හිරේ ඉදගෙනම උපාධියකුත් අරන් හිරගෙදර ඉදන් ශාස්ත්‍රපති විභාගයටත් ලියන මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවා

මරණීය දණ්ඩනයට නියමව වැලිකඩ බන්ධනාගාරගතව සිටින සිරකරුවෙක් ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීම සදහා වන විභාගයට පෙනි සිටීමට සුදුසුකම් ලබා සිටින බව වාර්තා වෙනවා. ඒ අනුව ඉන්දික බමුණුසිංහ නමැති සිරකරුවා, අනිද්දා (29දා) කැලණිය විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන ශාස්ත්‍රපති විභාගයට පෙනී සිටීමට නියමිත බව සදහන්.

ඉන්දික මීට පෙර බන්ධනාගාගතව සිටියදීම  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලබාගත් අතර එය සිරකරුවෙක් බන්ධනාගාරගතව සිටියදි උපාධියක් ලබා ගත් පළමු අවස්‍තාව ලෙස සටහන් වෙනවා.

මෙම විභාගය කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ දැනුම්දීමකට අනුව පවත්නා නීතිරීතිවලට යටත්ව මෙම 29 දින සිට දෙසැම්බර් 09 දින දක්වා වැලිකඩ බන්ධනාගාරය තුළ සූදානම් කරනු ලබන විශේෂ විභාග මධ්‍යස්ථානයකදී පැවැත්වීමට නියමිත අතර සිරකරුවෙක් බන්ධනාගාරය තුළම අධ්‍යාපනය හදාරා ශාස්ත්‍රපති විභාගයකට පෙනී සිටින පළමු අවස්ථාව මෙය බවද මෙය ඉතිහාසගත වන සිද්ධියක් බවද බන්ධනාගාර බලධාරීන් පවසනවා.

මේ සම්බන්ධයෙන් විමසීමේදී වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මාධ්‍යයට පවසා සිටියේ මෙම සිරකරුවා සිරගතව සිටින අතරතුරදීම මීට වසර කීපයකට පෙර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා උපාධිය ලබාගත් බවත් පසුව ඔහු තමන්ගේ හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ මහතාගේ අවසරය ලබාගෙන කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අපේක්ෂකයකු ලෙස ලියාපදිංචි වූ බවත් ඔහුගේ පවුලේ සාමාජිකයකු විසින් පටිගත කරගෙන එනු ලැබූ විශ්වවිද්‍යාලයේ දේශන සිරගෙදර සිට අධ්‍යයනය කරමින් මෙම විභාගයට පෙනී සිටින බවත් මේ සඳහා ඔහුට සිරගතව සිටින හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේද සහාය ලැබුණු බවත්ය.

මෙම සිරකරු හිටපු උප පොලිස් පරීක්ෂකවරයකුද වන අතර ඔහුට මරණීය දණ්ඩනය හිමිව ඇත්තේ මීට වසර කීපයකට පෙරදී මොහොමඩ් සියාම් නමැති ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු මරණයට පත් කිරීමට අනුබලදීම සම්බන්ධයෙනි.

2 Comments on “හිරේ ඉදගෙනම උපාධියකුත් අරන් හිරගෙදර ඉදන් ශාස්ත්‍රපති විභාගයටත් ලියන මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *