එලෝ පොල් පේන ගණන් කෑම තියෙන ලංකාවේ රෙස්ටොරන්ට් 7

කාලයක් තිබුණා ගණන් වැඩිම කෑම කඩයක් කිව්ව ගමන් මතකෙට එන්නේ ජැක්ලින් අක්කගේ කෑම සූත්‍ර ආප්ප කඩේ. ඒ තරමට ජනමාධ්‍ය වලින් ප්‍රසිද්ධියක් දුන්නා ඒකේ තියෙන රුපියල් දෙසීයේ බිත්තර දෙකක් දාපු බිත්තර ආප්පෙට. හැබැයි ජැක්ලින් අක්කගේ කඩේ අපේ ලිස්ට් එකේ අහලකින්වත් තියන්න බෑ. ඒ තරමට ගාණ අඩුයි. මිල අධික අවන්හල් කියන්නේ මේ වගේ සීන් වලට නෙවෙයි. අඩු ගාණේ ප්ලේට් එකක් රුපියල් එක්දාස් පන්සීයක්, දෙදාහක් වෙන තැන්වලට. ගාණ වැඩියි වගේද?(ඇයි අපෙ සංගත් ඊයේ නෝනට ලක්ශ 35ක ඩෙසර්ට් එකක් අරන් දුන්නේ)

කොහොම වුනත් ලිස්ට් එකට යන්න කලින් දෙයක් කියන්න ඕන. මේ වගේ ගණන් මධ්‍යම පාංතිකයෙක්ට වුනත් දරන්න බැරි තරම් කියලා තමයි බැලූ බැල්මට හිතෙන්නේ. හැබැයි පෙට්ටි කඩෙන් ගන්න කර රෝල්ස් එකකට වඩා සෑහෙන්න දෙයක් ෆයින් ඩයිනින්ග් වල තියෙනවා. වෙන විදියටකට කියනවා නං ඔබ වියදම් කරන විශාල මුදලට වටිනාකමක් ලැබෙනවා. ඒ හින්දා ජීවිතේ එක් වතාවක හරි තමන්ගේ ආදරවන්තයා/ආදරවන්තිය එක්ක මේ වගේ අත්දැකීමක් ලබාගත්තට කමක් නෑ කියල තමයි අපි නං කියන්නේ

1. COi by Vichalya

විචල්‍ය කියන්නේ ලංකාවේ ඉන්න අතිදක්ෂ තරුණ සූපවේදියෙක්. එයාගේ fine dining restaurant එක තමයි COi by Vichalya කියන්නේ. ආසියාතික ‍ෆියුෂන් ආහාර පාන රසවිඳින්න පුලුවන් මෙතන වැඩිපුර ජපන් සහ ශ්‍රී ලාංකීය රස හා අමුද්‍රව්‍ය මිශ්‍රවීමක් දකින්න තියෙනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. මේ කට්ටිය ජපන් ආහාර මෙනු එකකුත් විශේෂයෙන්ම දක්වලා තිබීම නිසා ඒ හිතුවිල්ල තහවුරු වෙනවා. කොහොම වුනත් මෙතන එක්කෙනෙක්ට රුපියල් 2500 කින් විතර හොඳ ආහාර වේලක් අරගෙන බේරෙන්න පුලුවන්, හරියට ‍තෝරාගත්තොත්.

2. Rare at Residence

ලංකාවේ තියෙන තරු පංතියේ සුපිරි අවන්හලක් වෙන rare at Residence කියන්නේ සාමාන්‍ය කෙටි ආහාර වේලකට වුනත් ඉහළ මිලක බිල්පතක් ඉදිරිපත් කරන, හැබැයි එක පාරක් හරි කෑම රසබැලුවොත් ඒ ගෙවන විශාල ගාණ වුනත් කිසිසේත්ම පාඩුවක් නැහැයි කියලා ඔබට හිතෙන තැනක්. මේ අයගේ ආහාර වේලක තියෙන එකිනෙකට විවිධාකාර රසයන් සමූහය ඕනම ෆුඩ් ලවර් කෙනෙක්ව පිස්සු වට්ටන්න සමත්. ප්‍රධාන වශයෙන් ලංකාවේ අමුද්‍රව්‍ය වලින් තමන්ගේ ආහාර නිර්මාණ කරන rare at Residence අත්දැකීම එක්ක සම කරන්න තවත් තැනක් ලංකාවේ හොයන එක අතිශයින්ම අසීරු වැඩක්. හැබැයි ගාණ නං එක්කෙනෙක්ට රුපියල් 5000 පනිනවා!

3. TSING TAO Chinese Seafood

ලංකාවේ චයිනීස් රෙස්‍ටුරන්ට් නං චීනෙටත් වඩා තියෙනවනේ! හැබැයි මෙතනින් හැබෑ චීන අවන්හල් තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. ඉතින් කියන්නේ තරමක් මිලෙන් අධික, හැබැයි ගුණාත්මක තත්වයෙන් ඉතා ඉහළ චීන සූපශාස්ත්‍රවේදයට අනුව සකස් කළ ආහාර ලබාගන්නට හැකි අවන්හලක්. වඩාත්ම හොඳ දේ තමයි මේ කට්ටිය ඔරිජිනල් චීන මෙනු අයිතම වගේම ශ්‍රී ලංකාවේ අපිට හුරු චීන මෙනු අයිතම වුනත් ඇතුළත් සමබර මෙනු අයිතම එකතුවක් පවත්වා ගන්න එක. මෙතනිනුත් රුපියල් 3,500-4,000 විතර එක්කෙනෙක්ට වැටෙන්න හොඳ ආහාර වේලක් ‍තෝරාගන්න පුලුවන්.

4. Nihonbashi

නිහොන්බාශි කියන්නේ ලංකාවේ මිලෙන් අධික ඒත් නියම ජපාන ආහාර පාන ලබාගන්න පුලුවන් තැනක් විතරක් නෙවෙයි, ඔබට ජපාන මිලාධික අවන්හලකින් ලැබිය යුතු නියම අත්දැකීම ලැබෙන ආකාරයට පසුතලය පවා සකස් වුණු තැනක්. ඔබට මෙහිදී සාමාන්‍ය සුෂි මෙනු අයිතමයන්ගේ ඉඳන් ඕනෑම ජපන් අවන්හලකින් සොයාගැනීමට නොහැකි දුර්ලභ මෙනු අයිතමයන් පවා නිහොන්බාශි අවන්හලෙන් හොයාගන්න පුලුවන්. මේ කට්ටියගේ ආහාර පාන වල අධික මිලට එක හේතුවක්, මේ අය මේ ආහාර සඳහා යොදාගන්නේ විශේෂයෙන්ම ගෙන්වූ ඉහළම තත්වයේ අමුද්‍රව්‍ය වීම. මේ කට්ටිය මෑතකදී යකටොරි උද්‍යානය නමින් එළිමහන් අවන්හලකුත් විවෘත කලා.

නිහොන්බාශි අවන්හලේ තියෙනවා ලංකාවේ හොයාගන්න පුලුවන් මිලෙන් අධිකම ආහාර වේල්. උදාහරණයක් විදියට Sukiyaki හරි Shabu Shabu හරි රුපියල් 22,000 කට වැඩියි. එතකොට ස්ටේක් එකක් ගන්න පුලුවන් රුපියල් 30,000 ක වගේ මුදලකට. හැබැයි මේ කිව්වේ මිලෙන් වැඩිම ආහාර වේල්නේ. සාමාන්‍යයෙන් හොඳ ආහාර වේලක් නිහොන්බාශි එකෙන් අරගන්න පුලුවන් එක්කෙනෙක්ට රුපියල් 5,000 විතර වියදම් කරලා.

5. Cafe Francais by Pourcel

ප්‍රංස සූපශාස්ත්‍රයේ රසය විඳගන්න ඔබට අවශ්‍ය නම් යන්නම ඕන අවන්හලක් තමයි Cafe Francais by Pourcel කියන්නේ. නිවාඩු පාඩු වෙලාවක වයින් වීදුරුවක් එක්ක ප්‍රංස බිස්ට්‍රෝ ටයිප් එකේ ආහාර වේලක අත්දැකීම ලබන්න නම් මේ වගේ තැනක් තවත් නැහැ. විශේෂයෙන්ම Cafe Francais අවන්හලේ ප්‍රධාන සූපවේදිනිය වන Camille Martin විසින් දකුණු දිග ප්‍රංසයේ සාම්ප්‍රදායික ආහාර රසයන් මුසු කරමින් නිර්මාණය කරනා ආහාර වේලක රස බැලුවොත්, ඔබ අනිවාර්යයෙන්ම තීරණය කරයි මෙහි මිල ගණන් අධික වීම විය යුතුම කාරණයක් කියලා. සාමාන්‍යයෙන් කියව ගන්න බැරි විදියේ ප්‍රංස නමක් තියෙන la côte de boeuf grillée à partager වගේ මෙනු අයිතමයක් රුපියල් 8,000 විතර වුනත්, ඔබට එක් කෙනෙක්ට රුපියල් 5,000 විතර වැටෙන්න හිත සහ බඩ පිරෙන හොඳ ආහාර වේලක් මේ අවන්හලෙන් ලබාගන්න පුලුවන්.

6. Ministry Of Crab

නම දැක්ක ගමන් රෙස්‍ටුරන්ට් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ලංකාවේ ලොකු කුඩා ඕනම කෙනෙක් ආසා කරන කෑමක් වෙන කකුළුවෝ තමයි මේ අවන්හලේ ප්‍රධානතම ආකර්ෂණය වෙන්නේ. මීගමු ලෙල්ලමෙන් කකුළුවෝ අරන් ගෙදර ඇවිත් උයලා කන ලෙවල් එකේ මුදලකට මෙතනින් කකුළුවෝ ගන්න බැහැ තමයි. හැබැයි මෙතන තියෙන මෙනු අයිතමයන් අත්විඳලා බැලුවනම් ඒ මුදල ගැන ඔබට කිසිම කණගා‍ටුවක් ඇතිවෙන්නේ නැහැ කියලා විශ්වාසෙට කියන්න පුලුවන්. මෙතන තියෙන Garlic Chilli Crab, Pepper Crab, Butter Crab වගේ සමහර මෙනු අයිතමයන්ට මිල නියම වෙන්නේ ගන්න ආහාර අයිතමයේ ඉන්න කකුළුවාගේ/කකුළුවන්ගේ බරට අනුව. හැබැයි සමහර ආහාර වේල් එතනට ගිහින් ඕඩර් කරන්න බෑ. එන්න අඩු ගාණේ පැය හයකටවත් කලින් කියන්න ඕන. ඒ නිසා හොඳම දේ තමයි කලින් දැනුම්දීලා මේසයක් වෙන් කරගෙනම යන එක. මෙතන තියෙන මිලෙන් සෑහෙන්න අධික අයිතමයන් මග ඇරියත්, එක්කෙනෙක්ට රුපියල් 3,000-4,000 වගේ වැටෙන්න හොඳ ආහාර වේලක් ලබාගන්න පුලුවන්.

7. London Grill

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පහත මාලයේ පිහිටලා තියෙන ලන්ඩන් ග්‍රිල් අවන්හල දකින කොටත් ඔබට මුලින්ම හිතට එන කාරණාව තමයි ෆයින් ඩයිනින්ග් රෙස්‍ටුරන්ට් එකක තියෙන්න ඕන ක්ලාසි ගතිය මේකයි කියන එක. ඇත්තටම ලන්ඩන් ග්‍රිල් අවන්හල වඩාත් ගැලපෙන්නේ ඔබේ ආදරවන්තයා/ආදරවන්තිය එක්ක විශේෂ අවස්ථාවක් සමරන්න තමයි. ඔබට බටහිර පන්නයේ ආහාර වේලක්, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ආහාර වේලක් ලබාගන්න සුදුසුම අවන්හලක් කියලා හඳුන්වන්න පුලුවන් ලන්ඩන් ග්‍රිල් එකේ තියෙන ග්‍රිල් රෙසිපි වලට හදපු ස්ටේක් වර්ග මිලෙන් ඉහළ වුනත්, ඒ වගේම තත්වයෙන් සහ රසයෙනුත් ඉහළයි. කොහොමත් ලන්ඩන් ග්‍රිල් අවන්හලෙන් ආහාර වේලක් ගන්න එක්කෙනෙක්ට රුපියල් 5,000 කට එහා පැත්තේ යනවා කියන එක කියන්න වුවමනායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *