අහම්බයන්, කම්මැලිකම් නිසා මෙලොවට බිහිවුණ ඔබ කවුරුත් දන්නා දේවල් 6ක්

1. වුඩී වුඩ් පෙකර් – කොට්ටෝරු කරදරේ ගෙන ආපු වාසනාව

විකට චිත්‍ර ශිල්පියෙකු වන වෝල්ටර් ලෑන්ට්ස් සිය විවාහයෙන් පසු කැලිෆෝනියාවේ ෂර්වුඩ් හී නිවසක වෙසෙන අතර ඔහුට එක් බාධාවක් වෙයි. ඒ එම නිවසෙහි ලී වහලයට නිරතුරුව කොටන කොට්ටෝරුවායි. කොතරම් උත්සාහ කළද, විවිධ ක්‍රම අත්හදා බැලුවද කොට්ටෝරු කරදරය නිමකිරීමට නොහැකි වූ තැන ලෑන්ට්ස් කරන්නේ ඔහුගේ ඔලුවේ නිතරම කරක් ගසන කොට්ටෝරු චිත්‍රය අඳින්නට උත්සාහ කිරීමයි. මුල් අවස්ථාවලදී ඔහුගේ මෙම චිත්‍ර සම්බන්ධයෙන් චිත්‍රපට ලෝකයේ සගයන් උසුළු විසුළු කළද පසුව එය මහා රැල්ලක්ව අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඔහුගේ හිසරදයම ඔහුට නිධානයක් ලබාදුන්නේය.

2. හැට්ට කටුව – ණයක් ගිය දුරක්

ආයකටුව යන නමින් වැඩි වශයෙන් ප්‍රකට හර්නල් කටුව ණයක් බේරීමට මුදල් සොයාගනු පිණිස නිර්මාණය කළ එකකි. මිතුරෙකුට ඩොලර් 15ක් ණය වී සිටි වෝල්ටර් හන්ට් එම මුදල ගෙවා දැමීමට මුදල් උපයාගනු පිණිසයි මේ ආය කටුව නිර්මාණය කරනු ලබන්නේ. පිත්තල කම්බියක් නැවීමෙන් සාදන ලද මේ කටුව එතෙක් භාවිතයේ තිබුණු කටු වලට වඩා ආරක්ෂාවෙන් යුක්තව නිම කරන්නට ඔහු සමත්වන අතර, පසුව එයට පේටන්ට් බලපත්‍ර ලබාගන්නා වෝල්ටර් එය ඩොලර් 400ක මුදලකට අලෙවි කර තිබෙනවා. මෙයින් මිතුරාගේ ඩොලර් 15 ණය ගෙවූ පසු ඉතිරිවූ ඩොලර් 385 පමණයි ඔහු විසින් මේ නිර්මාණයෙන් උපයාගන්නේ. කෙසේ වෙතත් වෝල්ටර්ගෙන් මෙහි අයිතිය ලබාගත් ඩබ්ලිව්. ආර් ග්‍රේස් නම් ආයතනය මෙයින් අධික ලාභ ලැබූ බව සඳහන්.

3. කටු කම්බිය – සතුන්ව ගාල් කරන්න ගහපු උප්පරවැට්ටියෙන් බිහිවුණ නිර්මාණය

කටු කම්බිවල ඉතිහාස කතාවද මනරම්ය. ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රදේශයේ සතුන් අලෙවි කරන වෙළෙඳුන් රැස්වන වෙළඳපොලක් විය. එලෙස ගෙනෙන සතුන් අලෙවි වන තෙක් රඳවා තැබෙන කම්බි අදින ලද එක් ස්ථානයක් වෙයි. එහි වටා අදින ලද තනි කම්බියෙන් සතුන් හිස ඔබ මොබ දැමීමත්, එමගින් එම කම්බි වැට පළල් වීමත් සැළකිය යුතු ප්‍රශ්නයක් විය. එනිසා එය වැළැක්වීමට අදාළ වෙළඳපොලේ පිරිස කම්බියට උල් ඇණ දවටා තිබූ අතර සතුන් එයින් ඈත්ව සිටියහ. මෙය දකින යකඩ බඩු වෙළෙන්දන් වන ජෝසෆ් ග්ලිඩන්, ජේකබ් හයිෂ් සහ ඉසාක් එල්වුඩ් මෙය කම්බියකින්ම නිපදවීම අත්හදා බැලූහ. අනතුරුව කම්බි දෙකක් අතරින් නමන ලද කම්බි කෑල්ලක් දමා නව කම්බි විශේෂයක් නිර්මාණය කළහ. එය වර්තමානයේ කටු කම්බිය ලෙසින් භාවිතා වෙයි. මූලිකව සත්ව හිමිකරුවන් මේ වෙත වැඩි උනන්දුවක් දැක්වූ අතර ඉන්පසු යුධ සහ දේශ සීමා අර්බුද වලදීද වැඩි වශයෙන් කටුකම්බි භාවිතා වන්නට පටන් ගැණුනි.

4. චුයින්ගම් – අහම්බෙන් සිදුවුණ හැපිල්ලෙන් බිහිවුණ රසවත් නිර්මාණය

1870 ගණන් වලදී ඇමරිකාවේ පිළිගත් එක් අදහසක් විය. එනම් රබර් වෙනුවට විකල්පයක් නිපදවන අයෙකුට ලක්ෂපතියෙකු විය හැකි බවට ඇතිවූ මතයයි. ඡායාරූප ශිල්පියෙකු වූ තෝමස් ඇඩම්ස් යම් ගසකින් නිකුත් වන මැලියම් යොදාගෙන නොයෙක් වූ අත්හදා බැලීම් කරන්නට අරඹන්නේ ලක්ෂපතියෙකු වීමේ අරමුණෙනුයි. වරක් වෙනත් කල්පනාවක සිටියදී අසිහියෙන් මෙන් මැලියම් කැබැල්ලක් කටේ දමාගන්නා ඔහු එය සපමින්ම තම කල්පනාවේ නිමග්න වෙයි. පසුව එය රසකැවිල්ලක් නිපදවීම සඳහා සාර්ථක අදහසක් බව හැඟී, රසකැවිලි නිෂ්පාදකයන්ට සිය අදහස ඉදිරිපත් කළත් එහිදී ඔහුව ප්‍රතික්ෂේප වෙයි. එයින් පසුබට නොවී, අපහසුවෙන් මුදල් රැස්කරගෙන ව්‍යාපාරයක් අරඹන ඇඩම්ස්ගේ ව්‍යාපාරය අති ජනප්‍රිය වන්නේ ඔහුව මිලියනපතියෙකු බවට පත්කරමිනුයි.

5. වැස්ලින් – රොබර්ට් චෙසබෘගේ විශ්මිත සොයාගැනීම

වර්තමානයේ බොහෝදෙනෙකු විවිධ වූ චර්ම අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරන වැස්ලීන් සුවදායක ආලේපයක් වෙයි. 1895දී රොබට් චෙසබෘ වැස්ලින් සොයාගන්නා විට ඔහුට වයස 22කි. තෙල් නිධිවල භාවිතාවන පොම්පවල පිටත බැඳෙන යම් මැලියම් වර්ගයක් තුවාල සුවකිරීමට සමත් බව අසන්නට ලැබෙන නිසා ඒ ගැන පරීක්ෂණ කරන වෙස්බරෝ එම මැලියම් සාම්පල එකතු කරගෙන විත් වසර 11ක් තිස්සේ සිදුකළ පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස වැස්ලින් නිපදවීය. තෙල් නිධි අසලින් මෙය සොයාගන්නවාට වඩා සත්ව හෝ ශාඛ තෙල් ඇසුරින් නිපදවීමට උත්සාහ කළ ඔහු එම පරීක්ෂණ වෙනුවෙන් සිරුර කපා ගනිමින් පර්යේෂණ සිදුකළ බවටත්, ඇතැම්විටෙක ඔහු ඔහුගේ සිරුර පුළුස්සා ගත් බවත් කියැවෙයි.

6. සැන්ඩ්විච් – කම්මැලිකමත් නරකම නෑ!

බිල් ගේට්ස් කීවායැයි කියන ප්‍රකට කතාවක් වෙයි. එනම් කම්මැලියන් යම් නිශ්චිත වැඩක් ලෙහෙසියන්ම කරන ක්‍රමය සොයාගන්නා බවයි. සැන්ඩ්විච්ද එවන් නිර්මාණයකි. ජෝන් මොන්ටේග් නම් වූ එංගලන්ත කුලවතෙකු සූදු අන්තුවෙකු බවට පත්විය. නිතරම සූදුවේ යෙදීමට හිතැති ඔහු එය හැරදා ආහාර ගැනීමට පවා කාලයක් වෙන් කිරීමට අකමැති විය. එනිසා පහසුවෙන් ආහාර ගන්නට චීස්, තක්කාලි, මස් වැනි ආහාර සියල්ල පාන් පෙති අතර තබා ගෙනෙන ලෙස සේවකයෙකුට කළ නියෝගයෙන් සැන්ඩ්විච් නිපදවිනි. එයට සැන්ඩ්විච් යන නම වැටෙන්නේ ඒ ඔහු ජීවත් වූ පළාත නිසාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *