ලයික් ගන්න ෆේස්බුක් පේජ්වලින් කරන මේ බොරු වලට ඔයාලත් ඇන්දුනාද?

ෆේස්බුක් පේජ් කෙරුවාව හිට් වෙලා එන්නෙ දැන් ටික කාලෙකට කලින්. මුල්ම කාලෙ ඔය කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජය ව‍ගේ පේජ් තිබ්බට දැන් ඒවා කොහෙද දන්නෙ නෑ. දැන් තියෙන පේජ් අටෝරාසියට ඒ වගේම සෙනගක් හිටියට ඒ සෙනග එන්නෙ මොනවිදියෙ දේවල්වලට ආසා නිසාද කියලා බලන්න ඒවට යන්නම වෙනවා. සමහරු දාන්නෙ තවත් මනුස්සයෙකුගෙ කුණක්, නැත්තං ඩබල් මීනිං කුණුහරුපයක්. හැබැයි අපි මේ ලියන්නෙ ඔය විදිවලටත් නැතුව අමුතුම සිස්ටම් එකකට ලයික් ගරන පේජ් ගැන. ඒ තමයි බොරුවෙන මිනිස්සු ඇන්දීම.

ඒ‍ගොලොන්ගෙ  ලයික් රීච් වෙනුවෙනුයි කට්ටිය අන්දන්නෙ. දැන් අපි අන්දන්නෙ කොහොමද කියලා බලමු. හැබැයි ඔහොම අන්දන්නෙ නැති අයත් ඉන්නව. ඒ අය පෝස්ට් හදලා හාස්‍යමය දෙයක් මිනිසුන්ට දෙන්නෙ තමුන්ගෙම උත්සාහයෙන්. අහවල් ෆන්, පයිරේට් වගේ අතලොස්සක් පේජ්වලට ඒ ක්‍රෙඩිට් එකත් යන්න ඕන. අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මිනිස්සු මාකටින්වලට අහුවෙන්න ඕන තමයි. ඒත් මේ තරං ගොං විදියට හෘද සාක්ෂිය විකුණන මාකටින්වලට අහුවෙන්න එපා!

1. ආච්චි අම්මයි රණවිරුවයි

ඉන්ටනෙට් එකේ ඒෂියන් ග්‍රෑන්ඩ්මදර් කියලා ගහලා හොයාගන්නව ආච්චි අම්ම කෙනෙකුගෙ පින්තූරයක්. නැත්තං උන්ගෙම ආච්චි අම්මලගෙ අතට දර මිටියක් දීලා ගන්නව ෆො‍ටෝ එකක්. ඊටපස්සෙ දානව අ‍ඬෝවැඬියාවක්. කොටට ඇඳපු කෙල්ලන්ට තියෙන ලයික් ආච්චි අම්මලට නෑ කියලා. ඔන්න ඉතිං ඒ විදියට උන් ආච්චි අම්මව විකුණනවා. අපේ උන්දලත් බැරි අමාරුවෙන් හරි ආච්චිට දානව ලයික් එකක්. හැබැයි ඉතින් ලයික් එකෙන් ඒ ආච්චි අම්මගෙ ජීවිතේට නම් සෙතක් වෙන්නෙ නෑ පේජ් කාරයට මිසක්.

ඊටපස්සෙ දානව ආමි සෝල්ජර් කෙනෙකුගේ පින්තූරයක්. ඒ මිනිස්සු යුද්ධ දිනලා දුන්නෙ නැත්තං අපි තාම ගිනි බයේ ඉන්නෝන. ඒ අය ජීවිත පරදුවට තිබ්බෙ ෆේස් බුක් ලයික් බලාගෙනත් නෙමෙයි. හැබැයි මුං ඒ මිනිස්සුන්වත් තමන්ගෙ වාසියට යොදාගන්නව. රණවිරුවොන්ට ලයික් නොදා යන උන්ට සාප වෙනවා වගේ ටෝකක් දුන්නම ඉතිං අපේ උන්දලත් ලයික් දානව. එතන රණවිරුවව විකුණනවා. මොකා උනත් කමක් නෑ පේජ් එකට හිට්ස් එනවනං.

2. ආගමට/ගමට ලයික්

බුදු දහම සත්‍යයක් යැයි ඔබ විශ්වාස කරනවානම් ලයික් කරන්න කිවුවම, අපේ උන්දලත් පෙරළගෙන ගිහින් ලයික් දාන්නෙ. ලයික් එබුවම බුදුදහම සත්‍ය වෙන්නෙ නෑ යකෝ. ඒවත් අර ලයික් දාහක් ආවම ළමයින්ගෙ ලෙඩ සනීප වෙනවා වගේ ගොං පාට්. නැත්තං කියනව ජේසු ජීවමානනං ලයික් කරන්න කියලා. ජේසු ජීවමානයි නං ලයික් කර කර ඉඳල වැඩක් නෑ. ඒ උත්තමය කියන දෙයක් අහලවත් හැදුනනං ඇති.

ඕකම තමයි ගම විකුණං කන එක. පහුගිය කාලෙත් පළාත් වලියක් තිබුනනෙ. මුං ඒවයෙන් හොඳට ප්‍රයෝජන ගන්නව. ලෝකෙන් ‍ලොකුම ගාල්ලය කියන්නෙ පිටරටකට ගිහිල්ල නැති එවුන්. ඔක්කොම බිස්නස්කාරයො ආවෙ ගාල්ලෙන් නං ඇයි උන්ගෙ බිස්නස් කොළඹදි කළේ? ඇයි මහ ලොකු ‍කොළඹ උන්දලා ලස්සන බීච් හෙයාගෙන ගාලු යන්නෙ? කැලෑ හොයගෙන නුවර යන්නෙ? මාලු ඇඹුලතියල් කන්න ගාලු යන්නෙ? නුවර තරං සුන්දර පරිසරයක් තවත් නෑ කියන උන් දන්නවද නුවර කොච්චර දූෂිතයිද කියලා. හොඳ මිනිහට කොහෙත් හොඳයි. ඒ නිසා පේජ් කාරයොන්ගෙ ගුණ්ඩුවලට අහුවෙන්නෙපා.

3. කොමන් නමට ලයික්

ඔය කසුන් කියලා නම තියෙන උන් හෙන සල්ලලාලයො කිවුවම අපේ අයියලත් කසුන් කියලා නම තියෙන ඔක්කොම උන් ටික අල්ලලා ටැග් කරලා ඒ පෝස්ට් ෂෙයා කරනවා. පේජ් ඇඩ්මින්ලා කසුන් කියන නම තෝරගන්නෙම ඒක කොමන් නිසා. තමුන්ගෙ හොඳම යාළුවෙක්ව අපහාසෙට ලක්කරන එක ආතල් තමයි. හැබැයි ඒක පේජ්වල ගුණ්ඩුවලට කරන්නෙපා.

4. අපිව බ්ලොක් වෙන්න යන්නෙ

අනේ බලන්න අපි සිංහල ජාතියට උර දෙන්න ගියා. දැන් අපිව පර හම්බයෝ රිපෝට් කරලා. අපිව දැන් බ්ලොක් වෙන්නයි යන්නෙ. ඒ නිසා මේ පෝස්ට් එක දකින ඔයාලා අපිට ලයික් එකක් දාගෙන යන්න. වගේ නාහෙන් අඬපු පෝස්ට් ඔයාලත් දැකලා ඇති. ඔය පට්ටපල් බොරුවලට අහුවෙන්නෙපා. ඕවත් අර සින්දු කියලා හම්බු කරපු සල්ලිවලින් කරටි කැඩෙන්න ගහලා මැරෙන්න යනකොට පත්තරවල ආටිකල් දාලා මිනිස්සුන්ගෙන සල්ලි ඉල්ලන කලාකාරයොන්ගෙ ටයිප් වැඩ. තමුන් වපුරපුවයි තමුන්ට අස්වනු විදියට නෙලන්න එන්නෙ. තමුන් කියපු සින්දුවලට හම්බුකරපු සල්ලිවලින් තමුන් බීලා, ගෑණු තියං හිටියනං අනාගතේ තමුන්ට කෙලවුනාම ආයෙ මිනිස්සුන්ගෙන් හිඟන්න එන්න හොඳ නැහැ. ඒ වගේම තමයි තමුන් එකඑක මිනිස්සුන්ට මඩ ගගහා පෝස්ට් ෂොයා කරලා ඒවා රිපෝට්වෙලා පේජ් වැහෙන්න එනකොට ලයික් හිඟන්නත් හොඳ නැහැ.

5. බෑග් එකක් නැතිවෙලා – ෂෙයා කරපල්ලා

දැන් යන අලුත්ම වැඩේ තමයි මේ. මචං කෙලෙස්තිනාවෙ, මස්තබාල්දු හන්දියෙදි මගේ බෑග් එක නැතිවුනා. ඒ බෑග් එකේ ලැප්ටොප් දෙකයි, බැංකු පොත් ටිකයි, අයි ඩී දෙකයි, පුංචි අල්මාරියයි, දාලා තිබුනා.  අනිද්දට විභාගෙ ලියන්න මගේ අයි ඩී දෙක ඕන. අනේ මේක කෙලෙස්තිනාවෙ මනුස්සයෙක් දකිනකං ෂෙයා කරපං කියලා දානවා. ඕවත් අර කොටියා එනෝ ටයිප් වැඩ. මේ වගේ දේවල් වලින් ඇත්තටම සේවයක් සිද්ධ වෙච්ච අවස්ථාත් ඕනෙ තරම් තියනවා. හැබැයි ඇත්තටම සිද්ධ වුනාට පස්සෙ එවුවට ලයික් ෂෙයාස් වැඩි නිසා බොරුවටත් ලියලා දාන ඒව තියනවා. අහුවෙන්නනං එපා.

6. පිලිකා සහ සාසන

හොයාගන්නව ඉන්ටනෙට් එකෙන් තට්ටෙ තියෙන පුංචි කොල්ලෙක්ව.  අනේ මේ දරුවගෙ පිළිකාව සුවවෙන්න ලයික් එකක් දාන්න. ලයික් එකක් සුව එකයි. කමෙන්ට් එකක් සුව දෙකයි. ෂෙයා කළොත් සුව පහයි කියලා. අපේ උන්දලත් සුව පහවෙන්න කියලා හි‍තාගෙන ෂෙයා කරනවා. දොස්තරලා ඔවුව බලලා නෙමෙයිනෙ ‍පුතේ ඔපරේෂන් කරන්නෙ. දැන් මේක කියවලා අපිත් එක්ක ඇරගන්න එන්න එපා. පොඩ්ඩක් කල්පනා කරන්න ඇයි මෙහෙම කියන්නෙ කියලා. නිකංම නිකං අටවගත්තු පේජ් එකකින් ෂෙයා කරන පින්තූරයකට ලයික් කලා කියලා  ළමයෙක්ගෙ පිළිකාවක් හොඳ වෙනවද? පිළිකාව හොඳ කරන්න ඇත්ත උවමනාවක් තියෙනවනං ඒකට කරන්න වැඩ ඕන තරම් තියෙනවා. ආධාර දෙන්න තැන් තියනවා, පිළිකාව වෙනුවෙන් පෙනී ඉන්න ඇත්ත ව්‍යාපෘතිවලට උදව් කරන්න පුළුවන්. එහෙම නැතිව නිව්ස් ෆීඩ් එකේ වැටෙන ලෙඩ හැදුන මිනිස්සුන්ගෙ පින්තූර ෂෙයා කරන පේජ්වලට ලයික් කරන එකෙන් අර ‘මං හෙන ධාර්මිකයි’ කියන  එක ලෝකෙට පෙන්නනවට වඩා දෙයක් වෙන්නෙ නෑ.

උපුටාගැනීම :- Aniwa.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *