අදටත් ලෝකයේ රජකම් කරමින් සිටින බෞද්ධ රජවරු තිදෙනා

1. දස වන රාමා රජු (මහා වජිරලොන්ග්කොර්න් රජතුමා) – තායිලන්තය

මහා වජිරලොන්ග්කොර්න් බෝධින්ද්‍රදෙබයවරන්කුන් හෙවත් “දස වැනි රාමා රජු” උපත ලබන්නේ 1952 ජුලි මාසේ 28 වැනිදා. චක්‍රී රාජවංශයෙන් කිරුළට හිමිකරුවා බවට පත්වන මේ රජතුමා රාජ්‍ය වදාරන්නට ගන්නේ දස වැනි රජතුමා විදිහටයි. මේ වන විට දස වැනි රාමා රජතුමාට වයස අවුරුදු 64 වන අතර මෙයට පෙර රාජ්‍යත්වයට පත්ව සිටියේ “නව වැනි රාමා” හෙවත් භූමිභෝල් අදුල්යාදේජ් රජතුමායි එතුමා දසවන රාමා රජතුමාගේ පියාණන් වනවා.

ථෙරවාදී බෞද්ධ රටක් ලෙස තායිලන්තය පවත්වාගෙන යාමේදී එරට සම්ප්‍රදායට අනුගතව දසවන රාමා රජතුමාද පැවිදි දිවියක් ගත කරලා තිබෙනවා. ඒ 1978දී වයස 26ක තරුණයෙකුව සිටිත්දී.නමුත් පුවත් වාර්තා ගෙන හැර දක්වන අන්දමට බෞද්ධ පරිසරයක ජීවත් වුවත් මෙතුමා බොහොම විනෝදකාමී දිවිපෙවෙතක් ගත කල කුමාරයෙකු බව පැවසෙනවා. ඒ වගේම එතුමා තුන් වරක් විවාහ වී ඇති අතර එම සම්බන්ධතා වලින් දරුවන් 7 දෙනෙකුට පියෙකුද වෙනවා.සිය පියාගේ ඇවෑමෙන් පසු 2016 වසරේ ඔක්තෝම්බරයේදී නව රජු වශයෙන් පත්වුවත්, පියා මෙන් ජනතා ප්‍රසාදයක් දසවන රාමා රජු ළඟා කරගෙන නම් නැහැ.

2. ජිග්මේ කේසර් නම්ග්යෙල් වන්ග්චුක් රජතුමා – භූතානය

ජිග්මේ කේසර් නම්ග්යෙල් වන්ග්චුක් කියන්නේ භූතානය පාලනය කරන පස්වන නරපතියා යි. ඔහුව මකර රජු (දෘක් ග්‍යාල්පෝ) ලෙසටත් හඳුන්වනවා. මෙතුමාගේ පියා සිහසුන අත හැරීමෙන් පසු නව රජු ලෙස රාජ්‍ය භාර ගන්නේ 2006 දෙසැම්බර් 09 වැනිදා වුනත්, මෙතුමා ප්‍රසිද්ධියේ රාජාභිෂේකය කරන්නේ 2008 වසරේ නොවැම්බර් 01 වැනිදායි. ඒ 2008 වර්ෂයේ භුතාන රජ පෙළපතේ පාලනයට වසර 100ක් පිරීම සැමරීමත් නිමිති කර ගෙනයි.

තවද භූතාන රජ පෙළපත යනු ලොව කුඩාතම ඉතිහාසයක් සහිත රජ පරම්පරාවලින් එකක් ලෙස සැලකෙනවා. එහි ආයු කාලය වසර 109ක් පමණයි. ඒ වගේම ඔවුන් අදහන්නේ වජ්‍රයාන බුදුදහමයි. රජ පවුලේ ඉතිහාසය වගේම භූතානය පාලනය කරන රජුත් බොහොම තරුණයි. වන්ග්චුක් රජතුමා තවමත් වයස 37ක තරුණයෙක්.

සිය පියාගෙන් පසුව රාජ්‍ය පාලනය අතට ගත තරුණ වන්ග්චුක් රජතුමා හට අභියෝග රාශියක් පැවරුණා. තම පියාගේ එකම සිහිනය වූ භූතානය “ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක්” සහිතව පාලනය කිරීමේ සිහිනය සැබෑ කිරීම එයින් එකක්. ජනතාව ගැන සිතමින් ජනතාවට සහයෝගය දක්වන පාලකයෙක් වී සිටීමත් වන්ග්චුක් රජුට ජනතා ආකර්ශනය ලැබීමට එක හේතුවක් වෙනවා.

3. නොරෝදොම් සිහමොනි රජතුමා – කාම්බෝජය

නොරෝදොම් සිහමොනි රජතුමා රාජ්‍යත්වයට පත් වන්නේ 2004 ඔක්තෝබර් 14 වැනිදායි. සිහමොනි රජතුමා ඔහුට පෙර රට පාලනය කල නොරෝදොම් සිහනුක් රජුගේ වැඩිමහල් පුත්‍රයා වනවා. ථෙරවාද බුදුදහම අදහන නොරෝදොම් සිහමොනි කුමරු රජකමට පත් වන්නේ ඔහුගේ පිය රජු වසර 2004 දී රජකම අතහැරීමෙන් පසුවයි.

ඒ වගේම කාම්බෝජ රජ පවුලේ 9 දෙනෙකුගෙන් සමන්විත වන රජ කිරුළ සම්බන්ධ කවුන්සලයකින් සිහමොනි කුමරු මීළඟ රජ ලෙස නම් කරනතුරුම එතුමා යුනෙස්කෝ සංගමයේ කාම්බෝජය පිලිබඳ තානාපතිවරයෙකු ලෙසටයි සේවය කලේ.

බොහොම කලාවට ලැදි රජතුමෙකු වෙන සිහමොනි රජතුමා නර්තනය පිලිබඳ උපදේශකයෙකු ද වෙනවා. නමුත් සිහමොනි කුමරාට රජකම ලැබීම ඔහුගේ කලා ජීවිතය පසෙකින් තබා රට වෙනුවෙන් කැපවන්නට සිදුවන නිසා එම තීරණය ඔහුගේ ජීවිතය වෙනස් කරනු ලබන්නක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.

සිහමොනි රජතුමාව රජු ලෙස නම් කිරීම කරන අවස්ථාවේදී ටිකක් වෙනස් ඉල්ලීමක් පියරජතුමා විසින් මේ කවුන්සලයෙන් ඉල්ලා සිටිනවා. ඒ සිහමොනි රජතුමාගේ කිරුළු පැළඳීමේ උත්සවය බොහොම උත්කර්ෂවත්ව නොපවත්වන ලෙසයි. එයට හේතුව ලෙස පවසා සිටින්නේ තමාට තමාගේ ජනතාවගේ මුදල් කිසිදු ලෙසකින් අනවශ්‍ය ලෙස වියදම් කිරීමට කිසිදු උවමනාව නොමැති බවයි. මෙය එකල රජ පවුලක ලෙස නොරෝදොම් රජ පවුල කාම්බෝජයේ ජන ප්‍රසාදය දිනාගන්නට හොඳම හේතුවක් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *