සූර පප්පා කාටුන් එක ඇසුරෙන් අපේ ජීවිතයට ගතහැකි ආදර්ශ 10ක්

මෙන්න ඔබට ඇත්තටම මගහැරුණු සූර පප්පා කතාවෙන් ශ්‍රී ලාංකික අපිට ගත හැකි ආදර්ශ.

1. අහස් හෝටලේ

මෙතනදි ගෙනියනවා අහස් හෝටලේකට. විවිධ රටවල්වල කෑම ජාති තියෙන. ඒ අතරෙ තියෙනවා ලංකාවෙන් ඝාංඨාරෙක හැඩේට හදාපු පුඩිමක්. පුඩිම දම් පාටයි. දම් පාටෙන් තාම ප්‍රධාන පක්ෂයක් නැහැ. රටේ ජනතාවට හිත පිරෙන්න කන්න දෙන අලුත් පක්ෂයක් හැදෙන්න ඕන දේයි ඒ කියන්නෙ. පුඩිමකට වෙනස් පාටක් ගත්තෙ ඒ නිසායි. බුදුහාමුදුරුවොත් බණ කිවුවෙ බඩ පිරිලා ඉන්න මිනිස්සුන්ටලු. කන්න නැතුව මොන තාක්ෂණයක් තිබ්බත් ඉස්සරහට යන්න බෑ කියන එක මේක ඇතුළෙ පැහැදිලි වෙනවා.

2. රෝම සටන

රෝමය කියන්නෙ ශ්‍රේෂ්ට ශිෂ්ඨාචාරයක් තියෙන රටක්. වයිකිං ටයිප් එකේ මන:කල්පිත ගෝල් දේසෙ වැසියා ටිකක් හදලා රෝමෙට ගහන්නෙ පැරණි සංස්කෘතීන් කඩා දාලා අපි අලුත් තැනකට යන්න ඕන කියන අදහස දෙන්නයි. ඒ වගේම රටක් විදියට දිනන්න නං හමුදා හෝ වෙනත් නිළධාරීන් වශයෙන් වෙන් වෙන්ව නොව රටක මිනිස්සු විදියට පිබිදීමක් තියෙන්න ඕනය කියන දේ මේක ඇතුළෙ කියනවා.

3. ඊජිප්තුවෙ ආකිලා

ඊජිප්තුව කියලා කිවුවම අපිට මැවෙන්නෙ පිරමීඩ. ඉතා දිගු කාලයක් තිස්සෙ එහේ තියෙන පිරමීඩ බලන්න තාමත් මිනිස්සු යනවා. ඒත් කතාවේ පෙන්වන උන්ගේ හොඳම ආකිලා දෙන්නා වුනු නිකං බාස් සහ මකබාස් කොච්චර අදක්ෂ ආකිලාද කියලා බැලූ බැල්මට පේනවා. ඒ අපට අනතුරු ඇඟවීමක් කරවන අවස්ථාවක්. ඉස්සර කොච්චර රට සහලින් ස්ව්‍යංපෝෂිත වුනත්, මිනිස්සු හොඳට හිටියත්, හොඳ පාලන ක්‍රමවේදයක් තිබුනත්පස්සට කොහු වුනොත් වැඩක් නැහැ. මිනිස්සු ඒක තේරුං අරං ඉන්න ඕන.

4. ක්ලියෝපැට්රා

මේක හැම පවුලකටම නිකුත් කරන පණිවුඩයක්. අතීත කාමෙ කරේ තියාගත්තු අපේ උන්දලා සාමාන්‍යයෙන් කියන්නෙ ඉස්සර නං එහෙම නැහැ. ඉස්සර මෙහෙමයි. දැන්නං ගන්න දෙයක් නෑ වගේ ටෝක්. හැබැයි කවුරුවත් ගෑණියෙක් ගැන එහෙම කිවුවද? ඒක පෙන්නන්නයි ක්ලියෝපැට්‍රාවයි, තාන්න මාන්න ඔලුවෙ තියන් ඉන්න ලොකු පප්පගෙ ගෑනිවයි  මෙතනට ගේන්නෙ. කැපුවත් මුරණ්ඩු ජාතියක්. දැන් වගේම තමයි ඉස්සරත් කියන දේ පෙන්වනවා. ඒ නිසා ගෑණුංව හරියට හදන්න උත්සාහ නොකර ඉන්න කියන දේ මෙතන යටිපෙළක් විදියට කියනවා.

5. සීසර්ගෙ යුද්ධ සටන්

සීසර්ව හඳුන්වන්නෙ පට්ට මිලිටරි පාලකයෙක් විදියට. උදාහරණෙකට සීසර් ඒ වෙනකොට තිබ්බ යුධ ක්‍රම වෙනස් කරලා තමුන්ට අනන්‍ය නියම සිස්ටම් එකක් හදලා තිබ්බා. මේ ඔක්කොම ඇතුළෙත් සීසර් පරදින්නෙ ඇයි? සීසර්ගෙ යටත් බුවාලගේ තියෙන අවුල් නිසා. අන්න ඒක අපිට දෙන හොඳ උදාහරණයක්. රාජ්‍ය නායකයා හොඳට තෝරගත්තටම වැඩක් නැහැ. හොඳ දෙවැනි තුන්වැනි පෙළක පාලකයොත් සෙට් කරගන්න වෙනවා.

6. මැජික් අරිෂ්ඨෙ

මැජික් අරිෂ්ඨෙ කියන්නෙ එළවළු හොඳට දාපු සුප් එකක් විත්තිය බැලූ බැල්මට තේරෙනවා. ඒක එක්ක එන කතාව මොකද්ද? මේ අරිෂ්ඨෙන් මිනිස්සුන්ගෙ මොරාල් අප් වෙනවා. ඒ මොරාල් එකෙන් තමයි ඔය ගහගන්නෙ. මතක නැද්ද එංගලන්ත හටනෙදි තේ බීලත් ගහගන්නෙ. එතන එන්නෙ මොරාල් එක කියන දේයි. මිනිස්සුන්ට දෙයක් කරන්න මැජික් ඕන නෑ. මොරාල් එකයි ඕන. අන්න ඒ නිසායි අන්ධ විශ්වාසෙකට වුනත් පොඩ්ඩක් ඉඩ දෙන්න කියන්නෙ. මොකද ඔය හින්දා මොරාල් අප් වෙන මිනිස්සු ඉන්නවනෙ. තමුන් කැමති දෙයක් අදහගෙන හරි වැඩේ හරියට සිද්ධ වෙනවානං ඇතිනෙ.

7. ඔක්කොම අරිෂ්ඨෙ බිවුවට වීරයො දෙන්නයි

මේ මැජික් අරිෂ්ඨෙට සම්බන්ධ තවත් කතාවක්. ගමක්ම මැජික් අරිෂ්ඨෙ බිවුවට ඉන්නෙ වීරයො දෙන්නයි. එක්කෙනෙක් බතලයි. හරිනං මැජික් අරිෂ්ඨ බාල්දියට පොඩි කාලෙම වැටුනම ඒ පොර හොඳ පෘෂ්ඨිමත් සික්ස් පැක් දාපු පොරක් වෙන්‍න ඕන. ඒත් මෙතන ඉන්නෙ ජොල් බතලයෙක්. අනිත් එකා තමයි ගමෙන්ම කොටම පොර. ඒත් කොහොමද මේ දෙන්නා වීරයො වුනේ. මොකද මේ දෙන්නා තමයි මොරාල් අප් කරන ගුරා වෙච්ච වෙද පප්පා ගාවින්ම ඉන්නෙ. හිතහංකො මොරාල් එකේ තරම! ඒ ව‍ගේම මෙතන තවත් යටිපෙළ කතාවක් තියෙනවා. ඕන කෙනෙකුට පුළුවන් වීරයෙක් වෙන්න කියන දේ. ඒකට ඇ‍ඟේ සහ හැඩරුවේ බලපෑමක් නෑ.

8. මාකටිං:-වයින්, තේ කොළ, දෙයියො ඉන්න කන්දෙ වොෂින් පවුඩර්, සාස්තර වගේ මාකටින් වැඩ මේක ඇතුළෙ පිරිලා. ඒ දෙයින් යමක් කියනවා. පරණ කතාවක් වුනත් මේ කතාවෙ තියෙන මාකටින් අපේ ජීවිතෙත් තියෙනවා. අපිත් යම් තරමකට හෝ අපේ ජීවිත ඇතුළට මාකටින් පාර දාගත්තොත් වැරැද්දක් නෑ කියන හැඟීම මේකෙදි දෙනවා.

9. තේමා ගීතය

මේකෙ ඔරිජිනල් තේමා ගීතය අර රතු පාට සායවල් ඇඳන් පයිප්වලින් ගහන ටයිප් මියුසික් එකක්. ඒක මිනිස්සුන්ට එච්චර වදින්නෙ නෑ. ඒ වෙනුවට මේ ප.. ප.. පප.. පපප්.. පප්ප.. පපපප්… කියන එක ගේනවා. ඒකෙන් කියවෙන්නෙ අපි පුරුෂයෝ අතින් පාලනය මූලික වෙච්ච රටක්ය. ඒ නිසා අපි ජොලියෙන් ඉන්නවා කියලයි. රෝමෙ කරදර වගේම. ගමේ කැරැක්ටර් ටිකකුත් එළියට දාලා තියෙන ඒ සින්දුවෙ තේමා ගීතයකට ඔබ නුසුදුසුයි කියලා හිතන දේකුත් තියෙනවා. ඒ තමයි ගෑණු ළමයින්ට කරදරේ අර චූටි කුකූටයි ආදරේ. කොච්චර ගෑණු එක්ක සොමියෙන් හිටියත් බල්ලො තරං විශ්වාසෙට ගන්නෙපා කියන දේ තේමා ගීතෙ ඇතුළෙත් කියනවා.

10. එංගලන්ත සහයෝගීතාවය

එංගලන්තෙන් පීතර කියලා පොරක් එනවා. නට් ලූස් වෙච්ච කට්ට පරිච්චාන් චරිතයක් වුනාට පප්පලාගෙ ගමේ පොරට පොඩි ගරුත්වයක් තියෙනවා. ඔය කියන්නෙ මොන මොන දියුණුවට ආවත් අපි මුල අමතක කරන්න හොඳ නැති විත්තිය. අපේ රටේ සුද්දා හිටපු හින්දා නැතිවෙච්ච ටික විතරක් හැමදාම කතා කරපු ගෑණු මිනිස්සු සුද්දා නිසා රටට ලැබුනු දියුණුව ගැන කතාකරන්නෙ නෑ. සුද්දා රට දාලා යද්දි තිබ්බ කොලිටිය උන් ගිහිල්ලා අවුරුදු හැත්තෑවකට කිට්ටු වෙන්න එද්දිවත් ගොඩදාගන්න නවීණ තාක්ෂණේ එක්කවත් බැරිවුනා නේද කියන දේ ඒ එක්කම අ‍පේ හිතට එනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *