ඇත්තටම ලෝකය විනාශ වුණොත් යළි ජීවය ලබා දිය හැකි ලෝකේ ඇති එකම ස්ථානය

ඇත්තටම ලෝකය විනාශ වෙන්න දැන් ළඟයි ද? මේ වගේ ප්‍රශ්නයකින් මෙම ලිපිය ආරම්භ කරන්න හිතුණේ දියුණු ලෝකයේ රටවල් ලෝක විනාශයෙන් බේරීමට හා ලෝක විනාශයෙන් පසු ජීවිතය සඳහා දැනමත් කටයුතු සූදානම් කරමින් සිටින නිසා.

මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින වෙනස් වන ස්වභාවධර්මයත් දැන් පෙර තිබුණාට වඩා වෙනස් වෙලා. කොයිවේලේ සුනාමියක්, ගංවතුරක්, නායයාමක් හෝ ඉඩෝරයක් පැමිණෙයිද කියා පවසන්නට අපිට බැහැ. ඊට නොදෙවැනි නෑ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම. මේ සියල්ල අතරේ න්‍යෂ්ටික යුද්ධයක් ගැනද සියල්ලෝම ඇස ගසාගෙන සිටිනවා.

මේ හේතු නිසාම මෙවැනි මහා පරිමාණ විපතකදී දිවි ගලවා ගැනීම සඳහා බොහෝ ධනවතුන් හා ආයතන ලෝක විනාශයකදී ජීවිතය ආරක්ෂා කරගැනීමට සුරැකුම් නිවාස (safe houses) සාදනවා. නමුත් අද අපි කතා කරන්නේ ලෝක විනාශයක් සිදු වුවහොත් එයින් පසුව නැවතත් මුළු ලෝකයටම ජීවය ලබා දිය හැකි ස්ථානයක් ගැන. ඒ තමයි නෝර්වේ රාජ්‍ය හා තවත් ආයතන දෙකක් මඟින් පාලනය කරන SVALBARD GLOBAL SEED VAULT හෙවත් ස්වැල්බාඩ් ගෝලීය බීජ සුරක්ෂිතාගාරය.

ශ්වේත වර්ණ හිම තට්ටුවකින් වැසුණු කන්දක සිට ආනතව එළියට පැමිණ ඇති අළු පැහැති කොන්ක්‍රීට් පෙට්ටියක් වැනි මෙම බීජ සුරක්ෂිතාගාරය බැලූබැල්මට බටහිර චිත්‍රපටයක සැඟවුණු සුපිරි සතුරකුගේ තිප්පොළක් සිහි ගන්වයි.

නමුත් මෙය සැබැවින්ම ලෝක විනාශයක් සිදු වූ විට නැවත භාවිතයට ගතහැකි ලෙස බීජ ගබඩා කර ඇති ස්ථානයක්. නෝර්වේ රට හා උත්තරධ්‍රැවය අතර පිහිටා ඇති ස්වැල්බාඩ් යනු දූපත් රැසක් එක්ව සෑදුණ රටක්.

නෝර්වේ රාජ්‍යයට අයත් මෙම ස්වැල්බාඩ් හි Longyearbyen හි තමයි මෙම ගෝලීය බීජ බැංකුව පිහිටා තිබෙන්නේ. ඇත්තෙන්ම මෙම බීජ බැංකුව සාදා තිබෙන්නේ මුළු ලෝකයෙන්ම එය සෑදීමට අතිශයින්ම සුදුසු ස්ථානයේ.

එයට හේතුව වන්නේ මෙම පරිසරයේ ඇති ස්ථායි තාවයයි. සියලුම ආකාරයේ ස්වාභාවික විපත් වලින් ආරක්ෂිත මෙම ප්‍රදේශය කාර්මිකත්වය මානව ක්‍රියාකාරකම් වලින් අතිශය ආරක්ෂා වන්නේ උතුරු ධ්‍රැවයට ආසන්නයෙන් (කිලෝමීටර් 1300ක් ඈතින්) ඇති නිසායි.

2000ක පමණ සුළු ජනගහයකින් සපිරි මෙහි හොඳින් ක්‍රියාත්මක වන ගුවන් තොටුපළක් පැවතීම මෙහි ඇති තවත් වාසියක්. ඇත්තටම මෙම ස්ථානය තමයි ස්ථිර ගුවන් තොටුපොළක් ඇති ලොව වඩාත්ම උතුරු දෙසට වන්නට පිහිටි නගරය.මුහුදු මට්ටමේ සිට මීටර 130ක් උසින් පිහිටා ඇති නිසා මුහුද ගොඩගැලීමකට පවා මෙය ඔරොත්තු දෙනවා. මතුපිටට පෙනෙන කොන්ක්‍රීට් පෙට්ටිය වැනි ව්‍යුහය කන්ද තුළට උමඟක් සේ මීටර 130ක් පමණ ගමන් කරනවා ඉන්පසු එහි ඇති ටෙනිස් පිටියක විශාලත්වයට සමාන කුටීර 3ක බීජ තැන්පත් කර තිබෙනවා.

වර්ෂ 2008 පෙබරවාරි මස 26 වැනි දින විවෘත කරන ලද මෙහි ලොව පුරා විවිධ බෝගයන්ට අදාලව සාම්පල 864,309ක් තැන්පත්කර තිබෙනවා.එයට අඩංගු මුළු බීජ ගණන මිලියන 556ක් පමණ වන අතර අයත් වන ප්‍රභේධ ගණන මිලියන 4.5ක්. නමුත් තවමත් ගබඩා අවකාශයේ අඩක් පමණ හිස්ව තිබෙන බව සඳහන් වනවා.මේ සියල්ලම ගබඩා කර ඇත්තේ සෙල්සියස් අංශක -18ක්(සෘණ 18) තරම් පහළ උෂ්ණත්වයකයි. මෙම බීජ තැන්පත්කර ඇති කුටීරයේ බිත්ති ලෙස දක්නට ඇත්තේ ස්වාභාවික පරිසරයයි.

එනම් කන්ද තුළ ඇති මිදුණු පස් වලින් බිත්ති සෑදී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම බිත්ති එනම් කන්ද තුළ ඇති පස් ස්වාභාවික ලෙස මිදී පැවතීම නිසා යම් හෙයකින් කෘත්‍රිමලෙස මෙම කුටීරයේ උෂ්ණත්වය පහළ බැසීමට නොහැකි වුවහොත් (ස්වාභාවික ආපදාවකදී හෝ විදුලිය නොමැති වීමකදී වැනි අවස්ථාවකදී) ස්වාභාවික පරිසරය මඟින් මෙම බීජ සෙල්සියස් අංශක -8 ත් -6 ත් අතර ප්‍රමාණයක තබා ගැනීමයි.

Permafrost නමින් හැඳින්වෙන මෙම තත්වය මඟින් කුටීරයේ බිත්ති ස්වාභාවික ශීතකරණයක් සේ ක්‍රියාකරන අතර මෙම බීජ සුරක්ෂිතව වසර 200ක් පමණ තබාගත හැකි වීම සුවිශේෂී කරුණකි. මෙම ස්ථානයේ බීජ බැංකුව ඉදිවීමට ප්‍රබල ලෙස මෙම permafrost (නිත්‍ය තුහින) තත්වය බලපා තිබෙනවා.

ලොව පුරා ඇති සෑම රටකින්ම පාහේ ජාන බැංකු හරහා මෙම ස්ථානයට බීජ එවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇති බීජ වර්ගද මෙම ස්ථානයට යවා ඇති අතර එය අප ට සතුටු විය හැකි කරුණක්.මෙසේ එවන බීජ වාතය නොයන සේ ලේයර තුනකින් සමන්විත ඇලුමිනියම් කවර වල බහා ඒවා ප්ලාස්ටික් පෙට්ටිවල දමා සීල් කර බීජ බැංකුව වෙත එවනවා. මෙම ප්ලාස්ටික් පෙට්ටි අතර ලී පෙට්ටිවල බහාලූ බීජද තිබෙනවා, ඒ උතුරු කොරියාවේ සිට පැමිණි බීජ බව එහි සඳහන් වනවා.මෙහි බීජ තැන් පත්කිරීමත් බැංකුවක යමක් තැන්පත් කිරීම හා සමානයි. එනම් තැන්පත් කරන පාර්ශවය හැරුණුකොට වෙනත් කිසිවකු සඳහා මෙම බීජ බැලීමට හෝ අවස්ථාවක් ලැබෙන්නේ නෑ.තැන්පත්කරුවන්ට පවා මෙම බීජ නැවත ලබාගත හැක්කේ එම බීජ අයත් බෝගය මිහිමතින් තුරන් වී ගොස් තිබෙන අවස්ථාවක පමණි.එසේනමුත් මෑතකදී බීජ සුරක්ෂිතාගාරයෙන් බීජ පිටතට නිදහස් කිරීමක් සිදුවුණා.ඒ සිරියාවේ ඇලෙප්පෝ නගරයේ පිහිටි International Center for Agricultural Research in the Dry Areas (ICARDA) ආයතනයට.

මෙම ආයතනයේ තිබූ බීජ සිරියානු යුද්ධය නිසා මෙම බීජ බැංකුව වෙත එවා තිබුණද නැවතත් එම ආයතනයේ මධ්‍යස්ථානයක් ලෙබනනයේ පිහිටවීම නිසා ඔවුනට පෙර තිබූ බීජ ප්‍රති ජනනය කිරීමට ඇතිවූ අවශ්‍යතාව මත එලෙස ආපසු ලබා දී තිබුණා.
මෙම ස්ථානය සාදා ඇත්තේ හැකි තාක් මිනිසුන්ගේ බලපෑමෙන් බීජ ආරක්ෂා කරගැනීමටයි. මේ නිසා මෙම බීජ බැංකුව තුළ ස්ථිර ලෙස සේවය කරන සේවකයන් දක්නට නොලැබෙන අතර බීජ තැන්පත් කිරීමට පවා මෙය විවෘත කරන්නේ වසරකට දෙවරක්හෝ තෙවරක් පමණයි.

බඩඉරිඟු, තිරිඟු, අර්තාපල්, සහල්, තක්කාලි, සලාද කොළ,කවුපි වැනි ආහාරයට ගත හැකි සියලුම බීජ මෙහි අඩංගු වන අතර බීජ ආරක්ෂා කර තබා ගැනීමට අමතරව ඒවායේ ජාන සංයුතිය ආරක්ෂාකර තබා ගැනීමත් මෙහිදී සිදුවනවා.ඒ අනුව ලෝක විනාශයක් සිදුවුණත්, බෝග වල ජාන විකරණය නිසා මුල් බෝගය වෙනස් වුණත් මේ ඕනෑම ආපදා තත්වයකදී කළ යුතු වන්නේ මෙම ගෝලීය බීජසුරක්ෂිතාගාරය මඟින් ආරක්ෂා කරන ලද බීජ මඟින් නැවතත් එම බෝගය ප්‍රතිජනනය කිරීමයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *