හාර්ඩ්වෙයාර් එකකින් කියත් පටි තුනක් අරන් ගියා , ඒ දළ පූට්ටූවාගේ දළ කපාගන්න” දළ පූට්ටූවා හස්තියා ඝාතනයේ මෙතෙක් ප්‍රසිද්ධ නොවූ සංවේදී කතාව

රටටම අභිමානයක් වී ලෝක උරුමයක් ලෙස පවා නම් කර තිබූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා.

මෙලෙස ඝාතනය කළ දළ පූට්ටූවා හස්තියාගේ දළ යුවල සාහසික දඩයම්කරුවන් විසින් කපා ගෙන ගොස් තිබුණා, කෙසේ වෙතත් දළེ පූට්ටුවා  ඝාතනයට සහ හස්තියාගේ ඇත් දළ යුගල අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.  ඉන් ප්‍රධාන සැකකරු වන්නේ හේරත්ගම ග්‍රාම නිලධාරිවරයාය. අසංක සෙනරත් බණ්ඩාර නමැති ඔහු 32 හැවිරිදි වියෙහි පසුවෙයි. සැකකරුවන් පිළිබදව සහ දළ පූට්ටූවා ඝාතනයේ ප්‍රසිද්ධ නොවු කතාව මුද්‍රිත මාධ්‍ය විසින් පළ කර තිබෙනවා. ඒ අනුව දළ පූට්ටූවා ඝාතනයේ මෙතෙක් නොපලන් කතාව මෙලෙසිනි ,

දළ පූට්ටූවා ඝාතනයේ මහ මොලකරු වූ අසංකට වැඩිමහල් සහෝදරයකු සහ සහෝදරියක සිටිති. වැඩිමහල් සොහොයුරා වාරි ඉන්ජිනේරුවරයකු වන අතර වැඩිමහල් සහෝදරියද ග්‍රාම නිලධාරිනියකි. වැඩිමහල් සොහොයුරියද ග්‍රාම නිලධාරිනියක වන්නේ නාගල රජමහා විහාරාධිපතිගේ සහායත් ලබමින් බව ගම්මු පවසති. මෙම තුන් සොහොයුරු සොහොයුරියන්ගේ නිවාසද පිහිටා ඇත්තේ එකම ඉසව්වකය.

අසංක ජීවත් වන්නේ ඔහුගේ මහ ගෙදරය. එම මහ ගෙදරද දෙමහල් නිවෙසකි. එම නිවසද සුපිරි නිවෙසක් දක්වා ගොඩ නඟා ඇත්තේ අසංක විසිනි. ඊට යාබදව ඇත්තේ අසංකගේ සොහොයුරාගේ නිවෙසය. එයද ඉදිවෙමින් පවතින සුවිසල් දෙමහල් නිවෙසකි.

මොරගොල්ලාගම ප්‍රදේශයේ ඇති සුපිරි නිවාසද ඇත්තේ අසංකගේ පවුලේ උදවියටය. මෙවැනි සුපිරි නිවාස සාදා සුපිරි වාහන පදිමින් අසංක සුපිරි ජීවිතයක් ගත කරන්නේ ඔහු ලබන ග්‍රාම සේවක පඩියෙන්ද යන්න ප්‍රශ්නාර්ථයක් ගම්මුන්ට නැගී තිබේ. මන්ද ග්‍රාම සේවක වැටුපකින් පමණක් මෙවැනි වූ සුපිරි ජීවිතයක් ගත කිරීමට නොහැකි බව ගම්මු දනිති. නාගල රජමහා විහාරයේ නායක හිමි සමඟ සමීප ඇසුරක් පවත්වන අසංක ග්‍රාම නිලධාරි තනතුර හිමි වීමට ප්‍රථමව එම හිමියන්ගේ රියැදුරු ලෙස කටයුතු කර ඇති බව ගම්මු පවසනවා.

එම හිමියන් වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන නිසා පළාතේ විවිධ දේශපාලනඥයෝද නිතර නිතර විහාරස්ථානයට පැමිණෙති. නායක හිමිනම සමඟ කිට්ටු ඇසුරක් පවත්වන දේශපාලනඥයකුගේ ආධාර අනුබල ඇතිව වර්ෂ 2009දී අසංක ග්‍රාම නිලධාරිවරයකු වන්නේය. පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති අංක 342 දරන හේරත්ගම ග්‍රාම නිලධාරිවරයා ලෙස කටයුතු කරමින් සිටි අසංක සෙනරත් බණ්ඩාර විවාහ වන්නේ වර්ෂ 2014 දීය.

ඇත් දළ ජාවාරම සම්බන්ධයෙන් අසංකගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමිපුරුෂයාද අත්අඩංගුවට පත්විය. විතානලාගේ චමින්ද තිලකරත්න ධනංජය ලාල් වන ඔහු සන්තකයේ ඇත් දළවලින් සාදන ලද පෙන්ඩන්ට් කොටස් 5ක් සහ ගජ මුතුවක් තිබී සොයාගෙන තිබිණි. අසංකගේ මස්සිනා වෘත්තියෙන් මුරුක්කු පැකට් නිෂ්පාදනය කරන්නෙකි. ඝාතනය කරන ලද ඇත් රජුන්ගේ දළ කපා ගැනීමට කැලයට ගිය පුද්ගලයන් හතර දෙනකුද නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉකුත් නොවැම්බර් 30 වැනි දින අත්අඩංගුවට ගනු ලැබීය.

අජන්ත අමරජීව, නිලන්ත පුෂ්පකුමාර, මංජුල ප්‍රදීප් ජයසිංහ, අරවින්ද බණ්ඩා යන සැකකරුවෝ සිවුදෙනා මීට මාසයකට පමණ ඉහත දිනක පස්වරු 3.00ට පමණ දළ පූට්ටුවාගේ ඇත් දළ කපා ගැනීම සඳහා කැලයට පිටත්ව ගියහ.
ඒ මොරගොල්ලාගම ප්‍රදේශයේ හාඩ්වෙයාර් එකකින් කියත් පටි තුනක්ද මිලදී ගෙනය. එම කියත් තල දැමීමට අවශ්‍ය අත් කියතද නිලන්ත සතුව තිබී ඇත. ඇත් රජුගේ ඇත් දළ යුගල කපා ගත් මෙම පිරිස රාත්‍රි නවයට පමණ නැවත මොරගොල්ලාගම, සියඹලාව ප්‍රදේශයේ සිටි නිලන්තගේ නිවෙසට පැමිණෙති.

නිලන්තගේ නිවෙසට පැමිණි ඔවුහු ඇඟපත සෝදාගෙන තේ කහට බී මංජුලගේ ත්‍රිරෝද රථයේ නැඟී අජන්තගේ නිවෙසට පැමිණියහ. ඇත් රජුගේ දළ දෙකද ත්‍රිරෝද රථයේ සඟවාගෙන පැමිණි ඔවුහු අජන්තගේ නිවෙස පිටුපස ඇත් දළ යුගල සඟවා පිටත් වූහ. පසුව අජන්ත රෑ බෝවී ඇත් දළ යුගල ඔහුගේ නිදන කාමරයට ගත්තේය.

ඉන්පසු හේරත්ගම ග්‍රාමසේවකවරයා වූ අසංකද සිය මිතුරා වූ අජන්තගේ කාමරයට පැමිණ ඇත් දළ යුගලෙහි ඡායාරූප ගත්තේය. දළ පූට්ටුවකුගේ ඇත් දළ අධික මිලැති බව වටහා ගත් අසංක ඉන් තව තවත් පොහොසත් වීමට සිතා දළ යුගල අලෙවි කිරීමට සැලසුම් දියත් කළේය. මෙම කාලය තුළ ඇත් දළ ජාවාරම්කරුවන් කිහිපදෙනකුද අජන්තගේ නිවෙසට නිතර නිතර පැමිණ ගොස් ඇති බවටද පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. ගල්ගමුවේ ඇත් රජාණන්ගේ ශරීරයෙන් කපා වෙන්කර ගත් ඇත් දළ යුගල පරීක්ෂා කිරීම සඳහා එක්තරා චීවරධාරියකු ද අජන්තගේ නිවෙසට පැමිණ ඇති බවටද බුද්ධි අංශ වෙත මේ වනවිට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත් දළ ජාවාරමට චීවරධාරියකු සම්බන්ධ බවට සාධාරණ සැකයක්ද පොලිස් පරීක්ෂණ කණ්ඩායම් වෙත මතුවී ඇත. අජන්තගේ නිවෙසට කිහිපවතාවක්ම පැමිණි ග්‍රාම සේවක අසංකද අජන්තගේ ඇඳ මත තබා ඇත් දළ යුගලයෙහි ඡායාරූප ගෙන තිබේ. අසංක සමඟ වලාන දූෂණ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු පොලිස් සහායකයකු වූ ඉන්දික බණ්ඩාරනායක අසංකගේ නිවෙසට පැමිණෙන්නේ ඇත් දළ ගනුදෙනුවට සති දෙකකට පමණ ඉහතදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *