වැඳිරිය ගත් ඡායාරූපයේ අයිතිය ඉල්ලා උසාවි ගිය අපූරු චායාරූප ශිල්පියා

වැඳිරියකගේ ඡායාරූපයක් ප්‍රකාශන අයිතිය පිළිබඳ නීතියේ Law of Copyright මූලික සිද්ධාන්තවලට අභියෝග කරමින් අධිකරණයේ නඩු නිමිත්තක් බවට පත්වූ අවස්ථාවක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි.මෙම ඡායාරූපයෙහි ඇති විශේෂත්වය වන්නේ වැඳිරිය විසින් ම මෙම ඡායාරූපය ලබාගෙන තිබීමයි.ඉන්දුනීසියාවේ උතුරු සුලාවෙසි ජාතික වනෝද්‍යානයේදී ඡායාරූප ශිල්පියෙක් තම කැමරාව අමතක වී දමා ආවේය.

මැකාකිව් වර්ගයේ කළු වැඳිරියක් මෙම කැමරාව අසුලාගෙන ඡායාරූප රාශියක් ලබාගත්තාය. එම කැමරාවෙන් ඇය තමාගේම ඡායාරූපයක් ද ලබාගත්තාය. මෙහි දැක්වෙන්නේ එම ඡායාරූපයයි.

මෙම ඡායාරූපයට ලෝකයේ බොහෝ පුවත්පත්වලින් සහ වෙබ් අඩවිවලින් ප්‍රසිද්ධිය ලබා දී තිබිණ. ඡායාරූපය ලබා ගැනීමෙන් පසු වැඳිරිය එම කැමරාව ගලක ගසා විනාශ කර දැමුවාය.

කැමරාව අයත් වූයේ වන ජීවි සතුන් ඡායාරූපගත කරන ඩේවිඩ් ස්ලාටර් (Mr. David Slater) නමැති ඡායාරූප ශිල්පියාටයි.එම ඡායාරූපයේ ප්‍රකාශන අයිතිය තමාට හිමි බව කියමින් ඡායාරූප ශිල්පියා වැඳිරියගේ ඡායාරූපය පළ කළ පුවත්පත් සහ වෙබ් අඩවිවලින් ගාස්තු අයැද සිටියේය. එහෙත් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

මෙම තීරණයෙන් අතෘප්තියට පත් ඡායාරූප ශිල්පියා නඩු මඟට පිවිසියේය. මම වෘත්තිය ඡායාරූප ශිල්පියෙක්. එය මගේ ජීවන මාර්ගයයි. මට ඉන්දුනීසියාවේ මෙම වනාන්තරයේ සංචාරය කිරීම සඳහා පවුම් 2000 ක් වියදම් වුණා. එම ඡායාරූප ශිල්පියා කියා සිටියේය.මෙම ඡායාරූප ශිල්පියාට එම ඡායාරූපය අයත් නොවන්නේ නම් එය අයත් වන්නේ කාට ද? බ්‍රිතාන්‍ය ප්‍රකාශන අයිතිය පිළිබඳ නීතිය අනුව ප්‍රකාශන අයිතිය හිමි වන්නේ මානව ක්‍රියාකාරකමකින් බිහිවන නිර්මාණයකටයි.

ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපය කිසිදු සංස්කරණයකින් හෝ නවීකරණය කිරීමකින් තොරව පළ කර ඇති බව පෙනී ගියේය. මෙම ඡායාරූපය සංස්කරණය හෝ නවීකරණය කළේ නම් එම කාර්යය කළ තැනැත්තාටත් බුද්ධිමය දේපළ හිමිකමක් ලැබේ.ඊළඟට මතු වූ තර්කය වූයේ ප්‍රකාශන අයිතිය නීතිය දේපළ නීතියක් බවයි. බ්‍රිතාන්‍ය නීතියට අනුව මිනිසුන් නොවන අයට දේපළ අයිතියට හිමිකම් පෑ නොහැක. දේපළ අයිතියකට හිමිකම් පෑ හැක්කේ මානවයන්ට පමණකි. එබැවින් මෙම ඡායාරූපයේ හිමිකම වැඳිරියට අයත් නොවේ.

බ්‍රිතාන්‍ය නීතිය අනුව නිර්මාණයක් කරනු ලැබු පුද්ගලයා එම නිර්මාණයේ හිමිකරුයි. ඡායාරූපයක් සම්බන්ධයෙන් නම් කැමරාව ක්‍රියාත්මක කළ තැනැත්තා එම ඡායාරූපයේ හිමිකරුයි. මෙහිදී කැමරාව වෙනත් අයෙකුට අයත් වූවත් ඡායාරූපයේ අයිතියට හිමිකම පෑ හැක්කේ එම කැමරාවෙන් ඡායාරූපය ලබා ගත් තැනැත්තාටයි.

කෙසේ වෙතත් ඡායාරූප ශිල්පියා පෞද්ගලිකව ඉදිරිපත් නොවී ඡායාරූප ගන්නා අවස්ථා ද ඇත. වන ජීවින් ඡායාරූපයට නඟන ඡායාරූප ශිල්පීන් කැමරාව ගසක් උඩ හෝ වෙනත් තැනක අටවා තවත් ස්ථානයකට ගොස් රැහැන් මාර්ගයෙන් හෝ දුරස්ථ පාලකයක් මඟින් කැමරාව ක්‍රියාත්මක කරවන අවස්ථා ද තිබේ.

එවැනි අවස්ථාවල ඡායාරූප ශිල්පියාගේ නිර්මාණ හැකියාව ද ප්‍රදර්ශනය වන බැවින් එම ඡායාරූපයේ අයිතිය ඡායාරූප ශිල්පියාට හිමි වෙයි.මානවයන් නොවන සත්ත්වයන් නිර්මාණයක් කළත් එය ප්‍රකාශන අයිතිය පිළිබඳ නීතියෙන් ආරක්ෂා නොකිරීමෙන් සතුන්ට අසාධාරණයක් සිදුවන බවට ද තර්කයක් මතු විය. කෙසේ වෙතත් සතෙකු අතින් බිහිවන යමක් නිර්මාණය යන අර්ථයෙන් සැලකිය නොහැකි බවට තර්ක කෙරිණ. නිදසුනක් වශයෙන් බල්ලෙකු හෝ පූසෙකු තීන්ත බාල්දියක් පෙරළාගෙන කැන්වසයක් මත දැඟලුවහොත් චිත්‍ර නිර්මාණයක් මතුවිය හැකිය. එහෙත් එම චිත්‍රය කෙතරම් කලාත්මක වුවද නීතියෙන් එම චිත්‍රයේ අයිතිය බල්ලාට හෝ බළලාට පැවැරිය නොහැකිය.

වැඳිරිය විසින් ගනු ලැබු ඡායාරූපය කෙතරම් නිර්මාණාත්මක වුවද එයට ප්‍රකාශන අයිතිය පිළිබඳ නීතියේ රැකවරණය ලබා දිය නොහැකිය.එම වැඳිරිය අදාළ කැමරාව ගලක ගසා කුඩු පට්ටම් කළ අවස්ථාවේ නැඟුණ ශබ්දය සංගීත නිර්මාණයක් ලෙස සැලකිය නොහැකිය. ඒ අනුවම යමින් වැඳිරියට එම ඡායාරූපයේ ප්‍රකාශන අයිතිය හිමි නොවන බවට තර්ක ඉදිරිපත් විය. එම වැඳිරිය කෙතරම් දක්ෂ ලෙස ඡායාරූපය ලබාගත්ත ද බ්‍රිතාන්‍ය නීතියෙන් එම ඡායාරූපය පිළිබඳ අයිතිය වැඳිරියට හිමි නොවන බවට අවසානයේ තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *