ඔබත් තරහ ගියාම අන් අයට බැණ වදිනවද? එහෙනම් මේ කතාව ඔබ වෙනුවෙන්මයි

හින්දු සාධුවරයෙක් ගංගා නම් ගඟ දෙසට යමින් සිටියේ ස්නානය කිරීම පිණිසයි. ඔහු පසුපස ගෝල බාලයන් පිරිසක් ද යමින් සිටියා.ඒ යන අතරමඟ ගං ඉවුරේ තැනක එක පවුලකට අයත් පිරිසක් රණ්ඩු වෙමින් සිටියා. ඔවුන් සිටියේ කෝපයෙන් දැවෙමින් එකිනෙකාට කෑකෝ ගසමින්.

සාධුවරයා ගෝලයන් දෙසට හැරී සිනාවක් මුහුණට නඟා ගෙන මෙසේ ඇසුවා: ‘ඇයි මේ මිනිස්සු තරහ ගියාම එකිනෙකාට මහ හඬින් බැණ අඬ ගහන්නේ?’

ගෝලයන් ටිකක් වෙලා කල්පනා කළා. ඉන්පසු අයෙක් මෙහෙම කීවා: ‘අපේ හිතේ සාමය නැති වුණාමයි අපි මේ විදියට කෑගහන්නේ’

‘ඉතින් ඇයි ඔබ කෑගහන්නේ, අනික් තැනැත්තා ඔබ ළඟම ඉන්නවා නම්. ඔබට කියන්න තියෙන දෙයක් හෙමිහිට එයාට කියන්න පුළුවන් නෙ.’ සාධුවරයා ඇසුවා.

අනිත් ගෝලයනුත් එක එක උත්තර දුන්නා. ඒ එකක්වත් හරි ගියේ නැහැ.

අන්තිමේ දී සාධුවරයා එය මෙසේ පැහැදිලි කළා.

‘දෙදෙනෙක් එකිනෙකා සමග කෝප ගත්තාම ඔවුන්ගේ හදවත් එකිනෙකා ගෙන් ඈත් වෙනවා. ඒ දුර නිසා එකිනෙකාට ඇහෙන්න නම් ඒ දුරට හරියන විධියට කෑ ගහලා කතා කරන්න ඕනෑ. ඔවුන්ගේ තරහ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ වැඩි දුරට හරියන විධියට තව තවත් හයියෙන් කෑ ගහල කතා කරන්න ඔවුන් දෙදෙනාට සිද්ධ වෙනවා.’

‘දැන් බලන්න දෙදෙනෙක් ආදරය කරන කොට මොකද වෙන්නේ? ඔවුන් එකිනෙකාට කෑ ගහ ගන්නෙ නැහැ. හෙමින් කතා කරන්නෙ. ඒ මොකද ඒ අයගෙ හදවත් ළං වෙලයි තියෙන්නෙ. ඒවා අතර දුරක් ඇත්තෙම නෑ. නැත්නම් තියෙන්නෙ ඉතාමත් කෙටි දුරක්.

සාධුවරයා තවත් කතා කරන්නට වුණා. ‘ඔවුන් දෙදෙනා එකිනෙකාට තව තවත් ආදරය කරන්න පටන් ගත්තා ම කතා කරන්නෙ නෑ. එකිනෙකාට කොඳුරනවා විතරයි. ඒ දෙන්නා තව තවත් ළං වුණාම කොඳුරන්නෙත් නැහැ. ඔවුන් එකිනෙකා දෙස නිහඬව බලා ඉන්නවා විතරයි. එහෙම තමයි දෙන්නකු එකිනෙකාට ආදරය කරන විට.’

සාධුවරයා ඊළඟට ගෝලයන් දෙස බලා අවසාන වශයෙන් මෙහෙම කිව්වා: ‘ඒ නිසා, ඔබලා වාද කරන විට හදවත්වලට ඈත් වෙන්න ඉඩ දෙන්න එපා. හදවත් තව තවත් ඇත් කරන වදන් එකිනෙකාට කියා ගන්න එපා. එහෙම වුනොත් ඔබලා අතර ඇති දුර කොතරම් වැඩි වෙයිද කීවොත් ආපසු එන පාරවත් ඔබලාට හොයා ගන්න බැරි වේවි.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *