ලංකාවේ පාරවල් වල දුවන සුපිරි වාහන සෙට් එක මෙන්න

ලංකාව ටික ටික වෙනස් වීගෙන යන්නේ, කොච්චර නැති බැරි වීගෙන ගියත් තියෙන කෙනා තමන්ට උවමනා කරන සැප ලෝබ නැතුව ගන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ නිසානේ මෙච්චර බදු වැඩි කරපු වෙලාවෙත් වටිනා වාහන ගෙනෙන්නේ. ඒ වගේම රට මෙතරම් ණය වෙලා තියෙනකොටත් ඇමතිවරු වාහන විකුණන සයිට් වල කෝටි ගණන් වටිනා ජීප් විකුණන්න දමන්නේ.

ඉතින් මේ වෙනස නිසා අපි කල්පනා කළා ලංකාවේ සුලභ නැති එහෙත් නැත්තෙත් නැති වටිනා වාහන ගැන පොඩි විස්තර ටිකක් ඔයාලට කියන්න.

1. Rolls Royce Wraith

වාහන ලොව රජ රථය කියා හඳුන්වන රෝල්ස් රොයිස් මෝටර් රථ සමඟ බැඳුනු ලංකාවේ ඉතිහාසය දිගු දුරකට ගමන් කලත් මේ වාහන සමාජයේ සුලභ නොවුනේ ඒ සතුව පවතින අධික මිල නිසාමයි. මේ මාතෘකාව ආපහු සමාජයට කල එලි බහින්න ගත්තේ පසුගිය දිනෙක ලංකාවේ ප්‍රකට සමාගම් හිමිකරුවෙක් විසින් ඇනවුම් කර මෙරටට ගෙන්වා ගත් Rolls Royce Wraith රථයක් නිසා. නිෂ්පාදන වටිනාකම සමඟ බදු එකතු වූ විට රුපියල් මිලියන 158ක් වෙන මේ රථය දොර දෙකේ මොටර් රථයක් වෙන අතර එය බරින් ටොන් 2.3 වෙනවා. එයට අමතරව වේග 8ක ස්වයංක්‍රීය ගියර පද්ධතියකින් සමන්විතයි.
මේ මෝටර් රථයට කලින් ලංකාවේ පැවැත්වුණු CHOGM සමුළුවට භාවිතා කරන්නට ගෙනා Rolls Royce Ghost රථයක් ගැන කතාබහක් ගියත් වර්තමානයේ ඒ රථයට කුමක් වුනාදැයි කිසිවෙක් දන්නේ නැහැ.මේ Rolls Royce Ghost මෝටර් රථයේ හිමිකරුවන් වන්නේ අවෙන්රා ගාඩ්න්ස් හෝටල් සමුහයයි.

2. Mercedes Benz S300

S class බෙන්ස් එකක් කියන්නේ වර්තමානයේ ලංකාවේ තිබෙන මිල අධිකම මෝටර් රථ වලින් එකක්. මිලියන 40 පමණ වටිනාකමින් යුතු වෙන මේ මෝටර්රථ මොඩලයේ එකක් පසුගියදා ලංකාවට එක්තරා ඇමතිවරියක් විසින් ගෙන්වූවායි පවසනු ලැබුවා. ලීටර් 4.7ක Bi-Turbo එන්ජිමක් සහිතව Bluetec Hybrid තාක්ෂනය සමඟ ඉහල ඉන්ධන පිරිමස්මක් සහිතව එන මේ මෝටර් රථයට 0-100 දක්වා ත්වරණ වේගය තත්පර 8.2 කින් ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම 5 දෙනෙකුට බොහොම පහසුවෙන් ගමන් කල හැකි අතර පළල ටයර නිසා ධාවනය ස්ථාවරව කරන්නට හැකියාව තිබෙනවා.

3. BMW i8

BMW වාහන ලංකාවට ගෙන්වන Prestige Automobile ආයතනයෙන් මෙරටට ගෙන්වපු BMW මාදිලියේ ප්‍රථම Plug-in Hybrid මෝටර් වර්ග දෙකෙන් එකක් වන i8 රථය පැයට කි.මි. 1-100 තෙක් තවරන කාලයක් ලබා ගන්නට ගත වෙන්නේ තත්පර 4.4 පමණයි. ඒ වගේම දොර 2ක් සහිතව පැමිණෙන නිසා බොහොම හැඩකාර පෙනුමින් යුතු මේ වාහනය ලංකාවේ කිහිප පොලකම අපිට විවිධ වර්ණ රැසකින් අපිට දැකගන්නට පුළුවන් වෙනවා.

4. GMC Sierra

ලංකාව ඇතුලේ Pick-up trucks කියලා කියන්නේ Toyota, Nissan ඩබල් කැබ් වලට නම්, අපි හදාගත්තු ඒ මනඃකල්පිත මත වලට හොඳ උත්තරයක් දෙන්නට සමත් වෙලා තිබෙන pick-up truck එකක් තමයි GMC Sierra කියලා කියන්නේ. අශ්ව බල 285ක v-6 එන්ජිමක් සමඟ එන මේ වාහනය ඇමරිකාවෙත් මිල ආරම්භ වෙන්නේ ඩොලර් 51000 විතර නිසා ලංකාවේ ගාණ කියද කියලා අමුතුවෙන් කියන්නට උවමනා නැහැ කියලයි අපි නම් හිතන්නේ. කොහොමටත් විශාලත්වයෙන් වැඩි අධික කැබින් ඉඩක් තිබෙන වාහන වලින් මුල් තැන තිබෙන මේ වාහනය වාහන ලෝලී ඕනෙම කොල්ලෙක් කෙල්ලෙක්ගෙ සිහිනයක් කියලා කිව්වොත් වැරදි නැහැ.

5. Cadillac Escalade

ඉස්කෝලේ පෙළ පොත් වල ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියලා තිබුනට වෙලාවකට හිතෙනවා, ලංකාව දියුණු වෙලා ඉවරයිද කියලත්. එහෙම හිතෙන්න හේතුවක් වුනේ Cadillac Escalade වගේ American SUV වල පින්තුර අන්තර්ජාලයේ සොයාගන්නට ඉඩ ලැබීමත් එක්කයි. ටික කාලෙකට කලින් C300 වගේ Cadillac වර්ගයේම sedan මෝටර් රථ ලංකාවට ගෙන්නුවත් Escalade වගේ ජීප් වාහන ලංකාවේ ධාවනය වුනේ නැති තරම්.

එහෙත් මීට ටික කාලෙකට ඉහතදී Cadillac Escalade 2012 වාහනයක පින්තුර අන්තර්ජාලයට නිකුත් වී තිබුනත් මුදලින් රුපියල් මිලියන 50 සිට ඉහලට තිබෙන මේවායේ හිමි කරුවන් කවුරුන්දැයි ප්‍රසිද්ධ වී නැහැ.

ඉන්ධන ගැලුමකින් සැතපුම් 15 පමණක් ගමන් කරන මේ වාහනය ලීටර් 6.7 ක V8 එන්ජිමකින් සමන්විත වෙනවා. මේ නිසා ඉන්ධන බොහොම ලාභ සවුදි අරාබි කලාපයේ ජීවත් වෙන ලාංකිකයින් මෙහෙම රථ භාවිතා කරන එක විශ්වාස කල හැකි වුවත්, ලංකාව වගේ රටකට මේ වාහන කෙලෙස ගැලපෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම අලෙවියෙන් පසු සේවා කොහොම වේවිද කියන එක නම් ගැටළුවක්.

6. Dodge Challenger SRT

ලීටර් 6.7ක අධි බලැති එන්ජිමක් සමඟ එන, Dodge Challenger SRT මෝටර් රථය ඇමෙරිකාවේ මිල ආරම්භ වෙන්නේ ඩොලර් 26000 සිට වුනත් එය ඩොලර් 70000ක පරාසයක් දක්වා විහිදෙනවා. ඉතින් නිකමට හිතන්න ලංකාවේ බදු එක්ක මිල එකතු වුනාම මේ මිල කියක් වේවිද කියලා?ඒ වුනාට අපේ ලාංකික වාහන ලෝලියෝ මිල කියන සාධකය ප්‍රශ්නයක් කරගෙන නැහැ. එහෙම අපිට හිතෙනවා මේ පින්තුර දැක්කම.

7. Porsche Boxster 718

යහමින් සල්ලි බාගේ තියෙන කෙනෙක් නම් ඔබට මෙහෙම වාහනයක් ගන්න එක එච්චර ගේමක් නොවුනත් මිලියන 12 සිට මිල ආරම්භ වෙන මේ අපුරු මෝටර් රථය කාර් වලට ආස ඕනෙම තරුනයෙක්ගේ සිහිනයක් කියලා අනිවා කියන්න පුළුවන්.අශ්වබල 300 ක සිලින්ඩර් 4 එන්ජිමක් සහිතව නිමවෙන මේ මෝටර් රථයට තරඟයක් දෙන්නට පුලුවන්නම් ඒ සියල්ලක්ම අයත් වෙන්නේ යුරෝපියානු මෝටර් රථ නිෂ්පාදකයින් යටතට පමණයි. දෙදෙනෙකුට පමණක් ගමන් කරන්නට හැකි මේ පොර්ෂ් මෝටර්රථය වචනයේ පරිසමාප්ත අරුතින්ම කොල්ලෙක්ගේ හීනයක් කියන එක වඩා නිවැරදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *