යකඩ රෝදයක් එල්ලාගෙන කැරකෙන හෙලිකොප්ටරේ ඇත්ත කතාව මෙන්න

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ දිනවල වේගයෙන් ප්‍රචාරය වන ඡායාරූප පෙලක් තමයි, කරත්ත රෝදයක් වැනි උපකරණයක් එල්ලාගෙන ගුවනේ සැරිසරන හෙලිකොප්ටරයක ඡායාරූප පෙළ.

මේ සම්බන්ධයෙන් නොයෙක් කතා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ පුද්ගලයින් පවසනවා. ඇතැමුන් පවසන්නේ නවීන තාක්ෂණය භාවිත කරමින් නිදන් සොයනා බවය. ඇතැමුන් පවසන්නේ මැණික් සොයා මෙම හෙලිකොප්ටරය සැරිසරනා බවය. ඛණිජ වර්ග සොයා ගවේෂනයක් කරනා බවද මෙහිදී තවත් පිරිසක් පවසනවා.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී අණාවරණය වූයේ මෙය මිනිරන් සොයා කරනු ලබන ගවේෂණයක් බවය. ලන්කන් රිසෝසස් ඇන්ඩ් මයිනින් (පුද්ගලික) සමාගම විසින් මෙම ගවේෂණය කරනු ලබනවා. එහි නියෝජිතයකුගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසුවේ මිනිරන් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති දිවයිනේ ප්‍රදේශ කිහිපයක තම ආයතනය, නිසි අවසරයක් ඇතිව ගවේශණය සිදු කළ බවය.

ලොව ඉතාමත් උසස් තත්ත්වයේ මිනිරන් පවතින්නේ ශ්‍රී ලංකාවේ බව පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අදාල සමාගම ඉදිරි කාලයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන මිනිරන් කැනීමේ ව්‍යාපෘතියක් සඳහා මෙම ගවේශණය සිදුකරනා බවය.

විද්‍යුත් චුම්බක තරංග යොදාගෙන මෙම ගවේෂණය කරනා බවත් කරත්ත රෝදයක් මෙන් දිස්වන්නේ ඒ සඳහා යොදාගනුලබන තාක්ෂණික උපකරණයේ කොටසක් බවත්ය.

මේ සම්බන්ධයෙන් ගවේෂණය කරනු ලබන ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කරමින් අදාල ආයතනය විසින් මෙවැනි ලිපියක්ද යවා තිබෙනවා.

මෙම ගවේෂණය ලබන 10දා දක්වා පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *