Facebook වෙබ් අඩවි සේවාවන් නොමිලේ ලබා දීමේ රහස

අපි ෆේස්බුක් එකේ රෙජිස්ටර් වෙද්දි කොතනකවත් මුදල් ගෙවන්න තැනක් තිබුණේ නැහැ. එ් වෙනුවෙන් අපේ පැත්තෙන් අවශ්‍ය වුණේ ඊමේල් ලිපිනය තහවුරු කිරීම විතරයි. ඒත් ආර්ථික විශ්ලේෂණ වාර්තාවල දැක්වෙන ආකාරයට නම් මේ සමාජ ජාල වෙබ් අඩවිවලට ඉතා ඉහළ ධනස්කන්ධයක් තිබෙනවා. ලෝකේ වටේ ම ඉන්න මිනිස්සුන්ට නොමිලේ සේවයක් ලබාදීලා එයාලා ලාභ ලබන්නේ කොහොමද? ඒ වගේ ම එයාලා සමාජ ජාල වේදිකාවක් හැදුවාට ඒක මත එය promote කරන්න කිසිම මහන්සියක් ගන්නේත් නැහැ. අපි ම ඒකට පින්තූර, හිතේ තියෙන දේවල්, සමාජය කළඹන අදහස් දාලා හුරේ දාලා ජොලියේ ඉන්නවා. නිර්මාණකරුවන් ඒකෙන් මුදල් උපයනවා.

ෆේස්බුක් විතරක් නෙවෙයි; ට්විටර්, Google+, LinkedIn, WordPress, Blogger ආදී සමාජ ජාල සේවාවන් රැසක් නොමිලේ ලබාදෙන අතර ඒක එහෙම වෙන්නේ කොහොමද කියන එක හැම කෙනෙක්ට ම ප්‍රශ්නයක්. මොකද, අපි ඉතා කුඩා වෙබ් අඩවියක් අපිට පුළුවන් විදියට තනියම හදාගත්තත් ඒකට වාර්ෂිකව ඩොමේන් එකට සහ හොස්ටිංවලට ගෙවන්න සිද්ධ වෙනවා. ලාභයක් නැතත් ෆේස්බුක් එක ඒ වියදම් පියවා ගන්නේ කොහොමද?

මේ ප්‍රශ්නය නිසා කාලයෙන් කාලයට විවිධ අසත්‍ය පුවත් සමාජ ගත වෙනවා. “මෙතැන් පටන් ෆේස්බුක් එකේ සිටින හැම කෙනෙක්ගෙන් ම $1ක මුදලක් අය කරනවා”, “සෑම ලියාපදිංචි වීමකදී ම $10ක් අය කරනවා” ආදී වශයෙන් පේජ් ඇඩ්මින්ලා නානාප්‍රකාර කතාවල් හදලා දානවා. මේවාට බය වෙන හුඟ දෙනෙක් ඒවා ශෙයාර් කරලා යාළුවන්ව දැනුවත් කරන්නට දැන් අවුරුදු ගාණක ඉඳලා උත්සාහ කළත් තවමත් ඒවා සැබෑ වෙන පාටක් නම් පෙනෙන්නට නැහැ. ඉතින් අපි සොයා බලමු මොකක්ද සේවාවක් පිනට දීමේ රහස මොකක්ද කියලා.

සේවාව පවත්වා ගන්නට යන වියදම

වෙබ් අඩවියක් පවත්වා ගැනීමේදී මූලික වශයෙන් වියදම් දෙකක් තිබෙනවා. එකක් ඩොමේන් එක (උදා: example.com යන නම) අනෙක, එම ලිපිනයට ගියාම අපිට පෙනෙන දේවල් අඩංගු ගොනු ගබඩා කර තිබෙන හොස්ටිං එක. ඒ වගේ ම මේ ආකාරයට ගබඩා කරන්නට යන ඉඩ ප්‍රමාණය අනුව ගෙවන්නට සිදුවන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඔබ දවසකට ෆේස්බුක් එකට පින්තූර කීයක් අප්ලෝඩ් කරනවාද? ඒ වගේ ලෝකෙ වටේ ම ඉන්න අය ෆේස්බුක්, ඉන්ස්ටාග්‍රෑම්, ෆ්ලිකර් ආදී සේවාවන්ට දහස් ගණනින් ඡායාරූප උඩුගත කරනවා. මේ සේරම අවුරුදු ගණන් තියාගෙන ඉන්න එයාලාට ටෙරාබයිට් දහස් ගණනින් ඉඩකඩ වැය වෙනවා; වීඩියෝවලට ඊටත් වඩා ඉඩ අවශ්‍ය වෙනවා.

මෙසේ තිබෙන දත්ත හැම දෙයක් ම ලෝකේ හැම කෙනෙක්ගේ ම ඉතා වටිනා දත්ත වන නිසා ඒවා රැක ගැනීමත් අත්‍යාවශ්‍ය යි. අපි ගිය අවුරුද්දේ අප්ලෝඩ් කරපු වටිනා පින්තූරයක් හෝ වීඩියෝ එකක් ‘ඉඩ නැහැ’ කියලා ඔවුන් ඉවත් කර දැම්මොත් අපිට මුළු සේවාව ම එපා වෙනවා. නමුත් අත්වැරදීමකින් හෝ එවන් දත්ත හානි වීමක් මකා දැමීමක් සිදු වන්නේ නැහැ. අපේ හාඩ් එකේ හෝ පෙන් එකේ තිබෙන චිත්‍රපටියක් අපේ අතින් වැරදිලා මැකිලා පාඩු සිදුවුණත් මුළු ලෝකෙම දත්ත තියාගෙන ඉන්න මේ කිසිදු ප්‍රධාන සේවාවක් එවන් අත්වැරදීමක් සිදු කරගෙන නැහැ.

සාමාන්‍යයෙන් ඕනෑම උපකරණයක් දිගු කාලයක් භාවිතයේදී එය ක්ෂයවී යනවා. සර්වර්වල තිබෙන හාඩ් ඩිස්ක සහ පරිගණකයේ අනෙක් කොටස්නුත් එහෙමයි. නමුත් හාඩ් එකක් ක්ෂයවී ගියා කියලා ඒකේ තිබුණු දත්ත කවදාවත් නැති වෙන්නට ඔවුන් ඉඩ තබන්නේ නැහැ. ඒ කියන්නේ, හැම දත්තයක ම උපස්ථයක් (backup) තිබෙනවා.

ඉතින් මේ ටෙරාබයිට් දසදහස් ගණනක දත්තවලට බැකප් එකකුත් තිබෙනවා කියන්නේ ඒ දත්ත ප්‍රමාණය වගේ දෙගුණයක් ඉඩකඩ වැය වෙනවා. ඒත් ඔවුන් බැකප් තියාගන්නේ දෙගුණයක් පමණක් නෙවෙයි. ඉතින් ඒ සර්වර්වල නඩත්තුවට, ඉඩකඩවලට, ඒවායේ අන්තර්ජාල දත්ත භාවිතයට (ඔබ ගෙදර අන්තර්ජාල සබඳතාවට ගෙවනවා වගේ සර්වර් පරිගණකවලටත් ඉන්ටර්නෙට් ගාස්තු තිබෙනවා) සහ සේවකයන්ට පඩි නඩි ගෙවනවා.ඒ විතරක් නෙවෙයි, වෙබ් අඩවියේ නඩත්තුවට සහ නව විශේෂාංග එක් කරන්නට වෙබ් අඩවි සංවර්ධකයන් ඉන්නවා. ඔබ අකමැති පින්තූරයක් රිපෝට් කළා ම ඒක බලලා ඉවත් කරන්න සේවක පිරිසක් ඉන්නවා. ඒ හැරුණාම සාමාන්‍ය කාර්යාලයක ඉන්න කළමනාකාර මණ්ඩලය, පිරිසිදු කිරීම් ආදිය කරන සේවකයන් ආදී විශාල ප්‍රමාණයක් මේ ආයතනවල සේවය කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ හැමෝටම නොමිලේ කෑමබීම සහ දහසක් පහසුකම් ලබා දෙනවා.

ඔවුන්ගේ වෙළඳ භාණ්ඩය ඔබ බව දැන සිටියා ද?

ඕනෑම දෙයක් අලෙවි කිරීමේදී ප්‍රදර්ශනය සඳහා තබන භාණ්ඩයක් තිබෙනවා. ප්‍රදර්ශනාගාරවලට අපි ගිහිල්ලා අතගාලා බලලා, බොත්තම් ඔබලා, වාහනයක් නම් අත්හදා බැලීමේ ධාවනයක යොදවලා එය හොඳ ද නැද්ද යන්න තීරණය කරනවා. අපිට නොතේරුණත්, සමාජ ජාල වෙබ් අඩවිවල විකිණෙන්නේ ඇත්තට ම ඔවුන්ගේ සේවාව නොවෙයි අපි යි.

උදාහරණයක් විධියට සුරතල් සතුන් අලෙවි කරන ස්ථානයක් ගැන සිතන්න. එහි සිටින සතුන්ට දිනපතා හොඳින් කෑම දෙනවා. මාළුන්ට නිතර පිරිසිදු ජලය, ආහාර ලබා දෙනවා. සුනඛ පැටවුන්ට ඉහළ මිළ ආහාර වර්ග කෑමට දෙනවා. හඳ පායන කාලෙට එකිනෙකා පස්සෙන් දුවලා දුවලා හති වැටිලා ප්‍රජනනය කරන්නට සාමාන්‍ය සුනඛයන්ට සිදුවුණත් මේවායේ ඉන්න අයට මහන්සියක් නැතිවම ඒකටත් අවස්ථාව ලැබෙනවා. ඒත් අවසානයේ සිදු වන්නේ ඔවුන් කෙතරම් සතුටින් සිටියත්, කොතරම් පහසුකම් ලැබුණත් අවසානයේ වෙනත් ම කෙනෙක්ගේ අතට පත්වීමයි. සමාජ ජාල සහ වෙබ් සේවාවල තත්ත්වය මෙතරම් (පිටින් පෙනෙන්නට) දරුණු නැතත් ඔබව ඉදිරියට දාලා කැරට් අල දීලා ඔවුන් අතමිට සරු කරගැනීම තමයි සිදු වෙන්නේ.

සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේදී ඊට පුවත්, ලිපි, ඡායාරූප, කාටූන්, වීඩියෝ ආදිය දාලා එය පවත්වාගෙන යා යුත්තේ එය නිපදවන්නා විසිනුයි. ඒත් ෆේස්බුක් එකවත් වෙනත් කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් එවැන්නක් කරන්නේ නැහැ. නමුත් ඔබ මෙවන් සේවාවකට ඡායාරූප උඩුගත කරලා, හිතේ තියෙන දේවල් දාලා ලයික් දහස් ගණනින් වැටෙන හැටි ගැන බලාගෙන ඉඳිද්දී ලයික් වගේ දෙගුණයක-තුන් ගුණයක් ඩොලර් තමන්ගේ සාක්කුවට ලබා ගන්නා අපූරු, කූට වැඩ පිළිවෙලක් ඔවුන් ඇඟට නොදැනෙන්න ක්‍රියාත්මක කරනවා.

මෙය පෙන්වා දීමෙන් අප උත්සාහ කරන්නේ “ෆේස්බුක් සල්ලි ගරනවා – අපිට ඒකට ඉරිසියායි – ඒ හින්දා ඒක පාවිච්චි කරන්න එපා” කියලා නෙවෙයි; මේවා නොමිලේ සිද්ධ වෙන්නේ කොහොමද යන්න වටහා දීම යි.

ඔබ ඉන්නා නගරය, කැමති දේවල්, ලයික් කරන පිටු ආදී හැමදේකින් ම ෆේස්බුක් එක ඔබේ ඕනෑ එපාකම් ගැන දත්ත රැස් කරගන්නවා. ඔබ උඩුගත කරන ඡායාරූපයක තිබෙන දේවල් අනුව ඔබ කුමන ආකාරයේ පුද්ගලයෙක් ද, ඔබේ නිව්ස් ෆීඩ් එකේ ඔබ වැඩිපුරම කාලය ගත කරන්නේ කුමන යහළුවන්ගේ ඒවායේ ද, බලන්න කැමති කුමන ආකාරයේ පින්තූර ගැන ද යන්නත් එය අධ්‍යයනය කරනවා. වෙබ් අඩවිවලටත් කමෙන්ට් කරන්නට, පේජ් එකේ embed එකක් දාන්නට හැකි නිසා ඔබ වෙනත් වෙබ් අඩවිවලට ගියත් ඒ ගැන ෆේස්බුක් එක දැනගන්නවා. ඉතින් මේ හැම දත්තයක් ම භාවිත කරලා ඔබට වඩාත්ම ගැලපෙන වෙළඳ දැන්වීම් මොනවාද යන්න හරියටම වගේ තීරණය කරන්නට ඊට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ, ෆේස්බුක් එකේ ඔබ දකින හැම වෙළඳ දැන්වීමක් ම කුමක් හෝ ආකාරයකින් ඔබට සම්බන්ධයක් තිබෙනවා.

මෙසේ අවශ්‍ය අයට අවශ්‍ය දැන්වීම පෙන්වීම මත ඒවාට අවධානය යොමු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ටීවී එකේ යන පොදු දැන්වීමකට වඩා අපි කැමති දේවල් විතරක් පෙනෙද්දී ඒවා ෆේස්බුක් එක මතදී අපිට ක්ලික් කරන්න හිතෙනවා. මෙන්න මේ නිසා ෆේස්බුක් එකේ වෙළඳ දැන්වීම් වේදිකාව පිළිබඳව වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නන්ගේ ප්‍රසාදය වැඩි වශයෙන් ලැබෙනවා. ඒ වගේ ම ඔබ කුඩා ෆේස්බුක් පිටුවක් ආරම්භ කළත් ඒකේ දාන පෝස්ට් Boost කරලා වැඩිපුර ලයික් ගන්න පුළුවන් කියලා ෆේස්බුක් එක දැනමුතුකම් දෙන්නේ ලයික් පෙන්නලා අපෙන් ගාණ කඩා ගන්නා අතරේ ම යි.

ඉතින් මේ ආකාරයට තමන්ගේ ඉලක්කගත කළ වෙළඳ දැන්වීම් වේදිකාව පමණක් නොව, ෆේස්බුක් එක Netflix, YouTube, Blogs මෙන් ම ඔන්ලයින් ෂොපින් වෙබ් අඩවිවල පවා ස්ථානය තමන් සතු කර ගනිමින් විශිෂ්ට වෙළඳ උපායයන් සමඟින් ඉදිරියට යනවා. මෙසේ යන්නට ඔවුන්ට අපිව නැතුව බැහැ. ඉතින් අපේ වටිනාකම නිසා මේ සේවාව අපිට නොමිලේ ලබාදීලා අපිව ඊට ඇදබැඳ තබා ගැනීමයි මේ හැම සේවාවකම සිද්ධ වෙන්නේ.

උපුටා ගැනීම :- roar.media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *