට ද පුරුදුව සිටිති.

රැුඳවියන් උසාවි රැගෙන යාමේදී හා නැවත ගෙන ඒමේදී 200 – 300ත් පමණ එකවර බස් රථවලින් ප‍්‍රවාහනය කරන අවස්ථාවල ඔවුනොවුන් අතර ගැටුම් නිර්මාණය විය හැකි නිසා ඒ ගැන වැඩි අවධානයකින් යුතුව කටයුතු කිරීමටද නිලධාරීහු වගබලා ගනිති. සාමාන්‍යයෙන් පාතාලයට සම්බන්ධ අපරාධකරුවන් ඇප ලබා එළියට යෑම ඔවුනට අනාරක්ෂිත නිසා කුමන හෝ වරදක් පටලවාගෙන නැවත බන්ධනාගාරයට පැමිණිම සාමාන්‍ය සිරිතය. සමහරෙකු ඇප ලබා දුන්න ද ඇප ගෙවීමට නොහැකි බව පවසා දිගටම සිරගතව සිටීමට පෙලඹෙන්නේද එළියට වඩා ඇතුළ ඔවුනට ආරක්ෂා සහිත නිසාය.

බන්ධනාගාර නිලධාරීන් අතර අනංගයෝද සිටිති. දරුණු අපරාධ සිදුකර වසර 10, 15, 20 වැනි දිගු කාලයකට අච්චු ලබා බන්ධනාගාරගතවන අපරාධකරුවන් බැලීමට එන ඔවුන්ගේ ඇහැට කනට පෙනෙන බිරින්දෑවරුන්ට චාටුබස් පවසා අනියම් සම්බන්ධකම් පවත්වාගෙන යාමට ඔවුහු දක්ෂයෝය. දීර්ඝ කාලයක් තම සැමියා බැලීමට එන මෙම කාන්තාවන්ට ඔවුන්ගේ සැමියන්ට විශේෂ සැලකිල්ලක් දක්වා බන්ධනාගාරය තුළදී උදව් කිරීමට පොරොන්දු වන මෙම අනංගයෝ සූක්ෂමව එම කාන්තාවන් හා අනියම් සබඳකම් ගොඩනගා ගනිති.

අනෙක් අතට යම් අවස්ථාවක මෙම නිලධාරීන් දන්නා හඳුනන මිතුරෙකුගේ හෝ ඥාතියෙකුගේ මුදල් පසුම්බියක් මරදාන, බොරැල්ල, වනාතමුල්ල, පිටකොටුව ආදී කොළඹ නගරාසන්නයේදී පික්පොකට්කරුවකු සොරාගතහොත් බන්ධනාගාරය තුළ සිටින ඇතැම් සිරකරුවෙක් ඒ ප‍්‍රදේශවල සිටින පික්පොකට්කරුවන්ට ජංගම දුරකථනයෙන් කතාකර එම මුදල් පසුම්බිය සොයා දීමට කටයුතු කරන අවස්ථාද නැත්තේම නොවේ. ඒ වාගේම යම් නිලධාරියෙකුගේ සාදයකදී ඒ සඳහා බන්ධනාගාරගත රැුඳවියන්ගේ එළියේ සිටින මිතුරන් ලවා ඊට ගැළපෙන හෝටලයක් සොයාදීම, මත්පැන් බෝතල් සපයාදීම වැනි කටයුතු වෙනුවෙන්ද සමහර රැඳවියෝ උදව් කරති.

එසේම සමහර දිනවල මුළු බන්ධනාගාරයම බලා කියා ගැනීමට නිලධාරීන් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට සිදුවන නිසා එවන් අවස්ථාවල මෙම රැඳවියන්ට ඉතා මානුෂික මුහුණුවරකින් කතා බහ නොකරන්නේ නම් උද්ගතවන තත්ත්වය තරමක් භයානකය.

දිගු කාලයකට අච්චු ලැබූ රැඳවියන් පසුවනුයේ දැඩි මානසික පීඩනයකින්ය. එනිසා ඔවුන් සමග ගනුදෙනු කළ යුත්තේ ඉතා මානුෂීය ශෛලියකින්ය. සාමාන්‍යයෙන් රාත‍්‍රී කාලයේ රැඳවියන්ගේ සිරමැදිරි පරීක්ෂාවට නිලධාරීන් නොයන්නේ සමහර අවස්ථාවල ඔවුන් සිටින්නේ මධුවිතෙන් පදම්වී ගී ගයමින් ඔවුනටම වෙන්වූ ලෝකයක නිසාවෙනි. එවන් අවස්ථාවල කෙරෙන බාධාවීම් ඔවුනට රුස්සන්නේ නැත.

බන්ධනාගාරය තුළ සිරකරුවෝද මනුෂ්‍යයෝය  යන්න සනාථ වන්නේ ඒ තුළ සිටින අපූරු කලාකරුවන්ගේ කලා හැකියාවන් නිරීක්ෂණය කිරීමේදීය. සබන් කැටවලින් නිර්මාණශීලි කැටයම් කැපීමට, පොල්කටුවලින් දර්ශනීය අත්කම් නිර්මාණයටද මෙම රැඳවියන්ගෙන් ඇතැමෙක් දක්ෂයෝය. බන්ධනාගාරයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අභියස ඇති එම නිර්මාණ අලෙවි කෙරෙන කුටිය ඊට කදිම නිදසුනක්ය.

කෙසේ වුවද අවසන් වශයෙන් සටහන් කළ යුත්තේ මෙම රැඳවියන් හැසිරවීමට එහි සිටින නිලධාරීන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් මදි බව සහ එම නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපයන් පිළිබඳව ඊට ඉහළින් සිටින බලධාරීන් සොයා බැලිය යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *