යකඩ තළා දිවි ජයගත් සොබා අම්මා

කිණිහිරය මත ගිණියම් යකඩය ඇඟ කීරි ගැසෙන හඬක් නංවමින් තැළෙයි. ඇගේ සියුමැලි අතැගිලි අතර සිරවූ යකඩ මිටිය වේගයෙන් ඉහළ පහළ යයි. ඇගේ දෑත රළු වී කරගැට මතුවී තිබිණි. කරගැට පුපුරා නැගෙන වේදනාව ඇය ගානකට නොගත්තාය. ගතේ වීරියෙන් නොව සිතේ වීරියෙන් යකඩය වේගයෙන් තැළෙයි. තැළෙනා යකඩයෙන් රන්වන් ගොයම් කැපීමට වක ගැසුණු දෑකැත්තක් නිමවෙයි. එසේ දෑකැත්තක් සාදා නිම කළ පසු සැනෙකින් රත් පැහැ ගිනියම් යකඩයක් කිණිහිරි මත තැළෙයි. මේ කඩිසරකමත් නිපැයුමේ අති විශ්වසනීයත්වයත් නිසා හොඳ පන්නරයෙන් යුතු ආයුධයක් තනා ගැනීමට කිවුලේගම සොබා අක්කාගේ කම්හලට බොහෝ දුර බැහැර සිට මිනිස්සු පැමිණෙති. මේ කම්හලට මෙවලමක් සාදා ගැනීම සදහා පැමිණෙන බොහෝ දෙනෙකුට ඇගේ ජීවිතය කියවා ගැනීමට එතරම් කාලයක් ගතවන්නේ නැත.

ඇගේ අතින් තැලී පොඩි වී යන යකඩයට පන්නරය ලැබී මුහත් වන විට ඈ ජීවිතය නම් මහ කටුක පොතින් බොහෝ පන්නරය ලබා ඇති සේය. සියුමැලි අතින් තළා ඔප මට්ටම් කර නිම වන මේ මුවහත් ආයුධ සැදීමට බොහෝ වෙහෙස මහන්සි වුවද සෝබාට මහන්සියට සරිලන මුදලක් ඇගේ අතින් නිමවන ආයුධ සඳහා නොලැබෙයි.

මහනුවර ගලගෙදර ඉපදුණු පි. ජි. සොබාවති ඇගේ දෙමාපියන් සමඟ ගල්ඔය ව්‍යාපාරය ආරම්භක සමයේදිම අම්පාර උහන ප්‍රදේශයට පැමිණෙන විටත් ඕ හයක් හතරක් නොදන්නා පුංචි දැරියකි. හට්ටි මුට්ටි සියල්ල පොඳි බැඳගෙන මහනුවර සිට උහනට යන ගමන ඇයට විනෝද ජනක විය. එහෙත් එතැන් පටන් ජීවිතය සුන්දර නොවන්නේය. ඔවුහු උහන දිගාමඩුල්ල ප්‍රදේශයේ ගොවිජන පදයේ පදිංචි වූහ. ඉන් අනතුරුව ගොවිතැන් වැඩ කරමින් එහි නැවුම් සරුපස අස්වද්දන්නට වුහ.

සොබාට යාන්තම් දහසය වෙද්දී ඇය සුන්දර යුවතියකි. ඇගේ පාසල් ගමන අතර මැද නතර විය. ඕ හිරිමල් වීයේදී ම දමන පල්ලන් ඔය ප්‍රදේශයේ පදිංචි අල්ලිස්හාමි සමගින් විවාහ වන්නීය. දහසක් බලාපොරොත්තු ඇතිව සොබා ඔහු සමඟ එක වහලක් යට අලුත් ජීවිතයක් ආරම්භ කළාය. ඒ ජීවිතය ඇයට හිතු තරම් සුන්දර නොවන්නේ ස්වාමියාගේ බීමත්කම නිසාවෙනි. කම්මල් වැඩ කරමින් ජීවිකාව ගෙන ගිය සැමියා දැඩි සේ මත්පැනට ඇබ්බැහි වූවෙකි. සොබා තම ස්වාමියාගෙන් පීඩාවට ලක් වුවද බොහෝ කම්කටොළු හමුවේ ඇයට නොසැළි ජීවිතයට මුහුණ දීමට සිදුවුයේ ඒ වන විටත් ඇය තිදරුමක් වූ නිසාවෙනි. ගෙදර දොර වැඩපොළ පමණක් නොව ස්වාමියාගේ කම්මල් වැඩට ද ඇය සහයෝගය ලබා දුන්නාය. සැමියාගේ බීමත්කම ඇයට විශාල ගැටලුවක් වුවත් ඇය ඒ සියල්ල ඉවසා දරාගත්තේ කවදා හෝ ජීවිතය ජයගත හැකි යන අපේක්ෂාවෙනි.

නිවසේ කොතෙක් රාජකාරී තිබුණද ඇය කම්මල් කර්මාන්තයේ යෙදෙන සැමියාට ද සහයෝගය ලබා දුන්නාය. සෝබා කොතෙක් සහයෝගය දැක්වුව ද සැමියා කිසි දිනක කම්මල් කර්මාන්තය ඇයට කියා දී නැත. ඇතැම් දිනවල දෑකැති වක ගසන විට දෑකැත්තේ එක් පැත්තකින් පැය ගණන් අල්ලාගෙන සිටිමට ඇයට සිදුවේ. එලෙස එක දිගට දිගු වේලාවක් දෑකැත්ත කැරලි ගසන තෙක් අල්ලාගෙන සිටිනා විට ඇතැම් දිනවල එකම කාර්යයක දිගු කාලයක් නිරත වීම නිසා සෝබාගේ දෑස් නිදිබර වෙයි. එයින් කිපෙන ඇගේ ස්වාමියා ඇගේ ඇඟිලි තුඩුවලට එල්ල කරන යකඩ මිටි පහරින් පහරින් ඇය තිගැස්සෙයි. අතැඟිලි තුඩු වලට වැදෙනා මිටි පහරින් ඇය ගේ නිදි මත සැනෙකින් පලා යයි. දැතේ ඇගිලි වලට දැනෙනා වේදනාව දින ගණනක් ගත වූවද සුවපත් නොවෙයි. අඬදබර මැද්දෙ සැමියා සමගින් කාලය ගෙවනකාලය නිමා විය. ඒ සැමියා ඇය හැර යාමත් සහඟය. දරු තිදෙනා සමඟ සොබාවතී දැඩි අසීරුතාවයකට පත් වූවාය. ඇය දිළිඳුකමේ පතුළටම වැටිණි.

මහ මෙරක් තරම් බරක් ඇගේ හිස මත වැටීමෙන් ඇය දැඩි පීඩාවට පත් වුවාය. දරු තිදෙනෙක් සමගින් තමා කෙසේ හෝ ජිවිතේට මුහුණ දිය යුතු යැයි ඇයට සිතාගැනීමත් අසීරු විය. සෝබාවතිට සිය දිවිනසා ගැනීමට සිතුණ වාර අනන්තය. දරු තිදෙනා වෙනුවෙන් ඇය ජීවිතයට මුහුණ දීමට ඉටාගත්තාය.

දරුපැටව් තුරුළු කරගෙන කටු මැටි නිවසේ සිදුරුව ගිය වහලේ පොල් අතු අතරින් පෙනෙන හිස් අහස දෙස ඇය නොනිදා බලා සිටියාය. ජිවත් වීමට කිසිදු මගක් ඇයට පේන මානයේ තිබුණේ නැත. එහෙත් කෙසේ හෝ ඇය දරුවන් ජීවත් කළ යුතුය; සෝබා දැඩි අධිෂ්ඨානයකට පැමිණියාය. “මම කොහොම හරි ජිවත්වෙනවා.‘ඇය තීර ලෙස අදිටන් කර ගන්තාය.

සෝබා මාස ගණනක් පුරා මළ බැඳුණ කම්මලේ මයින හමත් කිණිහිරියත් අසලට ගියාය. දැවී අළු වී ගිය අඟුරු කැබැලි ටික ඇය පිස දැමුවාය .‘ මම හෙට ඉඳලා කමිමලේ වැඩ පටන් ගන්නවා. මම කම්මල් වැඩ කරලා කොහොම හරි පුංචි එවුන් ජීවත් කරනවා‘ සෝබා ජිවිතේ පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගත්තාය. පසු දින අලුයම අවධි වු සොබා කම්හලේ වැඩ පටන් ගත්තාය. කිනිහිරිය මත රත ගැහුනු යකඩයට ඉහිලූම් නොදෙන බර උසුලමින් සොබාගේ දෑඟිලි අතර සිරවු රාත්තල් 10 මිටියෙන් ඇය යකඩය තළන්නට වුවාය. පහර වැදෙමින් රත්වු යකඩයෙන් එක් එක් හැඩයෙන් යුතු ආයුධ තනන ආකාරය පිලිබඳ ඇය සැලසුම් ඇති කර ගත්තාය. උදෑසන සිට වෙහෙස මහන්සි වී සවස් වන විට යාන්තමින් යකඩය තළා අවසන් කරන්නට ඇයට හැකිවිය. යකඩ තැළුව පහරට ඇගේ මුලු සිරුරම රිදූම් දෙයි’ .

“පුදුම අමාරුවක් යකඩ තළන්නට තියෙන්නෙ. ඒත් මොනවා කරන්නද? පසුදා ම පිබිදූණු සොබා පෙරදා තළා සකසා ගත් යකඩයෙන් පළමු වරට දෑකැත්තේ කැරලි ගසන්නට වවූවාය. ඉන් පසු රත්වූ යකඩ එක් එක් හැඩතලයෙන් ආයුධ බවට පත් විය. ආයුධ තැනෙන විට ඉමහත් සතුටට පත් වුවද ඇයට ඒවා විකුණා ලැබුණේ සොච්චම් මුදලකි. එහෙත් පියාගේ හැරයාමත් සමඟ කුසට හරිහමන් නිසි අහරක් නොලැබුණ දරුවන්ගේ කුස පුරවන්නට හැකිවීම ඇයට ඉමහත් සතුටක් විය. . ‘මුල දවස් වල නම් අතේ දිය පට්ට ඇවිත් යකඩය අතට ගන්නවත් බැරිවුණා. පස්සේ මම දිය පට්ට තිබිද්දිත් අඬ අඬා යකඩ තැළුවා. කම්මල් රස්සාව වේදනාවක් ගෙන දූන්නද වැඩ නොකර සිටියොතින් පුංචි දරුවන් බඩගින්නේය. එනිසා අපහසුව විඳ දරාගෙන කිණිහිරියේ තියෙන යකඩ දිගටම තළනවා. ඝනකමට ඇති දූණු කොළ කැබැල්ලක් තළන්න රාත්තල් 10ක මිටියකින් සහ රාත්තල් 04 ක මිටියකින් දෙදෙනෙකු නොකඩවා තළන්න ඕන. උදව්වටවත් කෙනෙක් හිටියේ නැහැ දරුවෝ විතරයි හිටියේ..උදූනට දමා යකඩය රත ගැන්වීමට විනාඩි 05ක් හෝ දහයක් මයින හම අදින් ඕන. ‘ළමයි මතක් වෙන කොට මගේ දෑතට අමුතුම ශක්තියක් එනවා.‘ විස්සක් විසි පහක් පමණ එක දිගටම කිසිදූ නිනවිවක් නොමැතිව තැළීමට සොබාට සිදූවිය. ‘සැමියා වැඩ පළ කරද්දි බලා සිටිමින් ලබා ගත් දැනුම ඇරෙන්නට මට කමිමල් වැඩ ගැන කිසිදු දැනීමක් තිබුණේ නැහැ. මට කරත්තයේ පට්ටල් දැමීමත් කරන්න පුළුවන්. හිතේ හයියට සැමියා ඒ වගේ වැඩ කරපු විදිහ මතක් කරගෙන මම කළා.‘

ඇයගේ සිත තූළ ආරමිභ කළ කාර්යය පිළිබඳව සතුටක්ද මෝදූ වෙමින් තිබුණි. ඇය දිරිය කතක් සේ කමිමලේ යකඩත් සමඟ හරි හරියට ඔටිටු වෙමින් තම දරු පවුල රැක ගැනීමට මහත් වෙහසක් දරයි. දරුවන්ට කවා පොවා ඇති දැඩි කරමින් පාසල් යවමින් නිසි අධ්‍යාපනය ද ලබාදිමට ඇයට සමත් වූවාය. එදිනෙදා ආදායමින් දරු පවුල නඩත්තු කරමින් ඉතිරි කර ගත් මුදලින් ටිකෙන් ටික නව නිවසක්ද ඉදි කර ගැනීමට ඇයට හැකිවිය .

සෝබාවතිට දැන් වයස අවුරුදූ 58ක් වුවද තවමත් පෙර මෙන් ජවයෙන් යකඩ තළන්නට ඇයට ශක්තිය ඇත. නමුත් සිරුර පුරා තිබෙන යකඩ දමු වලට පිළිස්සුන කැළලි ඇයගේ කම්හල් දිවියේ කටුක බව කියා පායි. ඇගේ දරුවන් සමාජයේ ඉහළ තලයකට ඔසවා තබන්නට ඇයට හැකිවිය. මේ සියල්ල ඇයගේ දෑතේ ශක්තියෙන් වසර හතලිස් එකකක් පුරා කිණිහිරයත් යකඩත් සමඟ හරි හරියට ඔට්ටුවෙමින් කළ ජිවන අරගලය නෙළා ගත් ප්‍රතිඵලය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *