ලංකාවේ ගැහැණු ළමයින්ගේ රුව ලස්සන කරන්න Nature’s Secrets ආරම්භ කළ සමන්ත කුමාරසිංහ මහතාගේ කතාව

උත්සාහ‍වන්තයාට කේන්දරයක් නැහැ…’ බුදුන් වහන්සේ කියා තිබෙන මේ කතාව, මං මගේ ජීවිත පාඨයක් තරමට හිතට ගත්තු කෙනෙක්. වාසනාව හෝ වෙලාව හෝ වෙන කිසිම කාරණාවකට වඩා මං විශ්වාස කරන්නේ මහන්සියෙන් වැඩ කිරීම.

මේ ‍රටේ මිනිස්සු ඔබව කොහොම හඳුනා ගන්නවට ද ඔබ වඩා කැමැති…

මං ගමක ඉපදුණු බොහොම සරල මනුෂ්‍යයෙක්. ඒ වගේ ම රට ගැන හුඟක් හිතන වධ වෙන කෙනෙක්, ව්‍යාපාරිකයෙකුටත් වඩා, කර්මාන්තකරුවෙක් හැටියට මාව හඳුනාගන්නවටයි මං වඩා කැමැති. මොකද අගය එකතු කරලා නිෂ්පාදනය කිරීම් කරන්න මං හුඟක් කැමැතියි.

ඔබ රට ගැන හුඟක් හිතන වධ වෙන කෙනෙක් වෙන්නෙ කොහොමද…

පහුගිය රජයේ සිට මේ රජය දක්වා, ඉන්දියාව සමඟ වෙළෙඳ හා ආර්ථික ගිවිසුම් අත්සන් කරන හැම වෙලාවකම ඒවායින් රටට වන හානිය පිළිබඳ අපි කතා කළා. රජයන් නොදකින බොහෝ පැති හෙළිදරව් කළා. මේවා මේ රටේ මිනිස්සුන්ට දැනගන්නයි “ඉන්දියානු ආර්ථික ආක්‍රමණ හමුවේ ශ්‍රී ලංකාවේ අනාගතය” පොත, මම ම ලියා සමාජගත කළේ.

බිස්නස් හැරුණුකොට මොනවද ඔබ වැඩ කරන අනෙකුත් සංවිධාන..

මවුබිම ලංකා සංවිධානය, ජාතික කර්මාන්ත මණ්ඩලය හා තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලය මේ හරහා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ උන්නතියට මගේ දායකත්වය සපයනවා.

මේ තාත්තගෙන් පුතාට යන පවුලේ ව්‍යාපාරයක් ද…

එසේ විය යුතුයි. මගේ පුතත් ලොකු දුවත් මේ වෙන‍කොට ඒ අයගෙ සුදුසුකම් හදාගෙන මාත් එක්ක වැඩ කරනවා. මගේ පුතා Chemical Engineer කෙනෙක්. අලුතින් පටන් ගත් ව්‍යාපාර දෙකක් මම ඔහුට බාර දුන්නා. ආරම්භක යුගයේ එන සියලු ගැටලුකාරි තත්වයන්ට ඔහු මුහුණ දිය යුතුයි. Nature’s Secrets Exports ආයතනය බාරව ඉන්නේ මගේ දුව. එයත් Management උපාධියක් සහ MSc එකක් කරලා ඇවිත් වැඩ පටන් ගත්තේ. මේ ව්‍යාපාර ඉදිරියට යන්න නම් දැනුම වගේ ම තමන්ගේ දේ පිළිබඳ හැඟීමත් තිබෙන්නත් ඕනේ.

Nature’s Secrets, අද කොයි තරම් පිරිසකට රැකියා හැදූ ව්‍යාපාරයක් ද…

එකකට එකක් බැඳුණු හා එකකට එකක් වෙනස් ව්‍යාපාර හයක් Nature’s Beauty Creations සමාගමට අයිතියි. රුව ලස්සන කරන නිෂ්පාදන වගේ ම කෘෂි කර්මාන්තයට සහ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ බොහෝ රසායනික සහ කාබනික නිෂ්පාදන මේ යටතේ කෙරෙනවා. ලංකාවේ ආයතනවල විතරක් හාරසිය පනහක පිරිසක් වැඩ කරනවා.

මොකක්ද ඔබේ පළමු ව්‍යාපාරය…

1993 මල්ටි කෙමි ඉන්ටර්නැෂනල් සමාගම මං පටන් ගත්තෙ ඩෑෂ් කා – වොෂ් හදන්න. ඒ, සේවකයන් අට දෙනකුගෙන්. එතැන ඉඳලා 1996 වන විට රෙදිපිළි ඩයි කිරීමට අවශ්‍ය එන්සයිම හදලා පිටරට යැව්වා. 1999 දි බංග්ලාදේශයෙත් අපේ ව්‍යාපාර පුළුල් වුණා. 2000 වෙනකොට අපි හොඳ මූල්‍ය ස්ථාවරයක හිටියා. හොඳ ආයෝජනයක් කරන්න හිතමින් ඉන්න කොටයි, මට නේචර් සීක්‍රට්ස් අදහස ආවේ.

රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදනය කරන්න ඒ පිළිබඳ ඔබට තිබුණු පසුබිම කුමක් ද…

මං ඒ වෙනකොට රූපලාවණ්‍ය නිෂ්පාදන හෝ ආලේපන ගැන හසරක් දැනගෙන හිටියෙ නැහැ. මැලේසියාවෙන් ඉතා උසස් රූපලාවණ්‍ය වට්ටෝරුවක් මිලදී ගත්තා. මමත් ඇතුළුව අපේ විද්‍යා උපාධිධාරි රසායනවේදින් එකතු වෙලා ඒ වට්ටෝරුව, අපේ රටේ ශාකසාර සමඟ මුසුකරලා අපේ ලැබ්ස්වලදි වැඩිදියුණු කළා. වෙනස් කළා. එහෙම හදපු නිෂ්පාදන 25ක් විතර අපි වෙළෙඳපොළට හඳුන්වා දුන්නෙ 2001 අවුරුද්දෙදි. මගේ රසායන විද්‍යා දැනුම උපාධියකට සීමා වුණේ නැහැ, අවුරුදු 11 ක් මං ඒ ක්ෂේත්‍රයේ වැඩ කළා.

මේ, ඔබ වැනි කර්මාන්කරුවන්ට හොඳ කාලයක් නේද…

අපි වගේ සුවඳ විලවුන් නිෂ්පාදකයන්ටයි බීමට මධ්‍යසාර නිෂ්පාදන හදන අයටයි, සුරා බදු පනත යටතේ එතනෝල් සඳහා බද්දක් පනවනවා. ඉස්සර ඒ බද්ද අපිට එත‍නෝල් ලීටරයට රුපියල් 600 යි. මත්පැන් හදන අයට ලීටරයකට 500යි. මෑතකදී, මත්පැන් හදන අයට රුපියල් 10යි. අපි වගේ නිෂ්පාදකයන්ට රුපියල් 1200 ක් ලෙස ඉහළ දමලා. මේ නිසා ලංකාවේ කොලෝන් නිෂ්පාදනය කිරීම අමාරුයි. මාත් මෙහෙ හදන එක නැවැත්වුවා.

එත‍කොට ඔබ ඔය ගෙන්වන්නේ පිටරට කොලෝන්ද…

නැහැ. මං වියට්නාමයේ සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවක් පටන් ගත්තා. අපිට දෙන එතනෝල්වලට සුරා බදු නිලධාරින්, ඒවා බොන්න බැරිවෙන්න බ්‍රිටෙක්ස් කියන තිත්ත බේතක් දානවා. ඊළඟට සල්ලි ගෙවලා ගත්තු අපේ ම එතනෝල්, ගබඩා කරන්න ඕනේ යකඩ දොරවල් දමපු ස්ටෝරුවල. ඒ ස්ටෝරුවල යතුරු තියෙන්නෙ සුරාබදු කාර්යාලයේ. සතියෙන් සතිය ඒ අයගෙන් ඉල්ලලා ඕනේ අවශ්‍ය එතනෝල් ප්‍රමාණය නිෂ්පාදන සඳහා ගන්න. වියට්නාමයේ, අපිට එහෙම කරදරයක් නැහැ. මොකද ඒ රටේ මිනිස්සු අපේ රටේ වගේ මත්පැනට බේබදු කමට ගිජු නැහැ. ඒ නිසා නීති ලිහිල්. ජාත්‍යන්තරය එක්ක තරග කරන අපිට, මේ තත්වය ලොකු බාධාවක්. එතනෝල් භාවිතයෙන් කරන කොලෝන් සහ නිෂ්පාදන එහෙ හදලා මෙහෙ ගෙනැල්ලා බදු ගෙව්වත් ලාභයි. තිත්ත වුණත් ඇත්ත ඕකයි.

මොකක්ද ඔබේ Management Style එක..

ඒ ඒ තනතුරුවලට බලතල බෙදාහැරීම හා ඔවුන්ගෙන් උපරිමය ලබා ගැනීම. හැමදේටම ඇඟිලි නොගැහැව්වාට අවශ්‍ය තැනදි මං මැදිහත් ‍වනවා.

එතකොට Business Style එක…

බිස්නස් එකක් පවතින්නේ ලාභ ලබනවා නම් තමයි. නමුත් සමහර අවස්ථා තිබෙනවා ලාභය ඉතා අඩු තැනක පවත්වාගෙන යන්න සිදුවන. තරගකාරිත්වය වැඩි නම්, හොඳම කොලිටියෙන් නිෂ්පාදනය කළා කියල මිල අධික ලෙස වැඩි කරන්න බැහැ. කොලිටිය අඩු කරන්නත් බැහැ. හොඳම දේ සාධාරණ මිලකට දෙන එක තමයි, ව්‍යාපාර ලෝකයේ සිදුවිය යුතු.

මේ ව්‍යාපාරය විශිෂ්ටත්වය කරා ගෙනියන්න ඔබ කළ ලොකු ම කැපවීම කුමක් ද…

මගේ මුළු ජීවිතය ම කිව්වොත් තමයි වැඩිය හරි. ආරම්භක යුගය තරම් ම නොවුණත් අදත් උදේ ඇවිත් රෑ දොළහ වෙනකල් වුණත් අවශ්‍ය නම් මං වැඩ කරනවා. කරන දේ සතුටින් කරන නිසා මට වෙහෙසක් නැහැ.

ව්‍යාපාරික ජීවිතයේ වැරැදුණු පැරැදුණු තැන් තියෙනවද…

අනන්තවත්. 2001 මං ඩුබායිවල අලුත් කාර්යාලයක් පටන් ගත්තා. මෙහෙන් ගිය නිලධාරියා හරියට රාජකාරි කළේ නැහැ. ඒක වැහුවා. 2005 කෝටා ක්‍රමය අහෝසි වීමත් සමඟ මැදපෙරදිග ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ අපේ බිස්නස් වැහිලා ගියා. 2004 ඉන්දියාවේ නේචර් සීක්‍රට්ස් ෂෝ රූම් එකක් පටන් ගත්තා. ඉන්දියාව පුදුම විදියට කරදර කරලා අන්තිමේ ඒකත් නැතිවුණා. අපේ රටේ ඕන විජාතිකයකුට ව්‍යාපාරවලට ඉඩ තිබුණට ඉන්දියාව නම් ලාංකිකයකුට එහෙ ඇවිත් ඔළුව උස්සන්න දෙන්නෙ ම නැහැ. මේ වගේ පාඩු අනන්තවත්.

ඔහොම වෙලාවට ඔබ හිතන්නෙ මොනවද…

මං අවදානම් ගන්න බය නැහැ. බිස්නස් කියන්නෙ ලාභ සහ පාඩු තමයි. අවදානමක් අරන් බිස්නස් කරනකොට, එතැනින් වැටුණත් තව එකකින් නැගිටින විදියයි වැදගත්.

පහු කළ දුෂ්කර ම කාල පරිච්ඡේදයත් ඕකම ද…

එක දිගට පැය හත අට විදුලිය විසන්ධි කළ යුගය. අපිට ෆැක්ටරියක් තිබුණා. ජෙනරේටර් ගන්න සල්ලි තිබුණෙ නැහැ. බංග්ලාදේශයේ පොඩි ව්‍යාපාරයක් තිබුණා. ඒකෙන් උපයපු දෙයින් තමයි මෙහෙ බිස්නස් ඇදගෙන ගියේ. එක මාසෙක මට මතකයි මං ගිනි පොලියට සල්ලි අරන් පඩි ගෙව්වා. මොන තරම් අවදානම් අවස්ථාවක වුණත් මං සේවකයන්ගෙ පඩි දවසක්වත් පමා කළේ නැහැ.

කවුද ඔබේ ව්‍යාපාරික ජීවිතයේ Role Model…

එහෙම කෙනෙක් මට නැහැ. නමුත් ව්‍යාපාරික ලෝකය පිළිබඳ මම මුලින් ම යමක් අවබෝධ කරගත්තේ මගේ මුල් ම රස්සාවෙ MD වෙච්චි චන්න ගුණසිංහ මහත්මයගෙන්. ඒ කාලෙ අද වගේ ව්‍යාපාරිකයො විශ්ව විද්‍යාලවලට ඇවිත් දේශන තිබ්බෙ නැහැ. උපාධියක් අරන් එළියට ඇවිත් තමයි රස්සාවක් සොයන්නේ. ව්‍යාපාර ගැන මොන ම දෙයක්වත් දන්නෑ,

සේවකයන් පිළිබඳ ඔබ හුඟක් හිතන Boss කෙනෙක් ද….

ඔවුන් පිළිබඳ මට වගකීමක් තිබෙනවා. යුතුකම් තිබෙනවා. ඒවා ඉටු කරන්න මම දෙපාරක් හිතන්නෑ, හැබැයි මම සේවකයන්ගෙ කරට අත දාගෙන කර්මාන්තශාලාවල හැම තැනෙකම ඇවිදින කෙනෙක් නෙවෙයි. අත්‍යවශ්‍ය අවස්ථාවල හැර කාර්යාලයේ ඉඳන් සියල්ල අහසුරුවන්නයි මං කැමැති.

ලොකු පුටුවල හිටියත් සමහර Boss ලා කේළම් අහනවා. ඔබත් එහෙම කේළම් අහන Boss කෙනෙක් ද…

නැහැ. ඕනෑම Boss කෙනකුට වැඩිපුර ම කේළම් කියන්නෙ එක්කො සෙකට්‍රි. නැතිනම් ඩ්‍රයිවර්. ‘මං ඇහුවේ නැතිනම් කිසිම දෙයක් මට කියන්න එපා! ඒක තමයි මගේ අයට මං පනවා තිබෙන අණ. ඒ තරමට ම රකින තවත් ප්‍රතිපත්තියක් තිබෙනවා.

ඒ මොකක්ද…

මරණෙකට මඟුලකට හැර කිසි දවසක මං මගේ සේවකයකුගෙ ගෙදරකට යන්නෑ. කිසිම සේවකයකුට, තෑගි බෝග අරන් මගේ ගෙදරට ඒමත් තහනම්. මම කියන්නෙ, කවුරුවත් මට කඩේ යන්න එපා! කේළම් කියන්නත් එපා! ඒවා මං අහන්න ලෑස්ති නැහැ… මගෙන් මොකවත් ලැබෙන්නෙත් නැහැ… Boss කෙනෙක් හරි Business Leader කෙනෙක් හරි වෙන්න හිතන කෙනෙක් අනිවාර්යෙන් ම සුරැකිය යුතු ප්‍රතිපත්තියක් මේක.

මොකක්ද ඔබේ මුල් ම රැකියාව…

රසායනික ද්‍රව්‍ය, තීන්ත සහ කෘෂි රසායන බෙදා හරින සමාගමක අලෙවි විධායකයෙක්. ඒවා විකුණන්න මං ෆීල්ඩ් එකේ යා යුතු වුණා. එහෙම පටන් ගත්තු වෘත්තීය ජීවිතයේ මං Marketing Manager දක්වා ඉහළට ගියා. අවුරුදු 11කට පස්සෙ මං ඒ රස්සාව අත්හැරියා.

අසාධාරණකම වෙනුවෙන් නැඟී සිටින ඔබ හැම වෙලාවෙම සාධාරණය ඉෂ්ට කරගන්නවද…

ඕ ලෙවල්වලින් පස්සෙ මං මොරටුව විශ්වවිද්‍යාලෙ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා (NDT) පාඨමාලාවට බැඳුණා. උසස් පෙළ ප්‍රතිඵල වලින් මාව තේරිලා තිබුණෙ පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයට. මම Re – Correction දැම්මා. මගේ එක ප්‍රශ්න පත්තරයක් නැතිවෙලාලු… ලකුණු හම්බවෙලා තියෙන්නෙ එකකට. ඒක හදලා දෙනකම් පේරාදෙණියට යන්න කියලා විශ්ව විද්‍යාලෙන් කිව්වා. මං මොරටුවෙන් අස්වෙලා පේරාදෙණි ගියා. හැම සතියෙම නුවර ඉඳන් කොළඹ ආවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගියා. ඒත් වැඩේ කෙරුණෙ නැහැ. මාස ගානකට පස්සෙ මං අතෑරලා දැම්මා. ඉංජිනේරුවෙක් වෙන්න හීන දැකපු මං විද්‍යා උපාධියක් අරන් පිට වුණා.

ඒත් ජීවිතේ අත් හැරුණු හොඳ ම අවස්ථා කාගෙ වුණත් හිතට නිතර වධ දෙනවනේ…

කිසිම අවස්ථාවක කිසිම දෙයක් ගැන පසුතැවිලි වන කෙනෙක් නෙවෙයි මම. ලාබ පාඩු ගැනවත් ජීවිතේ අත්හැරුණු අවස්ථා ගැනවත් කවදාවත් පසුතැවිලා වැඩක් නැහැ. ඒවා අපිව ආපස්සට ඇද දමන කාරණා විතරයි. පෙරළුණු පිට ‍හොඳයි කියලා නැවතුණු අතෑරුණ තැන ඉඳන් ඉදිරියට සිතීමයි මගේ විදිය.

දුකක් නැද්ද ඒ සිදුවීම ගැන…

අද මං ඒ ගැන සතුටු වෙනවා. විද්‍යාව හා තාක්ෂණය කියන අංශයෙන් මං සාර්ථක කර්මාන්තකරුවෙක් වුණේ මගේ විද්‍යා උපාධිය නිසා. ඒ දැනුම නිසා. ඒ නිසයි මං මගේ පළමු රස්සාවෙන් Industrial Chemicals විකිණීම ඇරැඹුවේ.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද…

අක්කටයි අයියටයි පස්සෙ මම. මට පස්සෙ මල්ලි. හැබැයි අපි හතර දෙනාගෙන් ප්‍රශ්නකාරයා මම. කීකරුකමත් අඩුම මගේ. මං අසාධාරණය පේනකොට රණ්ඩු කළා. සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් කතා කළා. දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටි දරුවෙක් නෙවෙයි මම. ගුටිකන්න හරි කතා කළා. හුඟක් වෙලාවට එහෙම දේවල් කතා කළේ තාත්තගේ අතේ දුරින් ඉඳන්… දුවන්න බලාගෙන.

කොහේද ඔබ ඉගෙනගත්තෙ…

අම්මා උගන්වපු තාත්තා ප්‍රින්සිපල් වෙච්චි මොරවක ප්‍රාථමිකයේ. ඊළඟට තාත්තට මාතරට මාරුවීමක් ලැබුණු නිසා මාතර රාහුලයට. එතැනින් ශිෂ්‍යත්වෙ සමත්වෙලා කොළඹ රෝයල් එකේ.

මොනවද ඔබට ළමා කාලයේ තිබූ හීන අරමුණු…

එහෙම අරමුණක් හිතට ආවේ ඇත්තට ම ඕ ලෙවල් පන්තියටත් ආවට පස්සෙ. මට ඕනෙ වුණේ ඉංජිනේරුවෙක් වෙන්න. මොන තරම් අකීකරු වුණත් මං මට ම දාගත්තු නීති රීති තිබුණා. පාඩම් කිරීමත් ඊට අයත්. මොන තරම් නැටුවත් විභාග වෙනුවෙන් මට ඉලක්ක තිබුණා.

ලෝකෙ වෙනස් දේ කළේ පුංචි කාලෙත් වෙනස් විදියට හිතන දරුවෝ… මේ කතාව ඔබටත් අදාළයිද…

අවුරුදු දෙකේදි දරුණු බඩේ අමාරුවකින් මැරෙන්න ගිය දරුවෙක් මං. මගේ ආත්තම්මා මොරවකට අරන් ගිහින් මී කිරි පොවලලු මං පණ ගැහුවේ. ටිකක් ලොකු වුණාමත් කළු හීනි කෙට්ටු කටු ගැහුණු කොල්ලෙක් මං. ඒ වුණාට මං ඇතුළේ සිතිවිලි අතින් යෝධයෙක් හිටියා.මට ඕනෙ වුණේ ලොකු වැඩ කරන්න. වෙනස් වැඩ කරන්න. හැදුවේ මට වඩා ලොකු සරුංගල්. ඒවා උඩ ඇරියෙ වලිගෙට ලයිට් දාලා. මං මට හිතුණු ඒ හැමදේම කරලා බැලුවා. වැරදුණාම ඉගෙන ගත්තා.

දෙමවුපියන්ගෙන් ඔබේ ජීවිතයට උකහා ගත් දේ මොනවද…

මගේ අම්මගෙයි තාත්තගෙයි මුළු ජීවිතේ ම වුණේ ඉස්කෝලෙ. අවංකකම සහ කිසි දවසක මනුෂ්‍යයකුට වංචාවක් නොකළ යුතුයි කියන ජීවිත පාඩම් ඉගෙන ගත්තෙ තාත්තගෙන්. ආදරණීය මනුෂ්‍යයන් හැටියට ජීවත් විය යුතුයි කියලා ඉගෙන ගත්තෙ අම්මගෙන්.

අද එහෙම වුණාට, ළමා කාලයේ ඔය තරම් ප්‍රතිපත්ති ගරුක වෙන්න නැතුව ඇති…

තාත්තා වගේ ම අපිත් සිගරට් අරක්කු කටේ තියලා නැහැ, මට ඕනෙ තරම් බොන යාළුවො හිටියා. විශ්වවිද්‍යාලෙදි විශේෂයෙන්. මොන තරම් හිතුවක්කාර වැඩ කළත් තාත්‍තගෙ ආදර්ශය අපි තුළ මහා පවුරක් වගේ නැඟී හිටියා. අවස්ථාවන් තිබුණට ඕන බොන තැනක මට නොබී ඉන්න පුළුවන් වුණේ ඒ නිසා.

වැහෙන තරමට ඔබ, අලුත් ව්‍යාපාර පටන් ගන්න හිතන කෙනෙක් ද…

මං අලුතින් බිස්නස් එකකදී හිතන්නෙ කොයිතරම් උපයන්න පුළුවන්ද කියන කාරණ­ාවම නෙවෙයි. රටටත් වැඩක් වෙනවද කියන එක. අපේ Lanka Bio Fertilizers ආයතනයෙන් නිපදවන කාබනික පොහොර ද්‍රාවණයෙන් පුළුවන්, මේ රටේ මහ පොළොවට ඉසින විෂ කෘෂි රසායනික පොහොර ප්‍රමාණය 50%කින් අඩු කරන්න. නමුත් මේ ඇත්ත ජනතාව අතරට යන්නෙ බොහොම හෙමින්. ඇතැම් රාජ්‍ය නිලධාරින්ගෙන් හා ඇතැම් දෙපාර්තමේන්තුවලින් පුදුම කකුලෙන් ඇදිල්ලක් තියෙන්නේ. ඉතින් ජනතාව අතරට යන්නෑ.

ඉතින් ඔබට පුළුවන් නේ, ලාභ ලබන මීට වඩා හොඳ ව්‍යාපාරයකට යන්න…

අවුරුදු දෙකකට කලින් මේ Bio Fertilizer ව්‍යාපාරය පටන් ගත්තේ රුපියල් මිලියන සියයකට වැඩිය යට කරලා. අද වෙනකල් පාඩුවට දුවන්නේ. මගේ අනෙක් බිස්නස් නිසා පුළුවන් තරම් කල් ඇදගෙන යනවා. මේක හොඳ අනාගතයක් තියෙන ව්‍යාපාරයක්. රටට ආර්ථික වශයෙන් වාසි ගෙනෙන සහ වකුගඩු රෝග ව්‍යාප්තියට තිත තැබිය හැකි ව්‍යාපෘතියක්. මට මේක අත්හරින්න හිතෙන්නෙ නැත්තේ මේ නිසා. මේ රටට අ‍‍ගේ නැති වුණාට වෙන රටකට හරි මට මේ නිෂ්පාදනය දෙන්න පුළුවන්. ඒ වුණාට තවමත් අත් නොහැර මං උත්සාහ කරන්නෙ මේ රටට මේකෙ වටිනාකම පහදා දෙන්න. ඒක මට කෝටියකට වඩා වටිනවා. තව ව්‍යාපාර දහයක් ඇරියට වඩා වටිනවා.

ඒ වුණාට ඕනෑම කෙනෙක් Business කරන්නේ මුදල් පරමාර්ථයෙන්මනේ…

සල්ලි හම්බ කරන්න විතරක් බිස්නස් කරන එකෙන් මට තෘප්තියක් නැහැ. ඔබ දන්නවද මේ බයො ෆිල්ම් තාක්ෂණයෙන් පුළුවන් මදුරු කීට මර්දනය කරන BT බැක්ටීරියාව හදන්න. නමුත් කිසිම සතෙක් මරන්නවත් පරිසරයට හානිකරන කිසිවක් වත් මං නිෂ්පාදනය කරන්නෑ. සල්ලි හම්බ කරන්නම බිස්නස් කරන එකෙයි, ආත්ම තෘප්තිය ලබන ගමන් සල්ලි හම්බ කරන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.

ලොකු ප්‍රාග්ධනයක් නැතුව බිස්නස් වලට අතගහන්න බැහැ… මෙහෙම හිතන ආධුනිකයන්ට ඔබ මොනවද කියන්නෙ…

මගේ පළමු බිස්නස් එක පටන් ගනිද්දි අතේ තිබුණෙ ලක්ෂ තුනයි. පස්සෙ මං මගේ ඉඩමත් උකස් කරලා ලක්ෂ 20ක් ගත්තා. ශිල්පෙ දැ ගැනීමයි මූලිකම දේ. ඒ පසුබිමත් එක්ක‍ පොඩියට පටන් ගන්න එකයි වැදගත්. ඊළඟට පුවවන් අතු පතර විහිදවන්න.

ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක කුමක් ද…

මගේ උසස් පෙළ උත්තර පත්‍රය නැති වූ එක. මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉවත්වෙලා විද්‍යා උපාධියකට පේරාදෙණියට යන්නෙ ඒ නිසා. මං කර්මාන්තකරුවෙක් වෙන්නෙත් රටට රැකියා අවස්ථා හැදූ ව්‍යාපාරිකයෙක් වෙන්නෙත් ඒ නිසා.

එතකොට බිස­්නස් එකේ හැරවුම් ලක්ෂ්‍යය….

විශාල පරිමාණයේ රසායන ක්ෂේත්‍රයේ නිෂ්පාදන කළාට Nature’s Secrets රූපලාවණ්‍ය නිෂ්පාදන අංශයට යොමුවීම. හරිම වෙලාවෙදි හරිම විදියට වෙනස් වීම තමයි ව්‍යාපාරයකදි වැදගත්.

ආගමත් එක්ක තිබෙන බැඳීම කොහොම එකක් ද…

බුදුන් ගැන මිස මං දෙවියො විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. පන්සල් එක්ක සම්බන්ධකම් තිබුණට, හැම පෝයට ම පන්සල් යන එහෙම බෞද්ධයෙකුත් නෙවෙයි. බෞද්ධකම තුළ ජීවත්වීම පමණයි මට වැදගත්.

දෙවියන් විශ්වාස නොකරන ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරනවද…

හොඳ වැඩකදි හොඳ වෙලාවක් බලනවා හැර ඒ පසුපස හඹා යන්නෑ. ‘උත්සාහ‍වන්තයාට කේන්දරයක් නැහැ…’ බුදුන් වහන්සේ කියා තිබෙන මේ කතාව, මං මගේ ජීවිත පාඨයක් තරමට හිතට ගත්තු කෙනෙක්. වාසනාව හෝ වෙලාව හෝ වෙන කිසිම කාරණාවකට වඩා මං විශ්වාස කරන්නේ මහන්සියෙන් වැඩ කිරීම. උත්සාහය අවසානයේ ඉන් ලැබෙන ඵලය.

ජීවිතයේ ලබපු ලොකු ම ජයග්‍රහණය කුමක්ද…

මම හොඳ පුරවැසියෙක් වීම සහ හොඳ දරුවො තුන්දෙනෙක් හදපු එක. මොන තරමින් මොන දේ ලැබුණත් දරුවො හොඳින් හැදුණෙ නැතිනම් තාත්තෙකුගේ මොන සාර්ථකත්වයක්ද…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *