මිහිපිට අපා දුක් විඳින්න සලස්සන ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය වර්ග 7

මත්බව කියන්නෙ පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන දෙයක්. සමහරුන්ට හැඟීම් සහ විඳීම්ම ඇති ජීවිතේ මත් බවක් ලබන්න. තවත් සමහරුන්ට මේ හැඟීම් සහ විඳීම් තව ටිකක් මුවහත් කරගන්න හරි බොඳ කරගන්න හරි වෙනත් ආධාරකයක් අවශ්‍ය වෙනවා. ඒ ආධාරකය හැටියට තමයි හුඟක් අය මත්පැන්, දුම්වැටි, ගංජා, මත්කුඩු ආදී නොයෙක් දේවල් භාවිතා කරන්නෙ. හිතුවිලි අවදි කරගැනීමේ ඉඳන් යථාර්තය වෙනස් කිරීම දක්වා මේ මත්බව යොදාගැනීමට ලක්වෙනව. තේරෙන බාසාවෙන් කියනවනම් ෂොට් එකක් දාගෙන දොඩමලු වීමේ ඉඳලා මත්කුඩු හරහා සිහින ලෝකෙකට ඇතුලු වීම දක්වා මත්වීමේ විවිධ ක්‍රම වලට මිනිස්සු යොමු වෙලා ඉන්නව.

මේ සමහර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම කොතෙක්ද කියනවනම් මේවායෙන් තමන්ගෙ ශරීරයටත්, මනසටත්, පවුලටත්, සමාජයටත් වෙන හානිය ගැන මත්වෙන පුද්ගලයාට හැඟීමක් නැතිවෙනවා. මත්ද්‍රව්‍යයේ බලපෑමෙන් ශරීරාංග කුණුවෙලා දියවෙලා තමන් මිහිපිට සොම්බියෙක්, ජීවත්වන මළකුණක් දක්වා වෙනසකට ලක්වුණත් ඒ අයට ගාණක් නැතිවෙලා යනවා.අද අපි කියන්න යන්නෙ ඒ විදිහෙ මිනිස් ජීවිත වලට අපා දුක් විඳින්න සලස්සන ලෝකයේ අති භයානක මත්ද්‍රව්‍ය 7ක් ගැන තොරතුරුයි.

7. ස්කොපොලමීන් (Scopolamine)

ස්කොපොලමීන් කියන මත්ද්‍රව්‍යය ඒකෙ තියන භයානකත්වය නිසාම යකාගේ හුස්ම (Devil’s breath) නමින් තමයි හඳුන්වන්නෙ. ලෝකය පුරාම දකින්නට ලැබෙන, දකුණු අමෙරිකාවේ බහුල වශයෙන් හමුවෙන නයිට්ශේඩ් වර්ගයේ ගසකින් තමයි මේ ස්කොපොලමීන් නිපදවෙන්නෙ. අතීතයේදි මුහුදු ගමන් වලදි හැදෙන වමනය වගේ ලෙඩ වලක්වන ඖෂධයක් හැටියට පාවිච්චි කරපු මේ ඖෂධය ඊට පස්සෙ කාලෙකදි නාසීන් සහ සෝවියට්වරු විසින් තමන්ගෙ සැකකාරයන්ගෙන් ප්‍රශ්න කිරීම් වලදිත් යොදාගෙන තියනව. මේ රසායනය ශරීරගත කිරීමෙන් පස්සෙ සැකකරුවන්ගෙන් ඇත්ත දැනගැනීම ලේසියි කියලයි එහෙම කරල තියෙන්නෙ.

ස්කොපොලමීන් සම්බන්ධ අතීත කතා එහෙම උනත් මෑත භාගය වෙද්දි නම් මේක හංවඩු ගැහිල තියෙන්නෙ ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යයක් හැටියටයි. පාවිච්චි කරල වින්දනයක් ලබන මත්ද්‍රව්‍යයකට වඩා වෙනත් කෙනෙක්ට රහසින් ශරීරගත කරල ඒ අයගෙන් විවිධ ප්‍රයෝජන ගන්න තමයි මේ මත්ද්‍රව්‍ය වැඩිපුර යොදාගන්නව කියන්නෙ. කෙනෙක්ගේ මුහුණට මේ මත්කුඩ පිඹීමෙන් හරි වෙනත් විදිහකට ශරීරගත කිරීමෙන් ඒ පුද්ගලයාගේ කල්පනාව සහ මතකය සහමුලින්ම නැති කරන්නටත්, හොරකම්, මිනීමැරුම්, ලිංගික අපරාධ වලට ඒ පුද්ගලයාව යොදාගන්නටත් පුලුවන් වන බවට තමයි මේ මත්ද්‍රව්‍ය ගැන වාර්තා වෙන්නෙ. ශරීරගත උනාම පැය විසිහතරකටත් වඩා කාලයක් සිහි විසඥ වියහැකි නිසා මේ මත්ද්‍රව්‍යය ශරීරගත වීමෙන් ශ්වසනය ඇනහිට මරණය වුවත් ළගාවෙන්න පුලුවන් බවටයි පැවසෙන්නෙ.

6. වූන්ගා (Whoonga)

2010 අවුරුද්ද විතර වෙද්දි දකුණු අප්‍රිකාවෙන් අමුතුම මත්ද්‍රව්‍යයක් ගැන වාර්තා වෙන්න පටන් ගන්නවා. ඒක හඳුන්වන්නෙ වුන්ගා, එහෙමත් නැත්නම් වූන්ගා නමින්. කතාවෙ හැටියට මේ මත්ද්‍රව්‍යය හදන්න මූලිකවම යොදාගන්නේ ඒඩ්ස් රෝගීන්ට ලබාදෙන Efavirenz නම් ඖෂධයක්. ඒක විතරක් නම් මදැයි, මර්ජුවානා, මීයන්ට යොදන විෂ සහ පිරිසිදුකාරක රසායනිකත් මේක හදන්න යොදාගන්නව කියලයි තොරතුරු ලැබෙන්නෙ. ඒඩ්ස් රෝගීන් බහුල දකුණු අප්‍රිකාවේ එච්.අයි.වී සඳහා ලබාදෙන මේ බෙහෙත් බහුල වීම නිසා මේ මත්ද්‍රව්‍යය ව්‍යාප්ත උන බවටයි බොහෝ අය සැක පහල කලේ. ඒත් එක්කම තවත් සමහරු කියන්න පටන්ගෙන තිබුණා මේක එච්.අයි.වී බෙහෙත් යොදාගෙන නෙමෙයි හෙරොයින් වලට තවත් විෂ රසායන එකතු කරල හදන මත්ද්‍රව්‍යයක්ය කියල. ලංකාවෙ සල්ලි වලින් ගත්තොත් රුපියල් තුන් හාරසීයක් වගේ සුලු මුදලක වටිනාකමකින් යුක්ත වෙච්ච නිසා ඒ රටවල මේ මත්ද්‍රව්‍ය සීග්‍රයෙන් පැතිරයන්න පටන් අරගෙන තිබුණා. එක වරක් පාවිච්චි කිරීමෙන් වුවත් මිදෙන්නට බැරි ඇබ්බැහියක් බවට පත්වෙන්න මේ මත්ද්‍රව්‍යයට පුලුවන්. මේ මත්ද්‍රව්‍ය නිසා නින්ද අහිමිවීම, වමනය, උදරාබාධ වැළඳීමටත්, ප්‍රතිශක්තිය හීනවීම නිසා ලෙඩරෝග වලට පහසුවෙන් ගොදුරුවී මරණයට පත්වීමද නොවැළැක්විය හැකි කාරණයක්.

5. කොකේන් (Cocaine)

ලංකාව ඇතුලෙදි හෙරොයින් තරම් භාවිතා වෙන්නෙ නැති උනත් කොකේන් කියන නම අපිට ආගන්තුක එකක් නෙමෙයි. දකුණු අමෙරිකාවට ආවේණික ශාකයක් වෙන කෝකා ශාකයෙන් නිෂ්පාදනය කරන මේ මත්ද්‍රව්‍යය ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යයක් වෙන්න බලපාන හේතු බොහොමයක්ම තියනවා. කොකේන් කියන්නෙ ඉතාම ලේසියෙන් ඇබ්බැහි වෙන්න පුලුවන් මත්ද්‍රව්‍යයක්. ඒ වගේම කාලයක් කොකේන් පාචිච්චි කරද්දි ඒකෙන් ලැබෙන උත්තේජනය අඩුවීම නිසා මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවෙච්ච කෙනෙක්ට තමන් ගන්න මත්ද්‍රව්‍ය ප්‍රමාණය එන්න එන්නම වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම නින්ද අහිමිවීම, ආහාර රුචිය නැත්තට නැතිවීම වගේ දේවල් එක්ක පුද්ගලයා ශාරීරිකව දුර්වල වෙන්නේ නොදැනුවත්වමයි. ශාරීරිකව විතරක් නෙමෙයි, කොකේන් වලට ඇබ්බැහිවෙච්ච කෙනෙක් මානසිකවත් විශාල පරිහානියකට ලක්වෙනව. ආතතිය සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම වගේම මානසික විකෘති ස්වභාවයට පත්වෙන්නටත් මේ කොකේන් බලපානව. කොකේන් වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් සියදිවි නසාගන්න නැඹුරුවෙන්න තියන ඉඩත් බොහොම වැඩියි. සියදිවි නසා නොගත්තත් ඇබ්බැහිය වළක්වාගන්න ඉක්මන් පියවර නොගත්තොත් ජීවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදුවෙනවා.

4. Bath salts

බාත් සෝල්ට්ස් කියන්නෙ නාද්දි ජලය එක්ක මුසු කරල අපේ සමේ පිරිසිදුබව වැඩි කරගන්න භාවිතා කරන නිෂ්පාදනයක්. එතකොට ලෝකෙ තියන භයානකම මත්ද්‍රව්‍යයක් මේ නමින් හඳුන්වන්නෙ කොහොමද කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒකට හේතුව තමයි නෑමේදී පාචිච්චි කරන බාත් සෝල්ට්ස් වලට පෙනුමෙන් සමාන විදිහටම මේ මත්ද්‍රව්‍ය නිපදවල තිබීම.

කැතිනෝන් කියන්නෙ නැගෙනහිර අප්‍රිකාවේ දකින්නට ලැබෙන ඛාට් (Khat) කියන ශාකයේ පවතින උත්තේජකයක්. මේ කියන උත්තේජකය කෘත්‍රිමව නිපදවීමෙන් තමයි මේ බාත් සෝල්ට්ස් කියන මත් ද්‍රව්‍යය හදන්නෙ. හැබැයි ස්වභාවික කැතිනෝන් වලට වඩා මේ කෘත්‍රිමව නිපදවෙන එක හරිම බලවත්. මෙත් සහ කොකේන් එක්ක තරඟ කරන්න මත්ද්‍රව්‍ය වෙළඳපොලට හඳුන්වල දීල තියන මේ බාත් සෝල්ට්ස් මිලෙන් අඩුවීම නිසා අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය වගේ රටවල මත්ලෝලීන් අතර සීග්‍රයෙන් පැතිර ගිහින් තියනවා. ගිලීමෙන්, ඉරීමෙන් වගේම එන්නත් කරගැනීම මගිනුත් ශරීරගත කරගන්න මේ මත්ද්‍රව්‍යය භයානක ප්‍රතිඵල අත්කර දෙන්නක්. මානසික විකෘතිතා, ආතතිය, භෘදයාබාධ වලට ලක්කරන්නටත්, අස්ථි වල මාංශපේශීන් දිය කර හරින්නටත් තරම් බලවත් මත්ද්‍රව්‍යයක්.

3. ක්‍රිස්ටල් මෙත් (Crystal meth)

ලෝකයේ ජනප්‍රියම ටෙලි සීරීස් එකක් උන Breaking Bad කතාවත්, වෝල්ටර් වයිට් අංකල්වත් මතකනම් මේ කියන්නෙ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. හැබැයි බහුතරයක් දෙනා ක්‍රිස්ටල් මෙත් ගැන දැනගත්තෙ වෝල්ටර් වයිට්ගෙන් උනාට මේ මත්ද්‍රව්‍යයේ ඉතිහාසය 1800 ගණන් දක්වා විහිදෙනව. 1893 දි හොයාගනු ලැබූ මේ මෙත්ඇම්ෆෙටමීන් දෙවැනි ලෝක යුද්ධ කාලවලදී සොල්දාදුවන්ගේ ක්‍රියාශීලීත්වය වැඩි කරන උත්තේජකයක් හැටියටත් පාවිච්චි කරල තියනවා. ක්‍රිස්ටල් මෙත් ශරීරගත කරගැනීමෙන් පසුව තාවකාලික සන්තෝෂයක්, ආත්ම විශ්වාසයක්, ශක්තිමත් සහ ප්‍රබෝධමත් හැඟීමක් ඇති වෙන බවට තමයි දැනගන්නට ලැබෙන්නෙ. හැබැයි මේ තාවකාලික මායාවට මුවාවෙලා මිනිස් ශරීරෙට විශාල හානියක් කරන්න මේ භයානක මත්ද්‍රව්‍යයට පුලුවන්. නින්ද අහිමිවීම, ආහාර අරුචිය, ඔක්කාරය වගේ දේවල් වලින් පටන් අරගෙන් දත් හැලීම, පටක විනාශවීම, මානසික විකෘතිතා, හෘදයාබාධ සහ මොලයට හානිකිරීම මගින් මරණය අනිවා ළඟාකරවන මාරක මත්ද්‍රව්‍යයක්.

2. හෙරොයින් (Heroin)

1898 අවුරුද්දේදී මුල් වරට නිෂ්පාදනය කරන ලද හෙරොයින් ජර්මනියේ බේයර් ඖෂධ ආයතනය විසින් ක්ෂය රෝගයට ඔසුවක් හැටියටයි හඳුන්වාදී තිබෙන්නෙ. අවුරුදු සිය ගණනක් ගෙවිල අද දවස වෙනකොට මේ ඖෂධය ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යයක් හැටියට පත්වෙලා, මිලියන ගණනක පිරිසක් ඇබ්බැහිවූවන් බවට පත් කරන්නටත් සමත්වෙලා. ඉතාම ඇබ්බැහිරකාරක මේ මත්ද්‍රව්‍යය වරක් භාවිතාවෙන් උනත් දැඩි ලෙස ඇබ්බැහි වන්න පුලුවන්. ඒ වගේම මේ මත්ද්‍රව්‍යයෙන් ලැබෙන උත්තේජනය අඩුවූ වහාම නැවත නැවත ශරීරගත කිරීමේ දැඩි ආශාවක් ඇති වන්නටත්, නැවත ලබාගැනීම ප්‍රමාද වීමේදී අස්ථි වේදනා, පාචනය, වමනය ආදී අපහසුතා ඇති වන්නටත් පටන් ගන්නවා. කාලයක් භාවිතා කිරීමේදී ආහාර අරුචිය, විශාදය, මලබද්ධය, ප්‍රතිශක්තිය හීනවීම ආදියෙන් රෝගී තත්ත්වයන්ට පත් කරන්නටත් තරම් භයානක මත්ද්‍රව්‍යයක්.

1. ක්‍රොකොඩිල් (Krokodil)

ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යය හැටියට බොහෝ දෙනෙක් හඳුන්වන ක්‍රොකොඩිල් වලට පටබැඳී තියන තවත් නමක් තමයි සොම්බි මත්ද්‍රව්‍යය (Zombie drug) කියන නම. මේ භයානක මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ටික කාලයකින්ම ශරීරයේ මස් දියවී යන්න පටන් ගන්න නිසා තමයි ඒ විදිහට හඳුන්වන්නෙ. Desomorphine යන විද්‍යාත්මක නමින් හඳුන්වන ක්‍රොකඩිල් වැඩි වශයෙන්ම රුසියාවේ තමයි පැතිර ගිහින් තියෙන්නෙ. හිසේ කැක්කුම් සඳහා වන කෝඩින් නම් ඖෂධයක්, ප්‍රෙටල්, තිනර්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ ගිනිපෙට්ටි වල ඇති රතු පොස්පරස් ඇතුලු අති භයානක සංයෝගයකින් තමයි මේ විනාශකාරී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ. හෙරොයින් වලට වඩා මිලෙන් ඉතා අඩුවීම නිසාත් මත්ලෝලීන් අතරේ ක්‍රොකඩිල් ජනප්‍රිය වීමට හේතුවෙලා තියනවා. අනෙකුත් මත්ද්‍රව්‍ය වලට සාපේක්ෂව ක්‍රොකඩිල් ශරීරයේ බාහිර පෙනුමට කරන හානියත් ඉතාම වැඩියි. මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගේ හම කොළපාටට හැරී කිඹුලෙක්ගේ මෙන් ගැටිති මතුවීම හේතුවෙන් තමයි ක්‍රොකඩිල් කියන නම පටබැඳිලා තියෙන්නෙ. ඒ වගේම ඇඟ මස් දියවී අස්ථි දක්වා පෑදෙන්න තරම් මේ මත්ද්‍රව්‍යය විෂ සහිතයි. ක්‍රොකඩිල් කියන්නේ ලෝකයේ මත්ද්‍රව්‍ය අතරින් ඇබ්බැහියෙන් මිදෙන්නට අමාරුම මත්ද්‍රව්‍යය හැටියටයි සැලකෙන්නේ. මෙයින් ඉවත්වූ පසු මාස ගණනක් තිස්සේ දැඩි ශාරීරික සහ මානසික වේදනාවන්ට ලක්වන්නට සිදු වෙන අතර, ඇබ්බැහියෙන් මිදුනත් දිවි ඇතිතෙක් විඳවන්නට වෙන ලෙඩරෝග සහ ආබාධ ඇතිව තමයි බේරෙන්නට වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *