ඔබේ මේක් අප් එක වෙනුවෙන් දුක් විඳින අහිංසක සත්තුන්ගේ කතන්දරය

මේ කාලේ ෆේස්බුක් එක පැත්තේ රවුමක් ගැහුවොත් බලන්න පුලුවන් සමහර නිර්මාංශිකයන් මස් කන එවුන්ට බැණලා දාන පෝස්ට්. එතකොට ලංකාවේ වුනත් මස් වෙනුවෙන් සත්තු මරන්න එපා කිය කියා පෝස්ටර් හදලා දාන ගොඩක් අය දන්නෙ නැති කාරණයක් තියෙනවා. ඒ තමයි තමන් නොහිතන, ඒත් දිනපතා පාවිච්චි කරන ගොඩක් දේවල් වෙනුවෙන් සත්තු මැරෙනවා කියලා. එකම වෙනස මස් කනකොට සතෙක් මැරෙනවා කියන එක පැහැදිලිව පේනවා. ඒත් අලුතින් එන රූපලාවණ්‍ය බ්‍රෑන්ඩ් එකක ටෙස්ටින්ග් වෙනුවෙන් කොච්චර සත්තු මැරෙනවද කියන එක කාටවත් පැහැදිලිව පේන දෙයක් නෙවෙයි. ඒත් මැරෙනවා. හරි, මේ කියන්නේ ඒ හින්දා මස් කාපං කියන එකත් නෙවෙයි. මේ කියන්න යන්නේ මේකප්, ලිප්ස්ටික් වගේ දේවල් ටෙස්ට් කරන්න අසරණ සත්තුන්ට විඳින්න වෙන වධ හිංසා ගැන. අපි නොදකින රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ තියෙන බිහිසුණු, කෘර පැත්ත ගැන.

1. මොකක්ද මේ ඇනිමල් ටෙස්ටින්ග් කියන්නේ?

මේක බොහොම පුලුල් පරාසයක පැතිරෙන කතන්දරයක්. සරලවම කියනව නං ජීවත් වෙන සතුන්ව යොදාගෙන කරන මොකක් හෝ විද්‍යාත්මක පරීක්ෂණයක්, නිෂ්පාදනයක් අත්හදා බැලීමක් හෝ ඒ වගේ වෙනත් දෙයක් තමයි ඇනිමල් ටෙස්ටින්ග් කියන්නේ. අහල ඇතිනේ පර්යේෂණාගාර මීයෝ ගැන එහෙම. හැබැයි මේ ඇනිමල් ටෙස්ටින්ග් කියන එක ඖෂධයක් අත්හදා බැලීමට වඩා බොහොම කෘර සීමාවන්ට යනවා. විශේෂයෙන්ම රූපලාවණ්‍ය නිෂ්පාදන සතුන්ව යොදාගෙන අත්හදාබලනකොට. කියන්න ඕන නෑනේ අමුතුවෙන්. මොකක් හරි රූපලාවණ්‍ය නිෂ්පාදනයක් කවුරු හරි හදපු පලියට වෙළෙඳපොළට එවන්න බෑ. මොකද විවිධ ස්වභාවික වගේම කෘත්‍රිම ද්‍රව්‍ය යොදාගෙන හදන මේ නිෂ්පාදන මිනිස් සමට අහිතකර වෙන්න පුලුවන්. නොහිතන අතුරු ප්‍රතිඵල ගෙන දෙන්න පුලුවන්. ඒ හින්දා මේ නිෂ්පාදන ගැන පර්යේෂණ කරන සමාගම් මුලින් කරන්නේ චිම්පන්සියෝ වගේ සත්තුන්ව යොදාගෙන මේවා ටෙස්ට් කරලා බලන එක. පොදුවේ ජීවවිද්‍යා පාඩම් වල ඉඳලා ඖෂධ, රූපලාවණ්‍ය ද්‍රව්‍ය පරීක්ෂණ කියන හැමදේම ගත්තහම ඇමරිකාව ඇතුළේ විතරක් අවුරුද්දකට සත්තු මිලියන 100කට එහාපැත්තේ මැරෙනවා. ඒ සමහර දේවල් ටෙස්ට් කිරීම සඳහා සතුන් යොදාගන්න එක තහනම් කරලත්.

2. ඉතින් ලිප්ස්ටික් ටිකක් ගෑවා කියලා සත්තුන්ට වෙන අවුල මොකක්ද?

දැන් කඩෙන් ගන්න ලිප්ස්ටික් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කලාට අපිට මොකුත් වෙන්නෙ නෑනේ. හැබැයි සමහර වෙලාවල් තියෙනවා ඕවා ඇලජි වෙන. මේක් අප් ඇලජි වෙලා මූණ පුරා පළු දාලා, රතු වෙලා වගේ දේවල් විතරක් නෙවෙයි, මරණයන් පවා අපිට ආරංචි වෙලා තියෙනවනේ. ඉතින් හිතලා බලන්න, සෑහෙන්න ටෙස්ට් කරලා වෙළෙඳපොළට එවන ප්‍රඩක්ට් එකකිනුත් එහෙම කලාතුරකින් හරි මිස් එකක් වෙන්න පුලුවනි නම්, සම්පූර්ණයෙන්ම පරීක්ෂණ මට්ටමේ තියෙන ප්‍රඩක්ට් එකකින් ඒක ටෙස්ට් කරන්න යොදාගන්න සත්තුන්ට මොන වගේ හානි වෙන්න පුලුවන්ද කියලා! ඇත්තටම මරණයට පත් වීම කියන්නේ මේ වගේ ටෙස්ට් එකකට අහුවෙලා ලබාගන්න පුලුවන් හොඳම අත්දැකීම කියන්න පුලුවන්. මොකද ඊට වඩා දරුණු විඳවීමක් තමයි ගොඩක් සත්තුන්ට උරුම වෙන්නේ. මේ නිෂ්පාදන ටෙස්ට් කරනකොට මුල් අදියර වලදී ගොඩාක් දුරට සත්තුන්ගේ හම මත තුවාල ඇතිවීම, වේදනාකාරී ඉදිමීම් ඇතිවීම, හම වණ වීම විතරක් නෙවෙයි, ඉවසන්න බැරි දැවිල්ල පවා ඇතිවෙන්න පුලුවන්. මේ වේදනාකාරී අත්දැකීම් ඉවසා ගන්න බැරුවත් සත්තු මිය ගිහින් තියෙනවා. එතකොට මිනිස්සුන්ට වගේම තමයි සත්තුන්ට මේවයින් වෙන මානසික බලපෑම. මේ පරීක්ෂණ වලින් සිද්ධවෙන මානසික සංකූලතා නිසා සත්තු තමන්වම හපාකාගෙන තුවාල සිද්ධ කරගන්න තත්වෙට පවා පත්වෙනවා.හිතාගන්න පුලුවන්ද මොන වගේ කෘරත්වයක්ද ඇනිමල් ටෙස්ටින් කියලා මිනිහා කරන්නෙ කියලා?

3. සත්තුද ලොකු මිනිස්සුද ලොකු?

මෙන්න මේක ඉස්සර ලොකු සමාගම් වලින් වගේම ඇනිමල් ටෙස්ටින්ග් අනුමත කරපු අයත් අහපු ප්‍රශ්නයක්. ඇත්තටම අදටත් ඉන්න මේ ලෝකේත්, සත්ව සම්පත ඇතුළු මේ ලෝකේ ඇතුළේ තියෙන සියලූම දේ, ලෝකයේ ඉන්න උසස්ම සත්වයා කියලා කියන මිනිසාගේ ප්‍රයෝජනයටයි තියෙන්නේ කියලා විශ්වාස කරන අයත් මේ ප්‍රශ්නේ අහනවා. මේ අයගේ තර්කය හරිම සරලයි. හරියට ටෙස්ට් කරන්නෙ නැතුව එවන බියුටි ප්‍රඩක්ට් එකක් පාවිච්චි කරලා මිනිහෙක් මැරෙන්න පුලුවන්. එතකොට සතෙක්ව පාවිච්චි කරලා මේ බියුටි ප්‍රඩක්ට් එක ටෙස්ට් කරන එකෙන් සතාට වේදනාත්මක ඉරණමක් අත්වෙන්න පුලුවන්, සමහර විට මැරෙන්නත් පුලුවන්. හැබැයි ඒකෙන් වෙන්නේ සමට අහිතකර බියුටි ප්‍රඩක්ට් එකක් පාවිච්චි කරලා මිනිස්සු පීඩාවන්ට ලක්වෙන්න තියෙන අවස්ථාව අවම කරන එක. ඉතිං මිනිස් ජීවිතේද ලොකු සතෙක්ගේ ජීවිතේද? මේක තමයි මේ අයගෙ ලොජික් එක! හැබැයි අන්තිම නරුමවාදියෙක් ඇරෙන්න අද ලෝකේ මේ වගේ ලොජික් පාවිච්චි කරන අය හිඟයි කියලා කියන්න ඕන.

4. ඇනිමල් ටෙස්ටින්ග් නෝ මෝර්!

බොහෝම කෘර ඉතිහාසයක් හිමි රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා පර්යේෂණ කිරීමට සතුන්ව භාවිතා කිරීම මිනිස් කමට නොගැලපෙන කෘර කමක්, වහාම නවතා දැමිය යුතු දෙයක් කියන එක හඬක් විදියට ගෙන එන්නට බොහෝ සත්ව ආරක්ෂණ සංවිධාන සමත්වුනා. ඇනිමල් ටෙස්ටින්ග් කියන්නේ කල් ඉකුත් වුණු භාවිතයක් බවට පත් වුනා. ඒ වගේම විද්‍යාත්මක ඇහැකින් බැලුවත් ජීවත් වෙන සතුන් යොදාගෙන රූපලාවණ්‍ය නිෂ්පාදන ටෙස්ට් කරන එක නිරවද්‍ය නැති ක්‍රමයක් කියලා ඔප්පු වෙලා තියෙනවා. මේ හැමදේකටමත් වඩා යම් යම් රටවල ජීවත් වෙන සතුන් යොදාගෙන යම් යම් නිෂ්පාදන සඳහා පරීක්ෂණ කරන එක නීති විරෝධී කියලා නීති හැදිලා තියෙනවා! හැබැයි ඒ “සමහර” රටවල් වල විතරයි. අදටත් සත්තුන්ව යොදාගෙන බියුටි ප්‍රඩක්ට්ස් ටෙස්ට් කරන සමාගම් තියෙන රටවල් තියෙනවා කියලා කණගා‍ටුවෙන් වුනත් කියන්න වෙනවා. උදාහරණයක් විදියට චීනය වගේ රටවල නීති තිබුණා තමන්ගේ රටට ආනයනය කරන රූපලාවණ්‍ය නිෂ්පාදන සත්තුන්ව යොදාගෙන ටෙස්ට් කරලා බලන එක අනිවාර්යයි කියලා. හැබැයි ඉන්දියාව වගේ රටවලුත් මීට අවුරුදු කීපෙකට කලින් ඉඳන් සත්ව හිංසනයෙන් තොර රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා ප්‍රතිපත්තිමය පියවර ගත්තා.

5. සත්ව හිංසනයෙන් තොර සුන්දරත්වයක් සඳහා

මේ වෙනකොට දැවැන්ත රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම් වලටත් ‘සතුන්ට එරෙහි කෘරත්වයෙන් තොර සුන්දරත්වයක්‘ කියන තේමාව යටතේ වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ එක්කම විද්‍යාව පැත්තෙනුත් සතුන්ව යොදාගෙන පරීක්ෂණ නොකර නව රූපලාවණ්‍ය නිෂ්පාදන නිර්මාණය කරන්න සහාය ලැබෙනවා. උදාහරණයක් විදියට යම් සමාගමකට පුලුවන් දැනටමත් මිනිස් සමට හෝ ශරීරයට කිසිසේත්ම අහිතකර නැහැයි කියලා දන්න අමුද්‍රව්‍යයන් අරගෙන තමන්ගේ නිෂ්පාදනයන් කරන්න. ඒ වගේම සත්තුන්ගේ ඇ‍ඟේ ගාලා බලනවා වෙනුවට මිනිස් සමට/මිනිස් ශරීරයට යම් නිෂ්පාදනයක් හිතකරයිද නැද්ද කියලා බලන්න ක්‍රම විද්‍යාවෙන් ඕන තරම් හොයාගෙන තියෙනවා. ඇත්තටම ඒ ක්‍රම සාපේක්ෂව වඩාත් ලාබයි සහ නිරවද්‍යයි කියන්න පුලුවන්.

6. තීරණය සැබවින්ම ඔබේ අතේයි!

අපි කලිනුත් කිව්වා වගේ ලෝකේ පුරාම මේ සත්තුන්ව යොදාගෙන රූපලාවණ්‍ය නිෂ්පාදන ටෙස්ට් කරන කෘර භාවිතාවට එරෙහිව හඬ නැගිලා තියෙනවා වගේම ගොඩක් රටවල් සහ සමාගම් ඒ භාවිතාව අත ඇරලා තියෙනවා. හැබැයි කණගා‍ටුවකට වගේ තවමත් ඒ ක්‍රම භාවිතා කරන රටවලුත් තියෙනවා. ඒ නිසා ඔබ හිතනවා නම් සතුන්ට එරෙහි කෘරත්වය එක්ක එන සුන්දරත්වයක් ඔබට ඕන නෑ කියලා, කරන්න තියෙන්නේ සත්ව පර්යේෂණයන් යොදා නොගන්න රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳ නාමයන් ගැන පොඩ්ඩක් දැනුවත් වෙන එක තමයි. එතකොට ඔබටත් ඒ වගේ ‘හිංසාවෙන් තොර සුන්දරත්වයක්’ සහතික කරන නිෂ්පාදනයක් මිලදී අරගෙන මේ සටනට ප්‍රබල සහයෝගයක් දෙන්න පුලුවන්.ඒ ඇරෙන්න ඔබ පාවිච්චි කරන ප්‍රමුඛ රූපලාවණ්‍ය වෙළෙඳ නාමයක් එක්ක ඇනිමල් ටෙස්ටින්ග් කරනවද කියලා පොඩ්ඩක් ගූගල් සර්ච් කරලත් විස්තර හොයාගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *