මළ මිනියේ ඇස්‌ ගලවා විකුණන අලුත්ම ජාවාරම

සිවී ජාතකය ද අසා ඇත්තෙමු. ඒ උතුම් පිංකම සිත්හි තබාගෙන මෙලොවදී සිදුකරන පින පව පරලොව සුගතියට හෝ දුගතියට හේතුවන්නේය යන කියමන සමඟ සබැඳෙමින් මෙලොව වෙසෙන බොහෝ දනන් තම සිරුරේ අවයව දන් දෙති. ඒ අතරින් ප්‍රමුඛස්‌ථානයක්‌ ගනු ලබන්නේ ඇස්‌ දන් දීමය.ඇස්‌ දන් දීම පහසුය. අපගේ ඥාතියා මිය ගිය ඕනෑම විටෙක ඇස්‌ දෙක පරිත්‍යාග කරමු දැයි අපෙන් විමසමින් හාන්කවිසියක්‌වත් නැති වන්නට ඇස්‌ රැගෙන යන්නට දැන් ශ්‍රී ලංකා අක්‌ෂිදාන සංගමයේ සාමාජිකයෝ රට පුරා සිටිති. පුද්ගලයකු මියගොස්‌ පැය හතරක්‌ නික්‌මෙන්නට මත්තෙන් ලබා ගන්නා ඇස්‌ දෙක ආරක්‌ෂිතව අක්‌ෂි දාන සංගමයේ මූලස්‌ථානය වෙත ගෙන ගොස්‌ භාර දී ඔවුන් ද මහා පුණ්‍ය සම්පත්තියක්‌ අත්කර ගන්නේ යෑයි අපි ද සිතුවෙමු. එහෙත් ඒ සිතිවිල්ල අසුරු සැනකින් සුන්නද් ධූලි කොට මගේ ඇස්‌ දෙක ගැන මට ද බියක්‌ උපද්දවනා පුවතක්‌ කන වැකිණි.

මාසයකට ඇස්‌ සියයක්‌ ලබා දීමේ පොරොන්දුව මත ශ්‍රී ලංකා අක්‌ෂිදාන සංගමය චීනය සමඟ ගිවිසුම් අත්සන් කර ඇත යනු එම පුවතය. මෙය ජාතික මට්‌ටමේ ක්‍රියාවලියක්‌ වන්නට පුළුවන. හුවමාරු ක්‍රමය යටතේ චීනයෙන් අපි ද කිසියම් අවයවයක්‌ ගන්නේ ද විය හැකිය. මේ සඳහා නෛතික රාමුවක්‌ තිබෙන්නට ද පිළිවන. ශ්‍රී ලංකා අක්‌ෂිදාන සංගමයේ භාරකාර මණ්‌ඩලය, කාර්යය මණ්‌ඩලය ඇතුළු සාමාජිකයන් හට සංගමයේ ව්‍යවස්‌ථාවට අනුකූලව එසේ කළ හැකි වන්නට ද පිළිවන. කල්පනා කළ යුතු බරපතළම දෙය වන්නේ, මෙසේ ගිවිසුම් අත්සන් කොට ඇත්තේ තවමත් නොමළ මිනිසුන්ගේ ඇස්‌ ලබා ගැනීමක්‌ උදෙසාය. මන්ද ඇස්‌ ලබා ගත හැකි වන්නේ මිය ගොස්‌ පැය හතරක කාලයක්‌ ඇතුළත වන බැවිනි.

ඒ ඔස්‌සේ කරුණු සොයා ගිය කල අපූරු පුවත් රැසක්‌ මැවිණි.ඇස්‌ දන් දීම යනු කුණිතය බද්ධ කිරීම සඳහා අවශ්‍ය වන කුණිතය  සුදු පැහැති කොටස  අභ්‍යන්තර පටක දන් දීමය. පොදුවේ කටවහරේ ඇත්තේ ඇස්‌ දන් දීමේදී මෙම කොටස්‌ කිසියම් රෝගියකුගේ ඇසකට නැවත බද්ධ කළ හැකිය. මින් වැඩි වශයෙන්ම අවශ්‍ය වන්නේ කුණිතය නමැති පටක කොටසය. කිසියම් පුද්ගලයකුගේ ඇසේ කුණිතයේ ප්‍රදාහයක්‌ ඇති වූ කල හෝ අනතුරකින් කුණිතයට කිසියම් හානියක්‌ සිදු වූ විටෙක කුණිතය බද්ධ කිරීම අක්‌ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු විසින් සිදු කරනු ලබයි. මෙයට අමතරව උපතින් සිදුවන කිසියම් රෝගී තත්ත්වයකදී වුවද කුණිතය සුදු පැහැති කොටස හෝ අභ්‍යන්තර පටක බද්ධ කිරීමක්‌ සිදුවේ. මේ සඳහා අවශ්‍ය වන ඇසේ කොටස්‌ ශ්‍රී ලංකා අක්‌ෂි බැංකුවෙහි තැන්පත් කොට තිබේ.එම ඇස්‌ අවශ්‍ය වන විටෙක ලබා ගැනීම සඳහා නෛතික ක්‍රමවේදයක්‌ ඇත්තේය. ශල්‍ය කර්මයක්‌ සඳහා ඇසක්‌ ලබාගත හැකි වන්නේ, දින දෙක තුනක්‌ ඇතුළතදී වුවද බෙහෙත් ගල්වන ලද ඇස්‌, සති දෙකක්‌ හෝ තුනක්‌ තබා ගත හැකි වෙයි.

එහෙත් දිනකට උතුර හැර සෙසු පළාත්වල ප්‍රධාන රෝහල්වලින් අවමය ඇස්‌ දහයක්‌වත් ලබා ගන්නේ කිසිදු ආයාසයකින් තොරවය. සාමාන්‍ය මරණ අතරේ ලබාගත හැකි දහදෙනකුගෙන් නම් ඇස්‌ විස්‌සකි. පළාත් අටකින් නම් ඇස්‌ එකසිය හැටකි. මේ අවමයේත් අවමය වන අතර මෙම සංඛ්‍යාව වෙනස්‌ වන බව පොදුවේ කාහටත් අවබෝධ වන්නේය. දිවයින පුරා ඇස්‌එක්‌රැස්‌ කරන්නා වූ නියෝජිතයන් විස්‌සකට ආසන්න පිරිසක්‌ ද අක්‌ෂිදාන සංගමය හා අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරන්නේය. අපේ ඥාති හිතෛෂියාගේ ඇස්‌ දෙක දනට පිනට සේ උගුල්ලා ගෙන යන මෙම නියෝජිතයා අක්‌ෂිදාන ප්‍රධාන කාර්යාලය වෙත ගෙනගොස්‌ භාර දී ඇස්‌ යුගළයකට රුපියල් එක්‌දහස්‌ පන්සියයක මුදලක්‌ ලබා ගන්නේය. එසේ නම් මෙය අමතර ආදායමකි.

එහෙත් ඇස්‌ යුගලයක්‌ වෙනුවෙන් රුපියල් එක්‌දහස්‌ පන්සියයක්‌ ගෙවීමට තරම් අක්‌ෂිදාන සංගමය මූල්‍යමය දියුණු තත්ත්වයකින් පවතින්නේද? ඒ කෙසේද? යන්න තරමක කුහුලක්‌ හටගන්නේ දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා මහත්මා විසින් 1958 දෙසැම්බර් 30 වැනිදා අරඹන ලද ශ්‍රි ලංකා අක්‌ෂිදාන සංගමය වචනයේ පරිසමාප්තියෙන්ම පිළිගත් පුණ්‍ය ආයතනයක්‌ වන බැවිනි.

එකල අතිශය ලෙස හිඟව පැවැති කුණිතය වරක්‌ ශල්‍යකර්මයක්‌ සඳහා සොයා ගනු ලැබ තිබුණේ, බන්ධනාගාරගතව කාත් කවුරුවත් නැතිව මියගිය පුද්ගලයන්ගෙන් පමණි. ශල්‍යකර්ම සඳහා කුණිත හිඟවීම හේතුවෙන් කුණිත රැස්‌කිරීම සිදු කළ යුතු බවට වෛද්‍ය හඩ්සන් සිල්වා මහතා කළ යෝජනාව මත කළුතර මහවස්‌කඩුව විහාරයේදී සංගමයක්‌ ලෙස ප්‍රථම වෙඩිමුරය තබන ලදී. එය, 1961 ජූනි 11 වැනි දින ශ්‍රී ලංකා අක්‌ෂිදාන සංගමය ලෙස ව්‍යවස්‌ථාවක්‌ සහිතව කොළඹ ඇස්‌ රෝහලේදී උත්සවශ්‍රීයෙන් ඇරඹී මෙම සංගමයෙහි මුඛ්‍ය පරමාර්ථයම වූයේ, රෝගියෙකුගේ පෙනීම නැවත ඇති කිරීම සඳහා වන කුණිතය බද්ධ කිරීම සඳහා කුණිත සැපයීමය.

ඊට අදාළව 1955 අංක 38 දරණ කුණිත බද්ධ කිරීමේ පනත ද උදව් විය. ඒ අනුව ප්‍රථම ඇස්‌ ලබා ගැනීම කළුතර මහ රෝහලේ මිය ගිය රෝගියකුගෙන් සිදු කළ අතර එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට කුණිත බද්ධය සිදු කරනු ලැබිණි. එතකින් ඇරඹි මෙම සංගමයේ කටයුතු දිනෙන් දින සාර්ථක වූයේ සාමාජිකත්වය හා නිලධාරී මණ්‌ඩලයේ කැපවීමත් සමාජ සේවයත් යන අරමුණු පෙරදැරිවය. එක්‌ රැස්‌වන ඇස්‌ කල් තබා ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක්‌ ද නොතිබූ බැවින් සහ මිත්‍රශීලීත්වය හා අවශ්‍යතාවය මුල් වීම මත, සිංගප්පූරුවට ඇස්‌ හතරක්‌ යවන්නට කටයුතු යෙදුනේ 1964 දීය. එය කිරි ගහට ඇන්නාක්‌ මෙන් ටක්‌කෙටම හරි ගියේ කවුරු වුවද නොසිතු පරිද්දෙණි. ක්‍රම ක්‍රමයෙන් විදේශ රටවලට ඇස්‌ පටවන්නට එකිනෙකා උනන්දු වූයේ මල්ල බරවෙන්නට පොට පෑදෙන විටය. එහෙත් ඒ බැව් ප්‍රසිද්ධ වූයේ නැත.

සල්ලි දික්‌ කරන කොට මළ මිනියත් අත දික්‌කරන්නා වාගේ, නිකන් ලැබුණ ඇස්‌ නිසා ඩොලර් ගණන් මුදල් ඉපයිය හැකි බැව් ඒත්තු ගැන්වුණු බොහෝ දෙනා ප්‍රසිද්ධ රහසේම ඇස්‌ (කුණිත) පිටරටට පටවන්නට පටන් ගත්තේ, ඇඟට පතට නොදැනීය. දශක ගණනාවක්‌ පුරා තායිවානය, ඉතියෝපියාව, පකිස්‌ථානයට, ඉන්දියාවට, සවුදි අරාබියාවට, චීනයට සහ තවත් රටවල් කිහිපයකට කුණිත සැපයීම ජයටම කෙරුණේ කිසිවකුගේ බාධාවක්‌ නැතිවය. අදටත් එසේමය. එක ඇසක්‌ වෙනුවෙන් ඩොලර් දෙසියයක්‌ ගෙවන්නට ඒ ඒ රටවල් කටයුතු කර ඇති අන්දම ශ්‍රී ලංකා අක්‌ෂිදාන සංගමයේ සාංවත්සරික මහා සභා

රැස්‌විම් සමරු පොතෙහිම සඳහන් වන්නේය. පාලක මණ්‌ඩලය සතු බලය හා වගකීම යටතේ අත්සන් සහිතව මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සහ විස්‌තීර්ණ ආදායම් ප්‍රකාශන යටතේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වසර සඳහා වන ආදායම් ගණන් පෙන්වා ඇත. එහි පැහැදිලිව ශ්‍රී ලංකා අක්‌ෂිදාන සංගමය සඳහා වන විදේශ පරිත්‍යාග මැයෙන් සඳහන් කොටසක්‌ ඇත්තේය. 2015 වසර සඳහා විදේශ පරිත්‍යාග රු. 15401614.12 ක්‌ ලෙස සටහන් වී ඇත. මේ ඇත්තේ ඇස්‌ විකුණා ලද විදේශ මුදල් නොවේ දැයි නොදනිමි. මූල්‍ය වාර්තා ලැබීම් හා ගෙවීම් ස්‌ථිර තැන්පතු පුනරාවර්තන වියදම් බදු ගෙවීම් ඇතුළු සමස්‌ත වියදම් ඉලක්‌කම් නවයකින් සමන්විත සංඛ්‍යා අගයන් ගෙන ඇත්තේ විශ්මයජනක අන්දමටය. රාජ්‍ය නොවන ආයතනයක්‌ හෙවත් ස්‌වේච්ඡා සංවිධානයක්‌ ලෙස මෙම සංගමය වාර්ෂිකව රජයෙන් ලබා දෙන රුපියල් ලක්‌ෂ දෙකක මුදල ද ලබා ගන්නේය.

ලාභ නොලබන පුණ්‍ය ආයතනයක්‌ වන මෙම සංගමයේ කාර්ය මණ්‌ඩලය පනහකි. නිලධාරීන් සිව් දෙනෙකි. භාරකාර මණ්‌ඩලයක අනු දැනුම ඇතිව මේ සියල්ලෝම සංගමයේ වැටුප් ලබති. රුපියල් හතළිස්‌ දහසට වැඩි ගනුදෙනු සඳහා භාරකාර මණ්‌ඩලයේ අනුමැතිය අත්‍යාවශ්‍යය. සංගමයේ මුදල් විනිවිදභාවයකින් තොරව පරිහරණය කරන බවට චෝදනා නඟන්නෝ සාමාජික පිරිස්‌ය. ඊට හේතු ලෙස ඇතැමුන් දක්‌වා ඇත්තේ වැටුපට අමතරව කාර්ය මණ්‌ඩල සේවකයන්ට රුපියල් ලක්‌ෂ තිහක බෝනස්‌ මුදල් ලබා ගැනීම, රුපියල් පනස්‌ දහසක දීමනා ලබා ගැනීම ඇස්‌ පරීක්‌ෂාවන් සඳහා ද මුදල් අය කිරීම, රුපියල් ලක්‌ෂ පහළොවකට ආසන්න මුදල් වැය කරමින් විනෝද චාරිකා යැම, ඇති හැකි නිලධාරීන්ගේ දූ දරුවන් චිනය හෝ වෙනත් රටවල අධ්‍යාපනය සඳහා යෑවීමට කටයුතු සැලසීම., වැඩමුළු බව කියමින් විදේශ සංචාරවල යෙදීම, සංගමය සතු වාහන අවභාවිතයේ යෙදීම ඇතුළු චෝදනා රැසකි. එම චෝදනාවන්ට සාක්‌ෂි සපයන ඇතැම් දත්ත අක්‌ෂිදාන සංගමයේ සංවත්සර සැමරුම් පොත හරහාම දැක්‌වීමට අවස්‌ථාවද ඇති සෙයකි.

මහා සභා රැස්‌වීමක්‌ කැඳවා යෝජනා සම්මත කර ගනිමින් මුදල් පරිහරණය පිළිබඳ කරුණු උදෙසා අවසර ලබා ගන්නා මෙම සංගමය මේ කටයුතු කරන්නේ මියගිය මිනිසුන්ගේ ඇස්‌ සමගය. මිය යන්නට සිටින මිනිසුන්ගේ ඇස්‌ සමඟය. කවරදාකවත් අසා නැති මිය යන්නට සිටින මිනිසුන්ගේ දෑස්‌ පිළිබඳව ගිවිසුම් ගසා ඇති මිනිසුන් මේ සිංහල බෞද්ධ රටේ වෙසෙන්නේ කිසිවක්‌ නූන ගාණටය.

ඇස්‌ දෙක පල්ලා යෑයි සත්‍ය සත්‍ය බවම සපථ කරනා අප මෙලොව එළිය දකින්නේ, යම් කටයුත්තක නිරත වන්නේ පමණක්‌ නොව එකිනෙකා හඳුනා ගන්නේ දෑසින් පෙනෙන නිසාය. ඇසක්‌ තබා අනුන්ගේ නියපොත්තක්‌වත් උගුල්ලා තවකෙකුට විකිණීමට අප බිය වන්නේ පින හා පව පිළිබඳ හද තෙරපෙන හිස මත තබා ඇති විශ්වාසයේ පවිත්‍රභාවය නිසාය. මෙලොව පරලොව පිළිබඳ විශ්වාසයක්‌ ඇති නිසාය.

දෑසක්‌ පිනක්‌ උදෙසා පරිත්‍යාග කරන්නා ඒ පින් මහිමය ලබන්නේය. ඒ දෑස විකුණා යසඉසුරින්  සුඛ විහරණ ලබන්නා මේ යන්නේ කොයිබටද? එහි ඇති පිළිණු ගඳ ගසන කැතකම ඇත්තේ, මහනුවර පොතුපිටිය පානදුර වාද්දුව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකදී ඇස්‌ ලබාගැනීම රෝහල්වලට පමණක්‌ සීමා නොවන තැනදීය. මල්ශාලා හිමිකරුවන් සමඟ මිතුරුව කාසි මුදල් ඉස්‌සර කර ගනිමින් මල්ශාලාවට එන මිනියේත් ඇස්‌ උගුල්ලා කොළඹ පටවන බවට ආරංචි වන විටය. සිරුරේ වෙනත් අවයවයක්‌ මෙසේ ගල්වාලිය නොහැකි බැවින්ම සෙසු අවයව ඉතිරි වී පස්‌ යට වැළලෙනු ඇති බව පමණක්‌ අද සිතිය හැකි වන්නේ මේවා ගැන අසන විටය. දකින විටය.

හැබෑටම… මේ මිහිමත මිය යන්නටද බියක්‌ ඇති වන්නේය…මළ ඇස්‌ දෙක අද පිටරට පටවන උදවිය හෙට වන විට කුමක්‌ පටවාවි දැයි නොදන්නා බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *