වෑංජන රස කරන තරම් රස නැති ලුණු හදන මිනිසුන්ගේ ජීවිත කතාව

කලපු දිය පිස හමා එන පිලිගඳ මුසු සුළං රැලි නැහැ පුඩු දවන්නේය. ගිනියම් හිරු මුළු ගතම රත් කරන්නේය. රිය කවුළුවෙන් කලපු දියට පියාඹන දෑස්‌ නිලංකාර වන තරමට අව්ව සැරය. එහෙත් මග දෙපස ඇති ලුණු කොටුවල වැඩ කරන මිනිසුන්ට ඒ ගිනියම නොදැනන තරම්ය. ඔවුන් හරි, හරියට වැඩය. තැනක පිරිසක්‌ ලුණු කඩන විට තව තැනක පිරිසක්‌ ලියෑදිවල රොන්මඩ ඉවත් කරන්නාහ. පුත්තලම, කල්පිටිය මාර්ගයේ කඩොලාන ගසක සෙවණට වී මොහොතක්‌ අපි ලුණු හදන මිනිස්‌සු දෙස බලා හිඳිමු.

කලපුව වට කරගෙන එකිනෙකට බැඳුණු ලුණු කොටු කිහිපයකි. සෑම කොටුවක සේම මිනිස්‌සු වැඩය. ගැහැනු පිරිමි බේද නැත. වැඩ කරන පිරිමි, ගැහැනු අත් දිග කමිස, දිග කලිසම් ඇඳ, උස සපත්තු පැළඳ, හිස වැහෙන්න තොප්පි පැළඳ සිටින අයුරු පෙනේ. ඇතැම්හු හිසට ජාටාවක්‌ බැඳ සිටින්නාහ. ඒ අතර දිගට රෙදි ඇඳ සිටි කාන්තාවෝ ද සිටියහ. ලුණු වෑංජන රස කරන තරම් නම් ලුණු හදන මිනිසුන්ගේ ජීවිත රස නැති තරම්ය. මතුපිටින් පෙනෙනවාටත් වඩා මේ මිනිසුන්ගේ ඇතුළාන්තය අතිශය වේදනාකාරී විය හැකිය. එහෙයින් මේ මිනිසුන්ගේ ජීවිත තුළට එබිකම් කර බැලීමට අප තුළ අදහසක්‌ මතු විය. එහෙත් එය සිතන තරම් පහසු නැත. තම සේවකයන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීම ගැන ලුණු කර්මාන්තකරුවන් තුළ ඇත්තේ අකැමැත්තකි. ඒ තම සේවකයන් මාධ්‍යයට මොනවා කියයි දෝ යන සැකය නිසාය. එහෙත් අපි උපාය මාර්ගිකව ලුණු හදන මිනිසුන් අතරට ගියෙමු. ඒ පුත්තලම කලපුව ආශ්‍රිතව තිබෙන මහා පරිමාණ ලුණු කර්මාන්තශාලා තුළට නොවේ, පුංචි ලුණු කර්මාන්තශාලා දෙකක්‌ තුළටය.

‘මහත්තෙලා ආපු දවස හොඳයි. අද ලුණු කඩනවා…’ එසේ කියාගෙන මැදිවියේ පුද්ගලයකු අප අසලට පැමිණියේය. ඔහු උසට සරිලන මහතය. සම අවපැහැ නොවෙන්න පෙනුමැති හැඩකාර ශක්‌තිවන්තයෙකි. වසර විසි පහකටත් වඩා වැඩි කාලයක්‌ ලුණු දිය සමග පොර බැඳි ඔහු දැන් ලුණු කොටුවේ බාසුන්නැහැ කෙනෙකි. නමින් ෆැන්සිස්‌ ජෝෂප් වන ඔහු ප්‍රථමයෙන් ලුණු හදන ක්‍රියාවලිය අපට විස්‌තර කළේය.

‘කලපුවෙන් වතුර ටැංකිවලට ගහලා සතියක්‌ විතර තියෙනවා. ඊළඟ සතියේ ඒ වතුර ටික තව ටැංකියකට මාරු කරනවා. ඒ වෙනකොට වතුරවල ලුණු ගතිය ටිකක්‌ වැඩියි. එතැන සතියක්‌ විතර තියලා තව ටැංකියකට මාරු කරනවා. ඔහොම, ඔහොම ටැංකි කිහිපයකට වතුර මාරු කරනවා. අන්තිම ටැංකියට වතුර ටික යනකොට මිදෙන ගානට ලුණු ගතිය වැඩි වෙලා. පස්‌සේ ඒ වතුර ටික ලියෑදිවලට පාස්‌ කරනවා. හරියට කුඹුරක්‌ වගේ තමයි. වක්‌කඩ තියලා නියරවල් බැඳලා ලියෑදි සීයක්‌ විතර හදනවා. ලියෑදිවල වතුර පිරුණට පස්‌සේ රොන්මඩ ඉවත් කරලා ලුණු මිදෙන්න හරිනවා. දවස්‌ තුනක්‌ විතර යනකොට හොඳට ලුණු මිදිලා. පස්‌සේ මිදුණු ලුණු තට්‌ටුව හොඳට තලලා දවස්‌ තුනක්‌ විතර වේළෙන්න හරිනවා. ඊට පස්‌සේ නැවත ඒ ලුණු තට්‌ටුව වැහෙන්න වතුර පුරවලා මාසයක්‌ විතර තියනවා. ලුණු හැදෙන්න, හැදෙන්න වතුර ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙන්න, වෙන්න වතුර පුරවන්න ඕනා. දවස්‌ හතළිස්‌ පහක්‌ විතර යනකොට කඩන ගානට ලුණු මෝරනවා. ලුණු නියම විදිහට මෝරලා ප්‍රමිතියට එන්න දවස්‌ හතළිස්‌ පහක්‌ යනවා. සමහර කොටුවල දවස්‌ පහළොවෙන්, විස්‌සෙනුත් ලුණු කඩනවා. අවුරුද්දට වතාවක්‌ ලුණු කඩන කොටුත් තියෙනවා. ඒ ලුණු තමයි නියම ප්‍රමිතියට එන්නේ. අවුරුද්දකින් ලුණු කඩන ක්‍රියාවලියේදී වැස්‌සත් ලොකු ප්‍රශ්නයක්‌ වෙන්නේ නෑ. අපේ වගේ ලියෑදි හදන්නේ නෑ. සම්පූර්ණයෙන්ම ලුණු හදන්නේ ටැංකිවල. ලුණු හදන එක ලොකු ක්‍රියාවලියක්‌. හරි ප්‍රමිතියට ලුණු හැදුවේ නැත්නම් කෑමට හොඳ නෑ. ඒ වගේම ලුණු හදන්න ලොකු ඉඩ ප්‍රමාණයකුත් තියෙන්න ඕනා. අක්‌කරයක ලුණු හදන්න අක්‌කර දහයක ඉඩක්‌ තියෙන්න ඕනා. වතුර ලීටර් විසි පහක්‌ ගත්තොත් ලුණු මිදෙන පැණි වතුර එන්නේ ලීටර් දෙකහමාරක්‌ විතර තමයි…’

මිනිසුන් කිහිපදෙනකු ලියෑදි කිහිපයක කඳු ගැසුණු ලුණු තට්‌ටු කඩා ගොඩගසන්නාහ. තවත් ලියෑද්දක වතුර කලත්තමින් රොන්මඩ ඉවත් කරන කාන්තාවන් දෙදෙනෙකි. ලුණු දියේ තියා උළු සෙවණක්‌ යටවත් සිටින්නට බැරි තරමට අවට ගිනියම්ය. සුවහසක්‌ මිනිසුන්ගේ දිව රස කිරීමට ගිනි මද්දාහනේ ලුණු වතුර සමග පොරබදන මේ වියපත් මිනිසා අපට කියන්නට තව බොහෝ දේ සිත තුළ සඟවාගෙන සිටින අයුරු ඔහුගේ පොපියන මුවෙන් පෙනේ. අපට ද ඔහු අතැර වෙනත් අයකු අසළට යන්නට සිත් නොදෙයි.

‘උදේ කීයටද මාමේ වැඩ පටන් ගන්නේ…’ මොහොතක්‌ වටේ ගිය දෑස්‌ මම නැවත ජෝෂප් මාමා ඉදිරියේ නතර කරමි.

‘අපි උදේ හයට වැඩ පටන් ගන්නවා. හවස එකහමාර වෙනකොට පැය අට ඉවරයි. එතැන ඉඳලා කැමැති නම් වැඩ කරන්න පුළුවන්. ඒ කාලයට ඕල් ටයිම් ගෙවනවා. පැය අටට මට රුපියල් දාහක්‌ ගෙවනවා. හවස හය විතර වෙනකම් වැඩ කළොත් එක්‌දහස්‌ හාරසීයක්‌ විතර ගන්න පුළුවන්. සාමාන්‍ය සේවකයකුත් පැය අටට රුපියල් හත්අටසීයක්‌ ගන්නවා. සමහර ලුණු කොටුවල ගෙවන්නෙ ලුණු කඩන කිලෝ ගානට. ලුණු කිලෝ එකක්‌ සත පනහයි. හැටයි. ඒ වගේ තැන්වල නම් ගතමනාවක්‌ ගන්න මැරෙන්න ඕනා. මහන්සි වෙන තරමට ලැබෙන කුලිය නම් මදි. දුක විතරයි. අව්ව වේළාවට ලියෑදිවල වැඩ කරනවා කියන්නේ අපලයක්‌ ගෙවනවා වගෙයි. කකුල් තැම්බෙනවා. දවල් එකොළහේ ඉඳලා තුන විතර වෙනකම් ලුණු මිදෙනවා. ඒ වෙලාවට වතුර යට ලෝදිය වගේ රස්‌නෙයි. නොදන්න කෙනෙක්‌ ලියෑද්දකට බැස්‌සොත් එහෙම දුවනවා…’ ජෝෂප්ගේ මුවට සුන්දර සිනාවක්‌ නැගිනි. මේ නිහතමානී මිනිසා දැන් නම් තම රාජකාරිය සම්පූර්ණයෙන්ම අමතක කර ඇති සේය. මොහොතක විරාමයකින් පසු ඔහු නැවත කතා කළේය.

‘ලුණු මිදෙන්න හොඳට අව්වයි, හුළඟයි තියෙන්න ඕනා. වතුර රස්‌නෙයි කියලා බලාගෙන ඉන්න බෑනේ. ලියෑදිවලට බැහැලා වතුරේ එකතු වෙන රොන්මඩ ඉවත් කරන්න ඕනා. බූට්‌ දාගෙන හිටියත් කකුල් පිච්චෙනවා. එරෙන මඩේ නම් බූට්‌ දාලා ඉන්නත් බෑ. ඒ වෙලාවට වතුර ටිකක්‌ කලත්තලා දාලා තමයි වැඩ කරන්නේ. ලුණු කඩද්දී නම් අනිවාර්යයෙන්ම බූට්‌ දලා ඉන්න ඕනා. නැත්නම් කකුල් පිච්චෙනවා. අත පයේ යන්තම් සිරීමක්‌ තිබුණත් වැඩ කරන්න බෑ, දැවිල්ලයි. මඩේ වැඩ කරන දවස්‌වලට කසනවා. එහෙම දවස්‌වලට රෑට නිදාගන්නේ බෙහෙත් එකක්‌ තියෙනවා ඒක ගාගෙන තමයි. මේක මහා අමාරු ජොබ් එකක්‌ මහත්තයෝ. උඩිනුයි, යටිනුයි දෙකෙන්ම තැම්බෙනවා. අපි හරියට ආප්පයක්‌ වගෙයි. අන්තිමට අපේ ජීවිත ලුණුවලටම දිය වෙලා ගිහින්…’

‘මම ඉස්‌කෝලේ යන කාලේ ඉඳලා ලුණු කොටුවල පුංචි, පුංචි වැඩට ගියා. අවුරුදු දහඅට, දහනවය සම්පූර්ණ වෙනකොට ලුණු සංස්‌ථාවේ වැඩට ගියා. කොන්ත්‍රාත් පදනමට තමයි වැඩ කළේ. පෑවිල්ලට වැඩ. වැස්‌සට වැඩ නෑ. හරියට ඉස්‌කෝලෙකට ගිහින් අකුරු සාස්‌තරය ඉගෙනගත්තේ නැති නිසා ඉහළට යන්නත් බැරි වුණා. පස්‌සේ ලුණු කොටු කිහිපයක වැඩට ගියා. ඒ තැන්වලත් පෑවිල්ලට වැඩ තියෙනවා. වැස්‌ස කාලේට වැඩ නෑ. ඉතිං ඒ කාලේට ගමේ ගොඩේ කුලී වැඩ කරනවා. එළවළු කොරටුවක්‌ හදනවා. වැඩිපුරම මේ කර්මාන්තයේ ඉන්නේ මුස්‌ලිම් මිනිස්‌සු. වැඩ කරපු හැම තැනකදීම පරණ අය ගුරුමුෂ්ටිය තියාගන්නේ නැතුව ලුණු හදන සාස්‌තරය මට කියලා දුන්නා. අපිත් අඩුවක්‌ නොකර ඒ විදිටහම අලුත් පරම්පරාවට කියලා දෙන්න කැමැතියි. එහෙම උගන්වන්න හැදෙන කොල්ලෝ, කෙල්ලෝ ලුණු කොටුවල වැඩට එන්නේ නෑනේ. ඉන්න අයත් ටිකෙන් ටික ඈත් වෙනවා…’

පුත්තලම කලපුව ආශ්‍රිත ලුණු ලේවායන් රැසක්‌ම පිහිටා තිබේ. මහා පරිමාණ ලුණු කර්මාන්තශාලා සේම කුඩා පරිමාණ ලුණු කර්මාන්තශාලා ද ඒ අතර වේ. කරඹ, පාලවී, හයේ කණුව සහ වෙප්පමඩුව ප්‍රදේශවල ලුණු කර්මාන්තශාලා බහුලව ස්‌ථානගතව ඇත. ඊට අමතරව පුත්තලම දිස්‌ත්‍රික්‌කය පුරා අතරින් පතර ලුණු කර්මාන්තශාලා කිහිපයක්‌ පිහිටා තිබේ. දැනට පුත්තලම් දිස්‌ත්‍රික්‌කය පුරා අක්‌කර එක්‌දහස්‌ පන්සීයක පමණ ලුණු නිෂ්පාදනය කරනු ලැබේ. එහෙයින් පුත්තලම කලපුව අවට සේම පුත්තලම ප්‍රදේශයේ බොහෝ මිනිසුන් එකී ලුණු කර්මාන්තශාලාවල විවිධ රැකියාවල නිරතව සිටිති. එහෙත් මේ වසර පුරාම විටින් විට කඩාහැළෙන චුරු, චුරු වැස්‌සත් සමග පුත්තලමේ ලුණු සමඟ බැඳුණු ජීවිතවල දහසකුත් බලාපොරොත්තු සිඳී යාදෝ කියා සැකයක්‌ මතුව ඇති බව ලුණු ව්‍යාපාරිකයකු වන අලී සබ්‍රිෆ් අපට පැවසීය.

මම දැන් ලුණු කර්මාන්තයට සම්බන්ධ වෙලා අවුරුදු විසි පහක්‌ විතර වෙනවා. මගේ තාත්තා කළෙත් ලුණු බිස්‌නස්‌. පුංචි කාලේ ඉඳලා ලුණු කොටුවල බැහැලා වැඩකරලා තියෙනවා. මේ වගේ වැසි සහිත කාලගුණයක්‌ නම් ජීවිතේට දැකලා නෑ. ගිය අවුරුද්දේ ඔක්‌තෝම්බර් පටන් ගත්ත වැස්‌ස අද වෙනකම් මාසේට දෙපාරක්‌ තුන් පාරක්‌ වහිනවා. වැස්‌සට ලුණු හදන්න බෑ. මේ අවුරුද්දේ පුත්තලමේ ලුණු නිෂ්පාදනය සීයට පනහක්‌වත් නෑ. මාන්දේ, මාන්නාරම ප්‍රදේශවල හොඳට ලුණු හැදිලා තියෙනවා. මේ කාලගුණය දිගට තිබුණොත් පුත්තලමේ ලුණු හදන්න බැරිව යනවා. ඒ වගේම තමයි සේවකයන්ගේ ලොකු හිඟයක්‌ තියෙනවා. ඉන්න අය වයසට යනකොට අලුතින් සේවකයෝ හැදෙන්නේ නෑ. මේ සැරේ ලුණු ටික කඩා ගන්නත් සේවකයෝ හිඟ වුණා…’

පුත්තලම කල්පිටිය මාර්ගයේම තවත් ලුණු කර්මාන්තශාලාවක සේවකයන් අතරට අපි ගියෙමු. එකී සේවකයන්ට ද ඇත්තේ ජෝශප්ලාට තිබෙන ගැටලුමය. එහෙත් ඔවුන් වැස්‌ස ගැන ටිකක්‌ වැඩියෙන් කතා කළ නිසා ඔවුන් පැවසූ වචන ටික අපි ඒ විදිහටම මෙසේ සටහන් කර තැබුවෙමු.

‘වැස්‌සොත් අපිට වැඩ නෑ. යන්තම් පොදක්‌ ගැහුවත් ලුණු ලියෑදි දියවෙලා යනවා. මාසයක්‌ වේළුණු ලුණු තට්‌ටුවක්‌ තිබුණත් වැස්‌සට දිය වෙනවා. දිගටම වැස්‌ස ඇල්ලුවොත් අපි බඩගින්නේ. දස අතේ ණය වෙන්න වෙනවා. අපිට මහ ලොකු බලාපොරොත්තු නෑ. බඩගින්දර නිවාගන්න තමයි අපි මේක කරන්නේ. දැන් ඒකත් නැති වෙලයි යන්නේ. ඉස්‌සර මැයි මාසෙන් පස්‌සේ එක දිගට මාස තුන හතරක්‌ ගිනි ගහන්න පායනවා මේ අවුරුද්දේ ඒ මාසවලත් ඉඳහිට වහිනවා…’ ලුණුවලට වියෑළෙන මේ මිනිසුන් කියන කතාවෙන්ද පසක්‌ වන්නේ පුත්තලමේ ලුණු කර්මාන්තයට වැස්‌ස හෙණ ගෙඩියක්‌ වී ඇති බවය. මේ අසරණ මිනිසුන්ගේ ජීවන බලාපොරොත්තු සුණුවිසුණු කර දැමීමට තරම් සොබාදහම සැහැසි නොවෙතැයි අපි විශ්වාස කරමු.

මේ මිහිතලය අපට අයිති නොවන බැව් සැබැවි. තාවකාලික නවාතැන්කාරයකු ලෙස සෑම කෙනෙක්‌ම ජීවත්වීම උදෙසා මුදල් ඉපැයීමේ අරමුණින් හරි හෝ වැරැදි දෙයක්‌ කරති. මේ මිනිසුන් අව් කූටයේ ලෝදියේ බැස නැහෙන්නේ ද බඩගින්දරට පිළියම් සොයන්නටය. හොර, මැරකම් නොකර සමාජයේ දැහැමින් ජීවත්වන්නටය. එකී මිනිසුන් නැහෙන තරමට කුලියක්‌ නොගෙවීම මතු භවයකදී ඔවුන් ළඟ තම හාම්පුතුන් කුලීකරුවකු වීමට කෙටි මාර්ගයක්‌ තනා ගැනීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *