පුංචි කාලෙ බලපු කාටූන්වල අපි ආසාවෙන්ම එනකං බලං හිටපු සීන් ටිකක්

අපි මේ කියන්න යන්නෙ පොඩි අතීත සැමරුම් තියෙන කතාවක්. මේ කතා කියවද්දි ඔයාලටත් ඒ විදියෙ සිද්ධි මතක් වුනොත් අපිට කියන්න. පුංචි කාලෙ වගේම තරුණ කාලෙදිත්, සමහර වෙලාවට තාමත් අපි කාටූන් බලනව. මේ විදියට කාටුන් බලද්දි අපි හැමදාම ආසාවෙන් බලන් ඉන්න සිද්ධියක් හෝ දෙකක් හැම කාටූන් එකටම තියෙනවා. ඒ අපි ආසම සිද්ධිය හැමදාම සිද්ධ වෙනකං අපි ආසාවෙන් බලං ඉන්නවා. කොහොමත් කාටුන්වල හැමදාම සිද්ධ වෙන පොදු සිද්ධි ටිකක් තියෙනවනෙ. මේ කියන්නෙ ඒ අතරින් අපේ සිත් ගත්තු කාටූන් සිද්ධි ටිකක්.

1. ඉඟුරු පාන් මල්ලි – මොකද්ද මේ කුස්සියෙ සද්දෙ?

ඉඟුරු පාන් මල්ලි කියන්නෙ රොඩ්නි වර්ණකුල මහත්තයගෙ මනරම් ගායනයකින් පටන්ගත්තු සුපිරියට හඬකැවීම කරපු ජාතික රූපවාහිනියෙ ගිය කාටූන් එකක්. ගෙදර මිනිස්සු නැති වුනාම පණ එන කුස්සියේ බඩු මුට්ටු සෙට් එක තමයි කතාවෙ රඟපාන්නෙ. හැබැයි අපි මේ කතාවෙ ආසාවෙන්ම හිටියෙ මේ කතාවෙ චරිතයක් හිමි නොවුනු හෙවනැල්ලක් විතරක් හිමි වුනු චරිත වලටයි. ඒ තමයි නිවැසියො. එතනයි කතාවෙ ට්විස්ට් එක තියෙන්නෙ. නිවැසියො එද්දි මුළු කුස්සියම නිහඬ වෙනවා. ඒ කුස්සියෙ අවුල් තිබ්බ ටික ෂේප් කරල ඇඟවල් ගල් කරගන්න කුස්සියෙ ඉන්න කාටූන් චරිත ටික උත්සාහ කරනවා. ඔක්කොටම හපං කුස්සියෙ ඉන්න ඇත්තටම පණ තියෙන එකම චරිතෙ. එයා තමයි කතාවෙ අනිත් ට්විස්ට් එක. ඒ මීයා.

2. දොස්තර හොඳ හිත – චවු චවුගෙ දෙබස

චවු චවු ප්‍රසිද්ධ සුපුරුදු දෙබස කියනකං තමයි අපි හැමෝම බලං ඉන්නෙ. චවු චවුගෙ ප්‍රසිද්ධම දෙබස තමයි “ඕකනං හරියන්නෙ නෑ” කියන එක. නැවේ හොර නායකයා කොච්චර ලොකු ගේමක් දෙන්න ගියත් හැමදාම චවු චවු දකින්නෙ අසුබ පැත්තමයි. ඒ වගේම ඒ මංකොල්ලකාරයො කරන කරන වැඩේ අසාර්ථක වෙන නිසා චවු චවුගේ කතා සියයට සීයක් හරි කියලත් අපිට කියන්න පුළුවන්.

3. ස්කුබී ඩූ – ෂැගී සහ ස්කූබිගේ කෑම වෙලාව

ඔන්න යනව සෙට් එක හොල්මං මන්දිරේකට. ෂැගියි ස්කූබියි යනව කුස්සිය තියෙන පැත්තට. ඔන්න අපි ආසාවෙන්ම ඉන්න අවස්ථාව එනවා. පාන් පෙත්තයි, තක්කාලි පෙත්තයි, මස් පෙත්තයි, සලාද කොලයයි, පාන්පෙත්තයි එක දිගටම තිය තිය ෂැගීයි ස්කූබියි සැන්ඩ්විච් හදාගන්නකං අපි හැමෝම බලං ඉන්නව. ඒක තමයි අපි ආසම තැන. මොකද ඔය සැන්ඩ්විච් හදාගන්න ගොඩක් වෙලාවල්වල ඔතනට කතාවෙ හොල්මනත් එනව. ඒ හින්දා දෙන්නටම හිත නිදහසේ කෑම එක කන්න වෙන්නෙත් නැහැ. හැබැයි ඒ දෙන්න නොකා ඉන්නෙත් නෑ. චුට්ටක්වත් ඉතුරු වෙන්න දෙන්නෙත් නෑ.

4. අපි රජ ඉබ්බෝ – සාකියාගේ එන්ට්‍රන්ස් එක

අපි රජ ඉබ්බෝ කියන්නෙ ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් කතාවෙ සිංහල එක. සිංහල එක ටිකක් ගොජ වගේ හිතුනට අපේ කට්ටිය ඒක ආසාවෙන් බැලුවෙ අපිට ඒ කාලෙ තිබ්බ එකම ෆයිට් කාටූන් එක ඒක නිසායි. හැමදාමත් වලි ගියේ ඉබ්බො ටිකයි සාකියායි අතරෙ. සාකියා ගොඩ බිමට එන්නෙ පොළොව හාරගෙන. ඒ කියන්නෙ නිරයේ ඉඳන්. සාකියා පොළොව හාරගෙන එන මැෂින් එකටයි ඒක එන විදියටයි තමයි අපි ආසම. පොළොව හාරගෙන උඩට ඇවිල්ල බහ් ගාලා පත බෑවිලා දුං ඇරලා තමයි දොර ඇරෙන්නෙ.

5. සූරපප්පා – අරිෂ්ඨ ටයිම්!

“වෙද පප්පා අරිෂ්ඨෙ හදනවා – හරි ලොකු බලයක් එහි තියෙනවා”කියල කියන්නෙ කට කහනවට නෙමෙයි. ඇත්තටම ඒකෙ ලොකු බලයක් තියෙනවා. ඒකනෙ පුංචි කාලෙ අරිෂ්ඨ බාල්දියට වැටිච්ච ජිම්පප්පට තාම මැජික් අරිෂ්ඨෙ නොදෙන්නෙ. අපි මේකට ආස හේතු කීපයක්ම තියෙනව. පළවෙනි එක වෙදපප්පා ඒක හදන හැටි. දෙවන එක ගම්මු බෙහෙත බොන්න සෙට් වෙන හැටි, තුන්වෙනි එක බෙහෙත බොන්න ජිමා හොරෙන් රිංගන හැටි, හතරවෙනි එක බෙහෙත බීලා සෙට් එක ගිහින් රෝමන් කාරයින්ට නෙලන හැටි.

6. කවුද බෝයි – හොර නඩේ

ඔන්න ආවා කැමතිම එකට. කවුද බෝයි කියන්නෙ ලකී ලූක්ගෙ සිංහල කතාව. ඉස්සර සෝරෝ කඩුවෙන් Z අකුර කොටල ගියා වගේ ඉඳහිට ලකී ලූක් LL කියල ගහල යනව. හැබැයි කඩුවෙන් නෙමෙයි. උණ්ඩ වලින්. කවුද බෝයිගෙ අපි කැමතිම හොර නඩේට. අයියලා හතරදෙනා අතරෙ නිරන්තර සිද්ධවෙන ආරෝවවල් තමයි අපි සෙට් එකේම සිත්ගන්නේ. මොකද ඒ ඒ හොරු ටික මරාගනිද්දි කිසිම ගින්නක් නැතුව කවුද බෝයි හොරු ටික අල්ලනවනෙ.

7. වලස් මාමා – ඇඩ්ඩීං! කරා නේද අදත් ගොං වැඩක්

කසාදයක් එහෙම බැඳලා වයිෆ්ගෙන් හෙණ ගහන්න වගේ ගුටි කන්න කලින් අපි හිතං හිටියෙ ගෑණියෙක්ගෙන් ගුටි කන එක ආතල් වැඩක් කියල. ඒ අපි වලස් මාමා බලපු හින්දා. මවුමා… වලස් මවුමා… කියල ටීවී එකේ යද්දිම පිස්සො වගේ ටීවී බලන්න දුවං එන්නෙ ඒ නිසායි. ඇඩ්ඩිං මාමා විතරක් නෙමෙයි ඇඩ්ඩිං මාමගෙයි මැගී නැන්දගෙයි උක්කුං පුතත් කරන්නෙ මාමටත් හපං ගොං වැඩ නිසා අපේ ආතල් ඉහටත් උඩින් ගියා.

8.විල්සන් මාමගේ කෑගැහිල්ල

දඟයා එකේ විල්සන් මාමා නිතරම “දඟයෝ” කියලා කෑගහද්දී අපි දන්නවා දඟයගේ මොකක් හරි ජිල්මාට් එකක් අහුවෙලා තමයි කියලා.

9.ස්කුබි ඩූ සෙට් එක පොඩිකාලේ

ස්කුබි ඩූ සෙට් එක පොඩිකාලේ ෆ්රෙඩ් හැම සීන් එකක්ම කියන “ආහා…මම දන්නවා කවුද ඒක කලේ කියල, ඒ තමයි රතු ඇස්කොට්” කියල නෝන්ඩි එන සීන් එකයි, වෙල්මා “වැඩේ හර” කියල කීවොත් වැඩේ ගොඩම තමයි කියලා කියන සීන් එකත් ඉස්සර අපේ ආසාම ඒවා තමා

තව ඒවගේ ඔයාලගෙත් ආසා හිතුණ සීන් තිබ්බනම් පහළින් කොටාගෙන යන්නකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *